පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේව දකින්නට තියෙන එකම ක‍්‍රමය නම් ධර්මය දැකීමයි. ඒ සඳහා ධර්මය නිවැරදි ලෙස ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ ධර්මය මනාකොට හදාරා නැති කෙනා හැමතිස්සේම ඉන්නේ බාහිර පුද්ගලයෙක්ව පිළිසරණ කරගෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ, අප විසින් පිළිසරණය කරගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය බවයි. ඒ ධර්මය තුළින් අපට හඳුනාගත හැකිවෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? යන වග, ශී‍්‍ර සද්ධර්මය නම් කුමක්ද? යන්න හා මහා සංඝරත්නය කවුද? යන වග. ඔය කරුණු හඳුනාගත් පසු අපට තේරුම් යනවා සංසාරය සකස් වෙන්නේ අපේ සිතේ බව. දුක සකස් වෙන්නේ ජීවිතය තුළින් බවත්, සකස් වෙන දෙයක් හෙයින් එය අනිත්‍ය බවත්, අනිත්‍ය දෙයක් වූ දුකෙහි සකස්වීම හේතුවක් අනුව සිදුවන්නක් බවත්, ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීමට පුළුවන් බවත් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙනප‍්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙමින් පුරුදු කරගෙන යද්දී, දුක ඇතිවෙන්නෙ මේ මේ ආකාරයටයි කියා තේරුම් යද්දි මේ දුක නැතිකර දාන්නට පුළුවන් කියන අදහස එනවා. තමන් අදහන ධර්මය තමන්ට විශ්වාස නම් විතරයි ඒ මතය ඇතිවෙන්නේ. මානසිකව බලවත් වෙන්නේ නිසැක භාවයට පත්වෙමින් යන ගමනකුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමවිටම ප‍්‍රකාශ කරනු ලබන කාරණයක් තමයි ‘ඒහිපස්සික…’ ඇවිත් නුවණින් විමසා බලන්න.

උන්වහන්සේ ධර්මය දේශනා කළේ කුමක් සඳහාද? ‘සත්තානං විසුද්ධියා’ – සත්වයාගේ පිරිසිදු භාවය පිණිස, ‘සෝක පරිද්දවානං සමතික්කමාය’ – සෝක කිරීම් වැළපීම් වලින් නිදහස් වෙන්නට, ‘දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය’ – කායික මානසික දුක් දොම්නස් වලින් එතෙර වෙන්නට, ‘ඤායස්ස අධිගමාය’ මේ ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්නට, ‘නිබ්බානස්ස සච්චකිරියාය’ – නිවන ප‍්‍රත්‍යක්‍ෂ කරගැනීමට යන කරුණු සඳහායි.

උන්වහන්සේ කිසිම තැනක දේශනා කොට නැහැ ධර්මය තියෙන්නෙ පෙරුම් පුරන්නටය කියා. උන්වහන්සේ පැහැදිලිවම කතා කළේ ප‍්‍රත්‍යක්‍ෂ කළ යුතු ධර්මයක්. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කොට තිබෙන්නේ මේ ජීවිතයේදී දකින්න පුළුවන් ධර්මයක්. ඒක පරලොවකදී දකින්න තියෙන එකක් නොවෙයි. ඒ නිසා එය නොපෙනෙන ලෝකෙකට කල් දාන්න එපා. මේ සමාජයේ තහවුරු වෙලා තියෙන්නෙ….. ‘අපි ඊළඟ ජීවිතයෙ කොහේ යයිද, මොනව වෙයිද දන්නෙ නෑ. ඒ නිසා පින් රැස් කරගන්න ඕන. ඒ පින් වලින් ආයෙම මිනිස් ලෝකෙට එන්න ඕන. තව තවත් පින් කරන්න ඕන. ආයිම මෙහේම ඉපදෙන්න ඕන….’ බලන්න මේක අවසානයක් වෙන්නෙ නෑ.

අප පැහැදිලිව දන්නවා නම්, මේ මිනිස් ලොව වැඩ සිටි රහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ආකාරයෙන් දකින ලද බව, එහෙනම් ඒක අදත් ඒ විදිහටම දකින්නට පුළුවන් විය යුතුයි. අදත් ඒ ධර්මයමයි තියෙන්නේ. මෙය මැරුණු ධර්මයක් නොවෙයි, ජීවමාන එකක්.

පින්වතුනි, මතක තියාගන්න, මේ මිනිස් ජීවිතය අපට කලාතුරකින් ලැබුණ දෙයක්. ඊළඟ ජීවිතයෙ කොහේ යයි දැයි නොදන්නා, අනතුරක් පවතින මේ සංසාර ගමනේ, කලාතුරකින් ලද මේ අවස්ථාවේදී පැහැදිලිවම අපේ මනස දියුණුව කරා ගෙනියන්න පුළුවන්කම තියෙද්දිත්, වැරදි මතවාද වලින් එය ආවරණය කර ගැනීම අප විසින් අපටම සිදුකර ගන්නා විශාල හානියක්. එහෙම හානියක් කර නොගෙන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය තුළ ගමන් කරමු. පෘථග්ජන පිරිස හැටියට නොමැරී මාර්ගඵලලාභීන් හැටියට ජීවිතය අවසන් කරමු.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !