පින්වතුනේ, පින්වත් දරුවනේ,

ඉතිහාසයේ අපේ රටට නොයෙකුත් විදේශිකයෝ පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේත් අපේ රටට පැමිණි එක්තරා විදේශිකයෙක්. ඊට කලිනුත් විජය කුමාරයා ආදි අය ආවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට හැර අනිත් හැම කෙනෙකුට ම යම් යම් චෝදනා තියෙනවා. ඊට පස්සේ ආපු හැමෝටම චෝදනා තියෙනවා. සොළී ආක‍්‍රමණිකයන්ට, පෘතුගීසින්ට, ලන්දේසින්ට, ඉංග‍්‍රීසින්ට බරපතළ චෝදනා තියෙනවා. එ් අය මේ රටවල් හූරගෙන කෑවා.

නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබුණු මුනිභාවයෙන් උන්වහන්සේ සියල්ලන්ගේම සිත් වසඟ කළා. උන්වහන්සේගේ ජීවිතයේ තිබුණු අසාමාන්‍ය ගුණවත්කම නිසා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු සියලූ දෙනා ක්ෂණයෙන් ධර්මයට පැහැදුනා. උන්වහන්සේගේ පැමිණීම මුළු ශ්‍රී ලංකාද්වීපයට ම ආශීර්වාදයක් වුණා.

උන්වහන්සේ නූල් පොටක තරම් දෙයක්වත් තමන්ගේ මව්රටට පිටත් කළේ නෑ. නමුත් අපේ රටට සියල්ලම ලබා දුන්නා. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ලබා දුන්නා. ධාතූන් වහන්සේලා ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය දුන්නා. එ් සුළු දෙයක් නෙමෙයි. එ් වගේ ම ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ප‍්‍රමුඛ එ් ස්ථාන ගොඩනගන්න දහඅට කුලයක ශිල්පීන් ගෙනාවා. පුරුදු කෙරෙව්වා.

පුදුම ලස්සනට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පිරිස් සිටින ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න මිහිඳු මහරහතන් වහන්සේ උදව් කළා. එ් තුළ සියලූ දෙනාම සහයෝගයෙන් සතුටින් වාසය කළා. අපේ මුතුන් මිත්තන්ගේ පරපුරේ අය මුනිවරු වෙලා අහසින් වඩිද්දී, පොළොවේ වී වේළගන්න ඉඩක් නැතිවුණා.

අද අපි නිකම් මෙලොව පරලොව නැතුව, ආතභූත වෙලා හිටියට එ් කාලේ එබඳු ආකාරයට කටයුතු කළ මුනිවරුන්ගේ යුගයක් අපට තිබුණා. බුදුරජාණන් වහන්සේගෙන් තමයි එ් මුනි ධර්මය අපට ලැබුණේ. එ් සියල්ලටම හේතුව, එ් ධර්මය අරගෙන වැඩියේ මුනිවරයෙක් වීමයි.

මෙතරම්ම මේ ලංකාවට ආදරය කළ, මෙතරම්ම අපේ හෙළදිවවාසී සිංහල ජනයාට ආදරය කළ තවත් කෙනෙක් මේ ඉතිහාසයේ නෑ. නිකෙලෙස් මුනිවරයෙකුගේ වැඩම කිරීමයි, රාග ද්වේෂ මෝහ සහිත අයගේ පැමිණීමයි අතර වෙනස බලන්න. කෙලෙස් සහිත අය අපේ රටට සාපයක් වුණා. මුනිවරයා ආශීර්වාදයක් වුණා. එ් මුනිවරුන්ව බිහිකළේ බුදුරජාණන් වහන්සේයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේව හඳුන්වා දුන්නා. ධර්මය හඳුන්වා දුන්නා. ශ‍්‍රාවක සංඝයාව හඳුන්වා දුන්නා. එ් නිසා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා සංඝ පරම්පරාව අනාථ වුණේ නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතිකරපු වැඩපිළිවෙළ තුළ සම්පූර්ණයෙන්ම ගෞතම ශාසනය බබළන පිරිසක් දිගින් දිගටම මේක අරගෙන ගියා.

මිහිඳු මහරහතන් වහන්සේ ආයේ තමන්ගේ මව්බිමට වැඩියේ නෑ. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ආයෙ මව්බිමට වැඩියේ නෑ. උන්වහන්සේලා මෙහෙම තමයි පිරිනිවන්පෑවේ. මොකද, උන්වහන්සේලාගේ ජීවිතයේ අමුතුවෙන් කරන්න මොකුත් නෑනේ. කළ යුත්ත කරලා ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ධර්මය අන් අයට කියලා දෙන එක විතරයි. එ්ක එ් රහතන් වහන්සේලා නියම විදිහටම කළා. නිර්මල ආකාරයටම කළා. පිරිසිදු විදිහටම කළා.

එ්කේ ප‍්‍රතිඵලය හැටියට තමයි මේ ලෝකයාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේත් කිසි කෙනෙකුව ‘බුදුවෙන්න’ කියලා පෙළඹෙව්වේ නෑ. ‘මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්න’ කියලා පෙළඹෙව්වෙත් නෑ. මොකද, උන්වහන්සේ මුනි බවට පත්වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසයි. උන්වහන්සේට ඕනවුණේ තමන්් රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කරපු ධර්මය අන් අයටත් කියලා දෙන්නයි.

ඉතින් උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් සන්දේශය රැුගෙන මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩියේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකයි. එ් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහාමේඝ 2016 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –