පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අවබෝධයෙන්මයි. උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ දේශනා කරපු ධර්මය තුළ පැහැදිලිවම දිස්වෙනවා. උන්වහන්සේ ධර්මය දේශනා කළේ කරුණු තුනක් මත පිහිටලා. උන්වහන්සේ ඒක පැහැදිලිව දේශනා කළා,‘‘(අභිඤ්ඤෙය්‍යා’හං භික්ඛවේ ධම්මං දේසේමි. නෝ අනභිඤ්ඤාය) මහණෙනි, මා ඔබට මේ ධර්මය කියන්නේ විශිෂ්ට වූ ප‍්‍රඥාවෙන් යුක්තවයි. විශිෂ්ට වූ නුවණින් යුක්තවයි මේ ධර්මය කියා දෙන්නේ. (සනිදානං භික්ඛවේ ධම්මං දේසේමි, නෝ අනිදානං) මහණෙනි, මා ඔබට මේ ධර්මය කියා දෙන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවෙයි. (සප්පාටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි, නෝ අප්පටිහාරියං) මහණෙනි, මේ ධර්මය මා ඔබට දේශනා කරන්නේ ප‍්‍රාතිහාර්ය සහිතවයි, ප‍්‍රාතිහාර්ය රහිතව නොවෙයි.”

එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළ තියෙනවා අනුශාසනී ප‍්‍රාතිහාර්ය. බුදුරජාණන් වහන්සේ නමක් සතුව ප‍්‍රාතිහාර්ය තුනක් තියෙනවනේ. මොනවද ඒ ප‍්‍රාතිහාර්ය තුන? ඉර්ධි ප‍්‍රාතිහාර්ය, ආදේශනා ප‍්‍රාතිහාර්ය සහ අනුශාසනී ප‍්‍රාතිහාර්ය. එතකොට ඉර්ධි ප‍්‍රාතිහාර්ය තමයි උන්වහන්සේ කරන්නා වූ නොයෙකුත් හාස්කම්. ආදේශනා ප‍්‍රාතිහාර්ය කියන්නේ අන්‍යන්ගේ සිත් දැනගෙන කරන දෙසුම්. චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීම පිණිස, කුසල් දියුණු කරවීම පිණිස, අකුසල් ප‍්‍රහාණය කරවීම පිණිස, මේ ලෝක සත්වයා කෙරෙහි, දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහත් දයානුකම්පාවෙන්මයි අනුශාසනා ප‍්‍රාතිහාර්ය කරන්නේ.

එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළ ඔය ප‍්‍රාතිහාර්ය තියෙනවා. තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය ගැන කියන තැනදි දේශනා කරනවා,

‘‘මහණෙනි, මේ ලෝක සත්වයා ඉන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවට තමයි එයා ඇලූම් කරන්නේ. තෘෂ්ණාවෙන් තමයි සතුටු වෙන්නේ. තෘෂ්ණාව ආරාමය කරගෙන වාසය කරන්නේ. හැබැයි මේ ආලය දුරු කරවන, තෘෂ්ණාව දුරුකරවන ධර්මය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරද්දී, තෘෂ්ණාවෙන් සතුටු වෙවී ඉන්න පුද්ගලයා තෘෂ්ණාව දුරු කරන්නා වූ ධර්මයට කැමති වෙනවා, ආසා කරනවා. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය…”

මේ ලෝක සත්වයා ජීවත්වෙන්නේ නොසංසිඳී ගිය සිතින්, ඇවිස්සුණු සිතින්, කැළඹුණු සිතින්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා සංසිඳවීම පිණිස, ඇල්ම දුරු කරගැනීම පිණිස. ඒ චිත්ත සංසිඳීම පිණිස ධර්මය දේශනා කරන කොට කැළඹුණු සිතින් යුතු, කැළඹී ගිය දේවල් පසුපස යන ජනයා අර සිත සංසිඳවන්නා වූ ධර්මයට කැමති වෙනවා.

මේ ලෝක සත්වයා සතුටු වෙන්නේ උපාදානයට. එක එක දේවල් වලට ග‍්‍රහණය වෙලා ඉන්නයි. උපාදාන රහිත ධර්මයක් දේශනා කරද්දී ලෝක සත්වයා ඒකට ආශා කරනවා.

ඉතින් ඒ මනුෂ්‍යයා තුළ තියෙන වාසනාවක් තමයි ඒක. මොකක්ද? ජීවිතය අවබෝධ කරවන, නොඇල්ම ඇති කරවන, සංසිඳීම ඇති කරවන, කෙලෙස් දුරු කරවන්නා වූ, උතුම් ධර්මය ඇහෙද්දී එයාගේ හිත පහදිනවා ඒ ධර්මයට. එයාට මහත් සන්තෝෂයක් ඇතිවෙනවා.

ඉතින් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තමයි අපට අලූත් අලූත් දේවල් ලබා දුන්නේ. උන්වහන්සේ අපට එක අවස්ථාවක ප‍්‍රකාශ කළා, ‘‘මේ ලෝකයේ මනුෂ්‍යයෙකුට මොනවා නැතත් කමක් නෑ…, ප‍්‍රඥාව තියෙනවා නම් ඇති…” ඊළඟට උන්වහන්සේ දේශනා කළා, ‘‘මනුෂ්‍යයෙකුට මොනවා තිබුණත් වැඩක් නෑ…, ප‍්‍රඥාව නැත්නම්…” ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හරීයට ප‍්‍රශංසා ලබනවා ප‍්‍රඥාව, නුවණ. ඇයි හේතුව? ඒ නුවණක්කාරයා, ප‍්‍රඥාව තියෙන මනුෂ්‍යයා, බුද්ධිමත් මනුෂ්‍යයා තමයි ජීවිතය ගැන ගැඹුරින් දකින්න සමර්ථ වන්නේ. අනෙක් කෙනාට එහෙම ගැඹුරින් දකින්න බෑ. ජීවිතය ගැඹුරින් දකින්න පුළුවන් වෙනවා නුවණක්කාරයාට.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !