පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපට සසරේ පුරුදු ගොඩාක් ඇවිල්ලා තියෙනවා. සත්තු මරන්න, හොරකම් කරන්න, වැරදි කාමසේවනයේ යෙදෙන්න, බොරු කියන්න, මත්පැන් බොන්න, ඊර්ෂ්‍යා කරන්න, කේලාම් කියන්න, වෛර කරන්න, පළිගන්න, කඩාබිඳවා හරින්න මේ ඔක්කොම අපි සසරේ කර කර ආපු දේවල්. දැන් අපට සටනක් තියෙන්නේ ඒ පුරුදුත් එක්කයි. ඒ පුරුද්දට ඉඩ නොදී වීරිය අරගෙන මේ කියපු පින උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.

දැන් ඔබ හොඳටම දන්නවා, පින ඊළඟ ජීවිතයේ සැප ලබාදෙනවා දෙනවාමයි කියලා. කොහොමද දන්නේ? අපි ඒ බව දන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුළ තියෙන පැහැදීම නිසයි. ඒ පැහැදීම මතයි මේක කරන්නේ. එතකොට බලන්න, මෙතැන තියෙන්නේ හේතුඵල දෙකක් නෙවෙයිද…? මේකේ තියෙන්නේ හේතුඵල දහමක් මිසක් මෙහි පත පතා ගන්න කිසි දෙයක් නෑ. ඒ නිසා තියෙන්නේ හේතුඵල නම් මේ ජීවිතයේ අපට යම් ඵලයක් ලැබිලා තියෙනවා නම්, ඒකට පසුබිම් වූ හේතු සමූහයක් අපි සසරෙන් ගෙනාවා. මේ ජීවිතයේ යම්කිසි හේතු ටිකක් අපට ඉපදිලා තියෙනවා නම්, ඒක තමයි ඊළඟ ජීවිතයේ අපට ලැබෙන ඵලය.

මෙත් සිත වඩන, සත්ව ඝාතනයේ නොයෙදෙන, මනුස්සයන්ට හිංසා නොකරන කෙනාට ඊළඟ ජීවිතයේ සාර්ථක, නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙනවා. හොඳට දන් පැන් දෙන කෙනා, සොරකම් නොකරන කෙනා ඊළඟ ජීවිතයේ ධනවතෙක්. වැරදි කාමසේවනයෙන් වැළකී සිටින කෙනා ඊළඟ ජීවිතයේදී ආදරය ලබන කෙනෙක්. මේ ජීවිතයේ ආදරයේ අහේනිය ඊළඟ ජීවිතයේ නෑ.

බොරු නොකියන, කේලාම් නොකියන, පිරිස බිඳවන්නේ නැති, සත්‍යය කතා කරන, මනුස්සයන්ගේ සමඟිය කැමති කෙනා ඊළඟ ජීවිතයේ ලොව සුවපත් කරන වචන කියන කෙනෙක්. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වූ කෙනා ඊළඟ ජීවිතයේ ඉතා බුද්ධිමත් කෙනෙක්. ඊර්ෂ්‍යා නොකරන, වෛර නොකරන, දුෂ්ටකම් නොකරන කෙනා ඊළඟ ජීවිතයේ මනස්කාන්ත රූ සපුවකින් යුතු කෙනෙක්.

ඊළඟ ජීවිතයේ මේ ඔක්කොම ලැබිලා පාප මිත‍්‍රයෙක් අහුවුණොත්…? ඔන්න නිරෝගීකමත් තියෙනවා, සල්ලිත් තියෙනවා, ආදරයත් තියෙනවා, අනිත් අය තමන් කියන දේත් අහනවා. හොඳට මොළෙත් තියෙනවා. රූපයත් ලස්සනයි. නමුත් ඊළඟ ජීවිතයේ පාප මිත‍්‍රයෙක් එකතු වෙනවා. එතකොට එයා අර ඔක්කොම විනාශය කරා යොදවනවා. එතකොට ඊළඟ ජීවිතයේ විනාශය කරා යොදවන්න එයාට උදව් කරන්නේ කවුද? පාප මිත‍්‍රයා.

ඔබ හිතන්නේ මේ ලෝකය පාප මිත‍්‍රයන් ගෙන් හිඟද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවාද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවා. හිඟ කල්‍යාණ මිත‍්‍රයායි. සත්පුරුෂයා හිඟයි. මේ ජීවිතයේ සත්පුරුෂයා අත්හරිනවා නම්, කල්‍යාණ මිත‍්‍රයා අත්හරිනවා නම්, ඊළඟ ජීවිතයේ ඔබට කොහෙත්ම හම්බවෙන්නේ නෑ. මේ ජීවිතයේ ඔබ සත්පුරුෂයා අත්හරිනවා නම්, සත්පුරුෂයාට ඇහුම්කම් දෙන්නේ නැත්නම්, සත්පුරුෂයා හඳුනාගන්නේ නැත්නම්, ඊළඟ ජීවිතයේ ඔබට සත්පුරුෂයන් දකින්න කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

‘මොහු සත්පුරුෂයාය, මොහු අසත්පුරුෂයාය’ කියලා හඳුනාගන්න උපකාර කරන්නේ තමන්ගේ සත්පුරුෂකමයි. තමන්ව සත්පුරුෂයෙක් බවට පත්කරන්නේ හොඳ නරක ගැන තමන්ගේ තියෙන අවබෝධයයි. හොඳ නරක ගැන අවබෝධයයි, තමන් ආපු සසර පැවැත්ම ගැන අවබෝධයයි තිබුණොත් ඔබ මේ ජීවිතයේදීම සත්පුරුෂයා හඳුනාගන්නවා. කල්‍යාණ මිත‍්‍රයා හඳුනාගන්නවා. අසත්පුරුෂයා අත්හරිනවා. එතකොට ඔබ පාවිච්චි කරන්නේ අවබෝධය.

එහෙනම් මේ ජීවිතයේ පිනත් සමඟ අවබෝධය එකතු කරගත්තොත් ඊළඟ ජීවිතය අසත්පුරුෂයාගේ, පාපමිත‍්‍රයාගේ උගුලෙන් බේරෙන්න ඔබට පුළුවනි.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !