පැන්සලෙන් අකුරු ලියන පුංචි කාලේ ඔබේ පැන්සල් පෙට්ටියේ හැමදාම තිබුණ දෙයක් තමා මකන කෑල්ල. අකුරු ලියනකොට වැරදුනාම හරි අවලස්සනට ලියවුණාම හරි ඒ ලියපු අකුරු මකන්න ඔබ පාවිච්චි කරපු මකන කෑල්ල ගැන ඔබට මොනව ද හිතිලා තියෙන්නේ?

ලියන අකුරු ලස්සන නැත්නම් මකලා දානකොට පොත නම් ලස්සන වුණා තමයි. ඒත් මකන කෑල්ල අකුරක් මකන හැම වෙලාවේ ම ටික ටික කිලූටු වෙනවා, ගෙවිලා ඉවර වෙනවා කියලා අපිට මතක් වුණේ නෑ නේ ද?

ඔය වගේ ම යි අපේ ජීවිතේ… මකන කෑල්ලෙන් අකුරු මකනවා වගේ අපි අපේ කටින් කී දෙනෙකුගේ හොඳ මකලා තියෙනවා ද?

බලන්න….. මේ ලෝකෙට ආපු දා ඉඳලා අපි හැමෝම ජීවත් වෙන්නෙ එක එක්කෙනාගේ උපකාරවලින්. අපි අඬාගෙන මවු කුසින් මේ ලෝකේ එළිය දකින කොට අපිව මේ ලෝකයට ගන්න කී දෙනෙක් උදව් කළා ද? ඒ මොහොතේ ඉඳලා අපි මේ ලෝකේ හැමෝගේ ම උදව්වෙන් තමා ජීවත් වෙන්නේ.

සමහරවිට ඔබ මේ වෙනකොට ඉගෙන ගන්න දරුවෙක් වෙන්න පුළුවන්, විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගෙදර දොර වැඩපළ කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්… ඔබ කොහේ කොතනක හිටියත් ඒ හැම තැනකදි ම ඔබ ජීවත් වෙන්නේ අනුන්ගේ උපකාරයෙන් නේ ද?

ඔබ ඉගෙන ගන්න තැන ඔබ ජීවත් වෙන්නේ ගුරුවරුන්ගේ උපකාරයෙන්. ඔබ රැකියාව කරන තැන ආපන ශාලාවේ සේවක මණ්ඩලයේ ඉඳලා ප‍්‍රධානියා දක්වා ම සිටින හැමෝගෙන් ම ඔබට පුංචි හෝ උපකාරයක් උදව්වක් ලැබිලා තියෙනවා නේ ද? ඒ වගේ ම ඔබේ ගෙදර ගැන හිතුවොත් ඔබේ බිරිඳගෙන්, ස්වාමියාගෙන්, දරුවන්ගෙන් ඒ හැමෝගෙන් ම පුංචි පුංචි උදව්වක් හෝ ඔබට ලැබිලා තියෙනවා නේ ද? ඒ විතරක් ද? ඔබ ගමන් බිමන් යනකොට ඔබව ඒ ගමන ගෙනියන රියදුරු මහත්තයා පවා කරදරයක් නොවන විදිහට නේ ද වාහනයේ ඉන්න ඔබ ඇතුළු පිරිස ගමනාන්තය දක්වා ගෙනියන්නේ?

එහෙනම් ඔබට උදව්වක් නො කළ කෙනෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන් ද? මහ පොළොවේ පය ගහලා ඉන්න අපි මහ පොළොව, නිල් අහස, හමාගෙන යන සුළඟ, ජලය කියන හැමදෙයින්මත් උදව් ලබමින් එකිනෙකාගේ උපකාරයෙන් ජීවත් වෙන පිරිසක්. එහෙම ජීවත් වෙන අපිට තව කෙනෙකුගේ පුංචි වචනයක් නිසා, පුංචි අඩුපාඩුවක් නිසා ඒ අයගේ ඒ අඩුව, වැරැද්ද තවත් කෙනෙකුට කියන්න පුළුවන් ද? අපි එහෙම කියන්න ඕන ද?

සමහරවිට අපිට බැණපු කෙනාගේ වචනය සැර වුණත් එයා ගොඩක් හොඳ දේවල් කරනවා නේ ද? ඒ වගේ ම අපිට නපුරු දෙයක් කරපු කෙනාගේ කතාබහ ඉඳල හිටලා ඒ විදිහට නපුරු වුණාට අනිත් හැම මොහොතෙ ම ගොඩක් හොඳයි නේ ද? සමහරවිට කතා කරන වචනයත් සැරයි, කරන දේවලූත් හොඳ නැහැ. ඒත් එයාගේ හිතින් එයා හොඳ දේවල් හිතනවා වෙන්න පුළුවන් නේ ද? කෙනෙක් කරන, කියන, හිතන හැමදේ ම නරකයි නම්, නපුරු දේවල් නම්, ඇත්තටම එයා ඒ දේවල්වල අයහපත දන්නේ නැති නිසා නේ ද ඒ නරක, නපුරු, දුෂ්ඨ දේවල් කරන්නේ? අනුකම්පා කළ යුතුයි නේ ද ඒ ස්වභාවය ගැන?

එතකොට ඕනෑම කෙනෙකුගේ පුංචි හරි හොඳක් තියනවා නේ ද? එහෙනම් කෙනෙකුගේ පුංචි අඩුවක් දැකලා, පුංචි වැරැද්දක් දැකලා, පුංචි දෝෂයක් දැකලා ඒ කෙනාගේ ඒ වැරැද්ද, අඩුව, නුගුණය අපිත් එක්ක ඉන්න අනිත් අයට අපි කිය කිය යන්නේ මොකට ද? එය නො කළ යුතු දෙයක්.

සමහරවිට වැරදි කරපු කෙනා එයාගේ වැරැද්ද පස්සේ කාලෙක හදා ගනීවි. නමුත් ඒ වෙනකොට අපි අපේ හිත ඒ වැරැද්ද නිසා ම කිලූටු කරගෙන ඉඳීවි. මතකනේ… මකනයෙන් අකුරු මකන කොට ඉස්සෙල්ලා ම වෙන්නේ මකනය ගෙවෙන එක. ඒ වගේ ම යි, අපි අපේ කටින් කාගේ හරි අඩුවක් කියන කොට ඉස්සෙල්ලා ම කිලූටු වෙන්නේ අපේ හිත. ඒ නිසා ඔබ කවදාවත් අනුන්ගේ ගුණ මකන මකනයක් වෙන්න එපා. අනුන්ගේ උපකාරයෙන් ජීවත් වෙන ඔබ අනිත් අයගේ හොඳ ම දකින්න.

– ගුණවර්ධන –