සියළු පවු නොකිරීමත්, කුසල් උපදවා ගැනීම ත්, සිත දමනය කිරීම ත් සියලූ සම්මා සම්බුදුවරුන්ගේ අනුශාසනය යි. බුදු දහමෙන් ඉගැන්වෙන පස් පව් දස අකුසල් ආදිය පුද්ගලයින් විසින් තම තමාට මෙන් ම ජන සමාජයට ද එරෙහි ව සිදු කරන වැරදි වේ. කිසිවෙකු කරන වරදකට පව් සොදා ගැනීමේ ක‍්‍රමයක් බුදු දහමේ ඉගැන්වෙන්නේ නැත. පුහුදුන් පුද්ගලයෝ දැන සහ නොදැන නන් අයුරෙන් වරදෙහි බැඳෙති. ලෝක සම්මත නීති මගින් වැරදි කරන්නවුනට දණ්ඩනයන් පමුණුවනු ලැබේ. එසේ ම සනාතන ලෝ දහමට අනුව ඔවුනට ලැබෙන විපාක ද යහපත් ඒවා නොවේ. බොහෝ විට සතර අපා දුකෙන් ම කෙළවර වන ඔවුන් ගේ ජීවිතවලට මෙළොව දී ද අත්විඳින්නට සිදු වන දුක අපමණ බව අප අසා අත් දැක ඇත්තෙමු.

අදින් ඇරඹෙන මෙම ලිපි පෙළ දිග හැරෙන්නේ කිසියම් සත්‍ය සිදුවීමක් පාදක කරගෙන අපරාධක් සිදු කළ පුද්ගලයෙකු අත්විඳින අමිහිරි අද්දැකීම් පාඨකයා හමුවේ තබා අපරාධයේ ආදීනව පරලොව වශයෙන් පමණක් නොව මෙළොව දී ද අත් විඳින බව සිහිපත් කර දීමට යි. සම්මත නීතියේ අපරාධයක් යනු දණ්ඩනීය දඬුවමකින් දඬුවම් කළ හැකි වරදකි. එවැනි අපරාධ චෝදනාවන්ට වරදකරු වී දඬුවම් ලබන පුද්ගලයෙකු සමග සාකච්ඡා කර ලබා ගන්නා තොරතුරු ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කෙරෙනු ඇත. අද කතන්දරය මෙසේ දිග හැරෙයි.

මිනී මැරුම් චෝදනාවකට වරදකරු වී මරණීය දණ්ඩනය නියම ව බන්ධනාගාරගත ව සිටින නිමල් ගේ වයස දැනට අවුරුදු 42 කි. තම ගම් ප‍්‍රදේශය වූ කුරුණෑගල හැරදමා නිමල් ගේ දෙමව්පියන් මීට අවුරුදු 40 කට 50 කට පෙර මාතලේ පදිංචියට ගියේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට ය. උසස් පෙළ උපකාරක පන්තිවලට යාම සඳහා තම මුල් ගම වූ කුරුණෑගලට එවනු ලැබුවත්, 1980 ගණන්වල පැවති තත්වය යටතේ ආපසු මාතලේ වෙත ගෙන්වා ගනු ලැබූ නිමල් ගේ අධ්‍යාපන කටයුතු අතරමග අත්හැර දමා, පියා ගේ ව්‍යාපාර කටයුතුවලට ඔහුව හවුල් කර ගැනුනි. මාතලේ කාර්ය බහුල වාණිජ කඩ වීදියක නිමල් ගේ පියාට සාර්ථක ව්‍යාපාරයක් හිමිව තිබූ අතර හිස් වූ කඩකාමරයක් කුලියට ගෙන නිමල්ට ද බුලත් පුවක් විකිණීමේ කුඩා වෙළෙඳ සැළක් ආරම්භ කර දෙන ලදී.

වෙළෙඳ වීදියේ ‘‘සුදු මල්ලී” නමින් ජනප‍්‍රිය වූ නිමල්ට කවුරුත් ආදරය කළහ. සුදු මල්ලීට වැඩි වයස් පරතරයක් නැති, මාමා කෙනෙකු වන ජයන්ත ඉතා සාර්ථක සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය අතර කෙසේ හෝ වෙළෙඳ වීදියේ ප‍්‍රමුඛයා වීමේ දැඩි අභිලාෂයකින් ඔහු පසු විය. මේ වන විට පරම්පරාගත ව ප‍්‍රමුඛ පෙළේ සිල්ලර – තොග වෙළෙඳාමක් පවත්වාගෙන ගිය කරු අයියා මේ දෙදෙනා ගේ ම සුහද මිතුරෙකි. දවසේ ව්‍යාපාරික කටයුතු අවසන් වූ පසු හැන්දෑ යාමයේ කරු අයියා ගේ තනිකඩ නවාතැනට තවත් යාලූවන් කීප දෙනෙකු ද සමග සුදු මල්ලී සහ ජයන්ත එකතු වූයේ විනෝද වීමට යි. මේ විනෝදය මත්පැන්, දුම්වැටි පාවිච්චියටත් අල්ලාප සල්ලාප දෙඞීමටත්, ඇතැම් දිනවල දී හොර රහසේ අසභ්‍ය වීඩියෝ නැරඹීමටත් වෙන් වුව ද, ඒවා අපචාරයන් බව මේ තරුණයන්ට දැණුනේ නැත. එළිපිට හොඳ හිත තිබුණත් කරු අයියා අභිබවා ව්‍යාපාරික ප‍්‍රමුඛයා වීමේ දැඩි ඊර්ෂ්‍යාවක් සහ ද්වේශයක් ජයන්ත තුළ පැවති අතර ඔහු විසින් කරු අයියා තුරන් කිරීම සඳහා මාස ගණනත් තිස්සේ සුදු මල්ලි ගේ සිත තුළ විෂබීජ රෝපනය කරමින් තිබුණි.

එක් අවාසනාවන්ත රාත‍්‍රියක සිරිත් පරිදි ජයන්තත් සුදු මල්ලීත් කරු අයියා ගේ නවාතැනට ගියේ මත්පැන් බොමින් අසභ්‍ය වීඩියෝ චිත‍්‍ර පටයක් බැලීමට යි. කරු අයියා නාන කාමරයේ ඇඟ සෝදමින් සිටි අතර ජයන්තත් සුදු මල්ලිත් සාලයේ කටයුතු ආරම්භ කර තිබුණි. හදිසියේ විදුලිය ඇණ සිටියෙන් ප‍්‍රදේශය ම අන්ධකාර විය. ‘‘කරු අයියා ලයිට් ගියා” යනුවෙන් ජයන්ත කෑ ගසා සුළු වේලාවකින් කරු අයියා සාලයට එනු දැණුනි. කරුවලේ ම එක වර කරු අයියා වෙතට පැන ජයන්ත ඔහු සමග පොර බදන්නට විය. පොරය බේරීමට ගිය නිමල්ට ද පිහි පාරවල් කීපයක් වැදී තුවාල විය. පිහිය උදුරාගත් නිමල් ගේ පිහිපාර ඇනී කරු අයියා මැරී බිම වැටුනි. ජයන්ත ඒ වන විට පැණ ගොස් තිබුණු අතර තුවාල වී සිටි නිමලූත් මිය ගොස් සිටි කරු අයියාත් රෝහලට ගෙන යන ලදී.

මේ අපරාධ චෝදනා ඔප්පුවීමේ හේතුවෙන් අද මරණීය දණ්ඩනයට යටත් ව සිටින නිමල් ඒ අවාසනාවන්ත සන්ධ්‍යාවේ කරු අයියාගේ නිවසට ගොඩ වැදුනේ එවැන්නක් සඳහා කිසිදු චේතනාවක් ඇති ව නොවන බවත් මෙය අහම්බෙන් සිදු වූවක් බවත් පුන පුනා කීවේ ය.

මේ වන විට නිමල් මරණයට කැප වී අවුරුදු නවයක් තිස්සේ සිරබත් කයි. සිද්ධිය වන විට අවුරුදු 19 ක් වූ නිමල් අද අවුරුදු 42 ක් වයසැති පුද්ගලයෙකි. රටට ජාතියට සේවාවක් ඉටු කරමින් සතුටින් පවුල් ජීවිතයක් ගත කිරීමට තිබුණු නිමල්ගේ තරුණ ජීවිතය බිත්ති හතරක් මැද සන්තාපයෙන් කල් ගෙවීමට තරම් කාලකණ්නි විය. ඔහු පෙම් බැඳ සිටි රංජි ඔහුට අහිමි විය. මේ අපරාධකරුට තම දියණිය පාවා දිය නොහැකි යැයි ඇගේ මාපියන් විසින් වෙනත් කෙනෙකුට සරණ කර දී ඇති රංජි, දැන් දෙදරු මවකි. තමා දැඩි ව ආදරය කළ අම්මා, තාත්තා සහ සහෝදරයන්ගේ උණුසුම් සබඳතාව ඔහුට අහිමි විය. තම ව්‍යාපාරය කරගෙන ගියේ නම් පසු ගිය කාලය තුළ එය වර්ධනය වී මේ වන විට ඉතා පොහොසත් ව්‍යාපාරිකයෙකු වීමේ ඔහු සතු බලාපොරොත්තුව ද සුන් විය. මේ මරණය සිදු කළේ එක් ව ඇසුරු කළ මිත‍්‍රයෙකු ව්‍යාපාරික ඊර්ෂ්‍යයාව මත විනාශ කිරීමටත් ඔහුගේ මුදල් සොරකම් කිරීමටත් යැයි පැතිරුණු ප‍්‍රචාරය නිසා නිමල්ගේ මුළු පවුල ම නින්දාවට භාජනය විය. මේ සියල්ල ඔහු විසින් සිදු කළ කර්මයේ සෘජු හෝ වක‍්‍ර දිට්ඨ ධම්ම වේදනීය විපාක වන්නට ඉඩ ඇත.

ගෞරවනීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ 2003 වර්ෂයේ දී තම ජන්ම දිනය නිමිති කරගෙන වැලිකඩ බන්ධානාගාරයට පරිත්‍යාග කළ පුස්තකාලයේ ඇති උන්වහන්සේගේ සදහම් පොත් කියවා සිත පහන් කර ගැනීමට උත්සාහ දරන නිමල් මේ වන විට දහම් මග අනුගමනය කරන්නට වෙර දරමින් සිටී. මරණීය දණ්ඩනයට නියම වූවන් හදින කොටු සරම ඇඳගෙන වුවත් භාවනා කරන ඔහු දහමේ සරණ පතමින් සිටී. ධර්මයෙන් පිළිසරණක් නොගත්තා නම්, තමා අතින් සිදු වූ මනුෂ්‍ය ඝාතනය නිසා නිරයේ ඉපිද දුක් විඳීමට සිදු වන බව නිමල් දැන් හොඳින් දනී.

ඉන් මෙපිට ඔහු සිතින් අපමණ දුක් විඳින බව මා වෙත පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි. ඇත්තෙන් ම මිය ගියේ ලඟින් ඇසුරු කළ මිතුරෙකි. ඔහුට මිතුරෙකු අහිමි විය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි බව පසක් කළ සේ කරු අයියාගේ පණ නැවත ලබා ගත හැකිනම් වඩාත් ම සතුටු වන පුද්ගලයා නිමල් ය. ඒ මරණීය දණ්ඩනයෙන් බේරීමටත් වඩා තම සිත් තැවුලෙන් නිදහස් වීමට ය. මේ සිද්ධියෙන් කලක් ගත වන තුරු ම ඔහුට විඳින්නට සිදු වූ ශාරීරික සහ මානසික පීඩා අනන්තය. මහාධිකරණයේ දී මරණීය දණ්ඩනය නියම කෙරුණු අවස්ථාවේ දී තමාගේ දෙපා පණ නැති ව ගිය බවත් ඒ මොහොතේ තමා බිහි කොට හැදු වැඩූ අම්මා සිහි වී හැඬූ බවත් පැවසුවේ සංවේදී අයුරෙනි. දහමට නැඹුරු වී සිත හදා ගන්නට උත්සාහ කරතත් මොහොතක් පාසා ඔහු මැරී මැරී උපදියි. නිරවුල් සිතක් නැත. මතු දිවියේ අපා දුකෙන් මොබ්බෙහි මෙලොව විඳින මානසික පීඩා අපා දුක දැඩි බව ඔහුගේ මුහුණෙන් ද කියැවේ.

කෙසේ හෝ නීතියේ රැහැනෙන් බේරීමට සමත් වූවත් ජයන්ත ද ගත කරන්නේ අභාග්‍ය සම්පන්න ජීවිතයක් බව නිමල් කියයි. කිසි විටෙක ජයන්ත පාවා දීමට කටයුතු නොකළ ඔහු ජයන්ත කෙරෙහි ද්වේශයක් උපදවන්නේ නැති බව ද කියයි. මේ වන විට ජයන්ත ගේ ව්‍යාපාරය බංකොලොත් වී වෙනත් කෙනෙකු ගේ කඩයක කුලියට වැඩකරන අතර පවුල් ජීවිතය කඩාකප්පල් වී කාලකණ්නි ජීවිතයක් ගත කරන බවත් පවස යි.

තරුණ ජීවිතයේ නරක ආශ‍්‍රයට ගොදුරු වීම හා නරක පුරුදුවලට ලොල් වීම නිසා වටිනා ජීවිතයක සියලූ බලාපොරොත්තු අහිමි කරගත් නිමල් වඩාත් දුක් වෙමින් තම කතාව අවසන් කළේ ද මෙසේ ය.

‘‘එදා හැන්දෑවෙ ඇඟ පත හෝදගෙන අළුත් ඇඳුමක් ඇඳගෙන එළියට බහින කොට මගෙන් තාත්තා ඇහුවා ‘පුතා ඔය කොහෙද යන්නෙ… කෑම ටිකක් කාලා නිදා ගන්න’ කියලා. නමුත් මම තාත්තාට බොරු කිව්වා. ‘කරූ අයියාගෙ ගෙදර හින්දි ෆිල්ම් එකක් බලන්න යනවා තාත්තේ’. ඇත්තට ම එදා බොරුවක් කියල යි මම පිටත් උනේ. වැඩියෙන් ම එදා මට ඕනෑ වුනේ මත්පැන් ටිකක් බොන්න යි. ඇත්තට ම මම කරපු ලොකු ම වරද මගේ තාත්තගෙ අවවාදය පිළිගත්තේ නැති එක යි…!”

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල