පින්වතුනේ, පින්වත් දරුවනේ,
සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණයටයි. සම්මා දිට්ඨිය කියන්නේ ‘හරි දැක්ම’ කියලා බොහෝ තැන්වල කියවෙනවා. නමුත් ‘‘හරි දැකීම කියන්නේ මොකක්ද?” කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද? යන වග පැහැදිලි ලෙස නිර්වචනය කිරීමට අප සමර්ථ විය යුතුයි. සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය දේ පුළුල් විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඉන් පසුවයි. එහෙම නම් චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇතිකර ගත්තොත් අපට සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට පුළුවන් වෙනවා.

චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇතිකර ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට අපට අවස්ථාව තිබෙනවා. එහෙම අවබෝධ ඤාණය ඇතිකර ගත්තොත් අප මාර්ගයට පැමිණෙනවා. එලෙස මාර්ගයට පැමිණි කෙනා සෝතාපන්නයි. එහෙම නම් ‘සෝවාන් වුණා’ කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණයට පැමිණීමයි. වෙනත් විදිහකට කිව්වොත් සම්මා දිට්ඨිය ඇතිකරගත් කෙනා සෝතාපන්නයි.
සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස කරුණු දෙකක් උපකාරී වෙනවා. ඒ සද්ධර්ම ශ‍්‍රවණය සහ යෝනිසෝ මනසිකාරයයි. සම්මා දිට්ඨියෙහි පිහිටන්න නම් මුලින්ම ධර්මය ශ‍්‍රවණය කළ යුතු වෙනවා. හැබැයි ශ‍්‍රවණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මයම මිස වෙන දෙයක් නොවිය යුතුයි. තර්ක විතර්ක, පුද්ගලික මතවාද, ධර්මය වගේ පෙනෙන්නට තිබෙන දේවල් ශ‍්‍රවණය කළාට සම්මා දිට්ඨියට පැමිණෙන්නේ නැති බව සිහියේ තබාගත යුතුමයි. අප ශ‍්‍රවණය කළ යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන ශී‍්‍ර සද්ධර්මයමයි.

පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දේශනා කොට වදාළ ඒ ශී‍්‍ර සද්ධර්මය අසා කියවා සිතෙහි පිහිටුවාගෙන එය තේරුම් ගැනීම පිණිස නුවණ මෙහෙයවීම යෝනිසෝ මනසිකාරයයි. ඒ විදිහට සිත පිහිටුවාගෙන නුවණ මෙහෙයවන්න බැරි නම් යෝනිසෝ මනසිකාරය නැහැ. එහෙම කෙනාට ශී‍්‍ර සද්ධර්මය අසන්නට ලැබුණත් සම්මා දිට්ඨිය ඇතිකර ගන්න නම් නොහැකි වෙනවා. කෙනෙකුට යමක් නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. නමුත් ඔහුට බුදුරජාණන් වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය ශ‍්‍රවණය කිරීමේ අවස්ථාවක් නැහැ. එහෙම නම් ඒ පුද්ගලයාටත් සම්මා දිට්ඨියට පැමිණීමේ හැකියාව ඇතිවෙන්නේ නැහැ. සද්ධර්ම ශ‍්‍ර‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය යන කරුණු දෙකම තිබෙනවා නම් පමණක් සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට පුළුවන් බව දැන් පැහැදිලියි.

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් මේ නිවන් මඟ බොහෝම බුද්ධිමත්ව ගමන් කළ යුතු මාර්ගයක්. අන්ධ භක්තියක් මේ මාර්ගය තුළ හමුවෙන්නේ නැහැ. මේ තුළ ඇතිවෙන්නේ ශ‍්‍රද්ධාවක්. එය නිකම් ශ‍්‍රද්ධාවක් නොවන, මනා අවබෝධයකින්ම ඇතිකර ගත යුතු එකක් විය යුතුමයි. නිවැරදි අවබෝධයකින් යුතුව ශ‍්‍රද්ධාව ඇතිවුණොත් එය ජීවිතයට එකතු වෙනවා. ඒ ශ‍්‍රද්ධාව එයාගේ ජීවිතයෙන් ලේ වලින් වෙන් කරන්න හැකිවෙන්නේ නැහැ. එහෙම ශ‍්‍රද්ධාවක් ඇතිවෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඤාණයක් ඇතිකර ගත් පසුවයි. ඒ සඳහා අවශ්‍ය කරුණු දෙක අපි දැන් දන්නවා. එය ඉතා පහසු කාර්යයක් නොවන බවත් මතක තියාගන්න ඕනේ.

ඒ නිසා අපි ශ‍්‍රද්ධාව ඇතිකර ගන්නට මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගැන, ශී‍්‍ර සද්ධර්මය ගැන, ශ‍්‍රාවක පිරිස ගැන හොඳින් ඉගෙන ගන්න අවශ්‍යයි. ධර්මය ශ‍්‍රවණය කරලා ඒ සියලූ කාරණා හිතට ගන්න ඕනේ. එය ඉබේ ඇතිවෙන්නේ නැහැ. පෝය දවසට පන්සලට ගිය පමණින්, ‘‘අපිත් භාවනා පන්ති යනවා” කියලා භාවනා දිනයට සහභාගී වූ පමණින් නම් ශ‍්‍රද්ධාව පිහිටන්නේ නැහැ. ඒ සඳහා ඒ කෙනා බුද්ධිමත් විය යුතුයි.

බුද්ධිමත් යන්නෙන් අදහස් වෙන්නේ විභාග පාස්කිරීම නොවෙයි. කියන දේවල් හොඳින් තේරෙනවා නම් එයා බුද්ධිමතෙක්. ඒ විදිහට නුවණින් විමසලා ධර්මය ජීවිතය තුළට ගන්නට බොහෝ කැපකිරීම් කරන්න සිදුවේවි. බොහෝම මහන්සියෙන් උත්සාහයෙන් කි‍්‍රියාකරන්න සිදුවේවි. අත්හැරීම් කරන්නටත් වේවි. අවංක උත්සාහයක් ගන්න සිදුවෙනවාමයි. එහෙම කෙනා තුළ ධර්මය පිහිටනවා. එයාගේ ජීවිතය තුළින් ධර්මය පලායන්නේ නැහැ.

අප හරි හම්බකරන දේවල් සියල්ල අපව දාලා යන දිනයක් උදාවෙනවා. ගේ දොර ඉඩ කඩම්, කම්බි වැටවල් ගහලා වෙන් කරගත් මහ පොළොව දාලා යන්න දවසක් එනවා. අඹු දරුවන්, නෑ හිතවතුන් දාලා යන්න වෙනවා. නමුත් හරියට හිතේ පිහිටුවා ගන්නා ලද ධර්මය නම් දාලා යන්න වෙන්නේ නැහැ. ධර්මය අපත් එක්කම එනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !