පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාව උපමාවක් දේශනා කරනවා ‘‘මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුද්ගලයෙක් වනයේ ඇවිද ඇවිද ගියා. ඇවිද ඇවිද යද්දී පරණ පාරක් දැක්කා. ඒක ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු පරණ පාරක්. දැකලා මේ පාර කොහේට යන පාරක්ද කියලා ඒ පාරේ ගියා. ඉස්සර මිනිස්සු ගියපු පාර අහුවෙලා ඒ පාර දිගේ යනකොට යනකොට ඒ කෙනාට පුරාණ නගරයක් දැකගන්න ලැබුණා. ඒක පුරාණ රාජධානියක්. ඒකේ ඉස්සර මිනිස්සු වාසය කරලා තියෙනවා. ඉස්සර හොඳට පොකුණු තිබුණු ලකුණු තියෙනවා. මාළිගා තිබුණු ලකුණු තියෙනවා. ප‍්‍රාකාර තිබුණු ලකුණු තියනවා. මල් උයන් වවාපු ලකුණු තියෙනවා. ඊළඟට පැන් පොකුණු හදාපු ලකුණු කියනවා. නමුත් දැන් ඒවා මොකුත් නෑ.

මහණෙනි, එතකොට මේ පුද්ගලයා රජ්ජුරුවෝ හම්බ වෙන්න ගියා. ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වා ‘රජතුමනි, මම වනාන්තරයේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. යද්දී මට ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තෝ පාවිච්චි කරපු පරණ පාරක් හම්බවුණා. මම ඒ පාරෙ දිගටම ගියා. යද්දී මට හම්බවුණා පුරාණ රාජධානියක්. ඉස්සර මිනිස්සු ඒකේ වාසය කරලා තියෙනවා. රජතුමනි, ඒකේ තියෙනවා පැන් පොකුණු පිහිටපු තැන්. ඒකේ තියෙනවා මාළිගා පිහිටි තැන්. ප‍්‍රාකාර පිහිටි තැන්. ඊළඟට ගෙවල් දොරවල් පිහිටි තැන්. මංමාවත් පිහිටි තැන්. රජතුමනි, ඒ නගරය ආයේ හදමු.’ රජ්ජුරුවෝ කියනවා ‘හොඳයි නගරය හදමු’ කියලා. මහණෙනි, මේ පුද්ගලයා ඒ විදිහට රජ්ජුරුවොත් එක්ක එකතු වෙලා ආයේ අර පාර පිළිසකර කරලා පරණ විදිහටම මාලිගා ගෙවල් දොරවල් පැන් පොකුණු ආරාම සියල්ල හැදුවා. එ් නගරය ආයේ පරණ විදිහටම බබලන්න පටන් ගත්තා.

මහණෙනි, මම මේ කළේ ආන්න ඒ වගේ වැඩක්.
බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘මහණෙනි, ඒ වගේ වැඩක් මම මේ කළේ. මේක හරි පරණ පාරක්. බොහෝම පරණ පාරක්. ඉස්සර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කළෙත් මේ පාරෙයි. ආන්න ඒ පාරෙයි මම ගියේ. ඉස්සර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු ඒ පාර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මහණෙනි, මොකක්ද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මහණෙනි, මේ පාර තමයි පරණ පාර. ඉස්සර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු පාර. ඉතින් මහණෙනි, මාත් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා.”

මහණෙනි, මම ඒ මාර්ගයේ ගියා. ඒ මාර්ගය
අනුගමනය කරද්දී තමයි මට මේ ජරා මරණ පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණේ. මහණෙනි ජරා මරණ හටගන්න හේතුව මට අවබෝධ වුණා. ඊළඟට මට ජරා මරණ නිරුද්ධවීම අවබෝධ වුණා. ඊළඟට ජරා මරණ නිරුද්ධවෙන මාර්ගය අවබෝධ වුණා.

ඊට පස්සේ මහණෙනි, මම තවදුරටත් විමසන්න පටන් ගත්තා. ඉපදීම කියන්නේ මේකයි කියලා මට අවබෝධ වුණා. ඉපදෙන්න හේතු වෙන්නේ මේකයි කියලා අවබෝධ වුණා. ඉපදීම නිරුද්ධ වන්නේ මෙහෙමයි, ඉපදීම නිරුද්ධ වෙන්න හේතුවෙන්නේ මෙහෙමයි කියලා මට අවබෝධ වුණා.

මහණෙනි, මම තව ඒ ගමන ගියා. යද්දී මට අවබෝධ වුණා භවය කියන්නේ මේකයි. භවය හටගන්නේ මේ විදිහටයි. භවය නිරුද්ධවෙනවා කියන්නේ මේකයි. භවය නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා. මහණෙනි, මම තවත් ඒ පාරේ දිගටම ගියා. යනකොට මට අවබෝධ වුණා උපාදාන කියන්නේ මේකයි කියලා. උපාදාන හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණා. ඊළඟට උපාදාන නිරුද්ධවීම අවබෝධ වුණා. උපාදාන නිරුද්ධ වෙන මාර්ගය මේකයි කියලා අවබෝධ වුණා.

මහණෙනි, මම තවත් ඒ පාර දිගටම ගියා. යනකොට තණ්හාව මේකයි කියලා අවබෝධ වුණා. තණ්හාව හටගන්නේ මේ විදිහටයි කියලා අවබෝධ වුණා. තණ්හාව නිරුද්ධවීම කියන්නේ මේකයි කියලා අවබෝධ වුණා. තණ්හාව නිරුද්ධ වන්නේ මේ විදිහටයි මේ මාර්ගයෙනුයි කියලා අවබෝධ වුණා. ඊට පස්සේ තවදුරටත් මම ඒ මාර්ගයේ ගමන් කළා. ගමන් කළහම මට විඳීම කියන්නේ මේකයි කියලා අවබෝධ වුණා. විඳීම හටගන්නේ මේ විදිහටයි කියලා අවබෝධ වුණා. විඳීම නිරුද්ධවීම අවබෝධ වුණා. විඳීම නිරුද්ධවන මාර්ගය අවබෝධ වුණා. තවදුරටත් මහණෙනි, මම ඒ මාර්ගයේ ගියා. එතකොට ස්පර්ශය අවබෝධ වුණා. ස්පර්ශය හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණා. ස්පර්ශය නිරුද්ධවීම අවබෝධ වුණා. ස්පර්ශය නිරුද්ධ වන විදිහ අවබෝධ වුණා. ඊට පස්සේ මහණෙනි, තවදුරටත් මම ඒ මාර්ගයේ ගියා. යනකොට ආයතන හය අවබෝධ වුණා. ආයතන හය හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණා. ආයතන හයේ නිරුද්ධවීම අවබෝධ වුණා. ආයතන හය නිරුද්ධ වන්නේ මේ ක‍්‍රමයෙනුයි කියලා අවබෝධ වුණා.

මහණෙනි, තවදුරටත් මම ඒ මාර්ගයේ ගියා. නාමරූප අවබෝධ වුණා. නාමරූප හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණා. නාමරූප නිරුද්ධවීම අවබෝධ වුණා. නාමරූප නිරුද්ධ වන්නේ මේ මාර්ගයෙනුයි කියලා අවබෝධ වුණා. මහණෙනි, තවදුරටත් ඒ මාර්ගයේම ගියා. විඤ්ඤාණය අවබෝධ වුණා. විඤ්ඤාණය හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණා. විඤ්ඤාණය නිරුද්ධවීම අවබෝධ වුණා. විඤ්ඤාණය නිරුද්ධවීමේ මාර්ගය මේකයි කියලා අවබෝධ වුණා. මහණෙනි, මම තවදුරටත් ගියා. ගිහාම සංස්කාර අවබෝධ වුණා.

අන්න එතැනදී සංස්කාර කියන වචනේ යෙදුවා. සංස්කාර අවබෝධ වුණා. සංස්කාර හටගන්නේ මේ විදිහටයි කියලා අවබෝධ වුණා. සංස්කාරයන්ගේ නිරෝධය අවබෝධ වුණා. සංස්කාර නිරුද්ධ වන ක‍්‍රමය අවබෝධ වුණා.

ඊට පස්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, මම ඒ අවබෝධය භික්ෂූණ්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට දේශනා කළා. මහණෙනි, එවිට ඒ සියලූ දෙනාටත් නිවන් මාර්ගය විවෘත වුණා. විවෘත වුණාට පස්සේ ඒ නිවන් මාර්ගය හැම තැනම පැතිරිලා ගියා. හැම තැනම විහිදිලා ගියා. බොහෝ දෙනාට ප‍්‍රකට වුණා. බොහෝ දෙනා ඒ ගැන දැනගත්තා. යම්තාක් නුවණැති දෙවියන් මිනිසුන් ඇද්ද ඒ අය අතර මැනවින් පැතිරිලා ප‍්‍රකට වෙලා ගියා. මෙන්න මේකයි මේ සසරෙන් මිදෙන මාර්ගය කියලා ලෝකයේ පැතිරිලා ගියා.”

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
හැම දෙනාටම තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය !