පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරද්දී දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ වේසාලියෙහි පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා හවස් වරුවේ බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් කියනවා,

‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම අද පිණ්ඩපාතේ වැඩියා. මම දැක්කා බොහෝ ලිච්ඡවී කුමාරවරු සන්ථාගාරයට එකතු වෙලා පුහුණු වෙනවා. ඒගොල්ලෝ ඈත ඉතා සියුම් පුංචි දෙයකින් එල්ලලා තියෙන පොඩි සිදුරකට ඊතලය හරියටම විදින්න පුරුදු වෙනවා. ස්වාමීනී, ඒ ලිචිඡවී කුමාරවරු හරිම දක්ෂ විදිහට දශමයට මේක විදිනවා.”

‘‘ආනන්දය, ඒ විදිල්ලද දුෂ්කර, නැත්නම් සියක් වරක් පෙලූ තුනී හීනි අශ්ව ලෝමයකින් තවත් එවැනි අශ්ව ලෝමයකට විදින එකද?”

‘‘එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, මේ විශාලාවේ කොල්ලෝ ටික විදින එක සුළු දෙයක්. අශ්ව ලෝමයකින් අශ්ව ලෝමයකට විදින එක තමයි දුෂ්කර දේ.”

‘‘මහණෙනි, ඊට වඩා දුෂ්කර දෙයක් තියෙනවා. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ වීම.”

බලන්න, ඒ සඳහා එයා මොනතරම් නුවණින් කල්පනා කිරීමේ හැකියාවකින් යුක්ත විය යුතුද?

‘‘(අථ ඛෝ තේ ආනන්ද දුප්පටිවිජ්ඣතරං පටිවිජ්ඣන්ති) ආනන්දය, මේ දුක අවබෝධ කරනවා කියන කාරණය ඉතාම දුෂ්කර වූ දෙයක්. නමුත් ප‍්‍රඥාවන්ත කෙනා ඒක කරනවා. ඊළඟට දුක්ඛසමුදය අවබෝධ කරනවා.

දුක්ඛනිරෝධය අවබෝධ කරනවා. දුක්ඛනිරෝධගාමිනී පටිපදාව අවබෝධ කරනවා.

බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දේශනා කරනවා,

‘‘මහණෙනි, පුරුෂයෙක් වියදණ්ඩක් අරගෙන (වියගස කියන්නේ නඟුල් දණ්ඩ) මුහුදට දානවා. දැම්මාම මේක පා වෙවී පා වෙවී තියෙනවා. මේ මුහුදේ එක ඇහැක් පේන කණ කැස්බෑවෙක් ඉන්නවා. ඒ කැස්බෑවා අවුරුදු සීයකට වතාවක් උඩට එනවා. උඩට එද්දී අර වියදණ්ඬේ සිදුරෙන් එයාගේ ඔළුව උඩට යනවා. ගියාම ආකාසය පේනවා. මහණෙනි, එහෙම එකක් වෙන්න පුළුවන්ද?”

‘‘භාග්‍යවතුන් වහන්ස, කලාතුරකින් එහෙම එකක් වෙන්න පුළුවන්.”

‘‘නෑ… මහණෙනි, ඒක ඉක්මනට වුණත් වෙන්න පුළුවන්. හැබැයි, අඥාන මනුෂ්‍යයෙක් (නත්වේවාහං භික්ඛවේ සකිං විනිපාතගතේන බාලේන මනුස්සත්තං වදාමි) එක වතාවක් අපාගත වුණොත් ආයෙමත් මනුෂ්‍ය ලෝකයට එබඳු ආකාරයටවත් එන්න බෑ. ඒ කියන්නේ කණ කැස්බෑවා සියක් වතාවක් අවුරුදු යට ඉඳලා උඩට එද්දී වියසිදුරෙන් අහස පේනවා වගේ එබඳු අවස්ථාවක්වත් නෑ.”

එතකොට අපට මෙහෙම කාරණයක් හිතාගන්න පුළුවන් නේද? එහෙම නම් මනුෂ්‍යයෝ වෙලා හිටපු අපේ ඥාති පරපුර කොච්චර ඇද්ද? බුද්ධ දේශනාවක් තියෙනවානේ ‘‘මහණෙනි, මේ සසරේ මව් නොවුණු කෙනෙක්… පියා නොවුණු කෙනෙක්… සහෝදරයා නොවුණු කෙනෙක්… සහෝදරිය නොවුණු කෙනෙක්… පුතා නොවුණු කෙනෙක්… දුව නොවුණු කෙනෙක්… ඥති නොවුණු කෙනෙක් නෑ” කියලා.

එහෙම නම් බලන්න, මොනතරම් අපට එක එක්කෙනා හමුවෙලාද? කොයිතරම් නම් අම්මලා ළඟ අපි ඉපදිලාද? කොයිතරම් වාරයක් අපි දරුවෝ හදලාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘(තං කිස්ස හේතු) ඒකට හේතුව මොකක්ද? (හෙත්ථ භික්ඛවේ, අත්ථි ධම්මචරියා පුඤ්ඤකිරියා) මහණෙනි, ඒ ලෝකවල ධර්මයේ හැසිරීමක් නෑ.”

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !