අපි හොඳට මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන් ගන්න බෑ කියන එක. දැන් අපි කියමු කෙනෙක් බණ ම අහ අහ ඉන්නවා කියලා. එහෙම කියලා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙ නෑ. පොත් කියව කියව ඉන්නවා කියලා හිතමු. එපමණකින් ම යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙත් නෑ. යෝනිසෝ මනසිකාරය කියන එක ණයට ගන්න බෑ. එ්ක බාහිර කෙනෙකුට දෙන්නත් බෑ. බාහිර කෙනෙකුගෙන් බලෙන් ගන්නත් බෑ. එ්ක කවුද ඇතිකර ගන්න ඕන? තමන් ම ඇතිකර ගන්න ඕනෙ තමන්ට තේරෙන පිළිවෙළකින්.

යෝනිසෝ මනසිකාරයෙන් උදව්වක් ලැබෙන්නෙ නැත්නම් කොහොමද එයා අකුසලය ප‍්‍රහාණය කරන්නේ. ටික ටික අකුසලයට ඇදෙනවා. බුද්ධ කාලේ එ් වගේ එකක් වුණා. භික්ෂුවක් වස් කාලේ කුටියක් හදන්න හිතාගෙන ගහක් කපන්න ගියා. ගහක් කපන්න ගියපු වෙලාවේ එ් ගහේ හිටියා දේවතාවෙක් අරක්ගෙන. එ් දේවතාවා කිව්වා ‘‘භික්ෂුව,මේ ගහ කපන්න එපා. මං මේකේ අරක්ගෙන ඉන්නේ.” එතකොට භික්ෂුව ‘‘නෑ දෙවිය, ඔබ වෙන ගහක් හොයාගන්න. මං මේක කපනවා. මට කුටිය හදාගන්න වෙන එකක් නෑ.” කියලා කැපුවා. අන්න එ් වෙලාවේ එ් දේවතාවාගේ උකුලේ හිටියා තව දේවදරුවෙක් වඩාගෙන. එයාගේ අතත් කපාගෙන තමයි පොරව ගහට වැදුනේ. ඊට පස්සේ මෙන්න දෙවියට හිතක් පහළ වුණා. මොකක්ද? ‘‘මරන්න ඕන” කියලා. කුසල් ද? අකුසල් ද? එ් සැණින් ම හිතක් පහළ වුණා ‘‘එපා” කියලා. අන්න යෝනිසෝ මනසිකාරයෙන් කරපු දේ. කරන්න ඕන කියලා අකුසලයක් ආවා හිතට. ඊට පස්සේ හිතට ආවා ‘‘එපා මං ඉවසනවා. මං මේක කරන්නේ නෑ. මං මරන්නෙ නෑ. මං මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා” කියලා.

බලන්න ගුණධර්ම උපද්දවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්. ඔන්න බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරන්න ගියා. ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘දෙවිය, බොහෝම හොඳයි ඔබ කරපු වැඩේ. එ් භික්ෂුව ඉතා සීලවන්තයි. බැරිවෙලාවත් ඔබේ අතින් එ් භික්ෂුව මැරුණා නම් ඔබ නිරයේ.” දැක්කද තමන්ගේ එ් ආවේගයට ඉඩ නො දී නුවණින් කල්පනා කරපු නිසා එ් ක්ෂණයේ ම එ් අවස්ථාවේ ම තමන්ට දීපු රැකවරණය. එ් දෙවියාට රැකවරණය දුන්නේ දෙවියෙක් ද? එ් දෙවියාට රැකවරණය දුන්නේ කවුද? තමන්ගෙ ගුණයක්. එ් ගුණය ඉපැද්දෙව්වේ යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ගුණය උපදවන එක. දැන් බලන්න එයා තනියම හිතලා සංවර වුණානෙ. එ් භික්ෂුවට බැණ්නෙත් නෑ. මරන්න පුළුවන්කමක් තිබුණා. එ් කියන්නේ එ් දෙවියාට යම්කිසි බලසම්පන්නකමක් තිබුණා එ් භෞතික ශරීරයකට හානි කරන්න. පුළුවන්කම තියෙද්දි එයා කළේ නෑ.

එතකොට බලන්න මේ මානසිකව අපට තියෙන්න ඕන අන්න එ් හැකියාව හරි දේ හඳුනාගෙන කිරීමට. එ්ක ණයට ගන්න බෑ. අන්න එ්ක මතක තියාගන්න. මොකක්ද? යෝනිසෝ මනසිකාරය ණයට ගත නො හැකි ය. අනුන්ගෙන් ගත නො හැකි ය. යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ගන්න බෑ. නුවණින් කල්පනා කිරීම කියන එක ණයට ගන්න අනුන්ගෙන් ගන්න බෑ.නමුත් තමන් ම නුවණින් කල්පනා කරන එක හදාගන්න ඕන හිතලා. එතකොට නුවණින් කල්පනා කරලා ඉරිසියා ක්‍රෝධ වෛර යන මේවාට ඉඩ නො දී අපි ගුණධර්ම ම ඇතිකර ගන්න ඕන තමන්ගේ ජීවිතේට. ජීවිතයට රැකවරණය එයයි. ඉතින් එ් උතුම් ගුණධර්ම උපදවා ගන්න ඔබටත් වාසනාව උදා වේවා!

මහාමේඝ 2016 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –