රජයේ සේවකයා
අප සමාජයේ මුල් බැස ගත් ආකල්ප අනුව කෙනෙකුට රජයේ රැකියාවක් ලැබීම මහා භාග්‍යයක් ලෙස සැළකේ. ඒ නිසා ම රජයේ සේවකයෙකුට සමාජයේ හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. රජයේ සේවකයෙකු වූ පමණින් මාසය අවසානයට වැටුප ලැබෙනවා සහතික ය. මුළු සේවා කාලය තුළ දී ම මෙම වරප‍්‍රසාදය භුක්ති විඳින රජයේ සේවකයා එක්කෝ අවුරුදු 57ක් නැතහොත් අවුරුදු 60ක් ඉක්ම වූ විට තමා ජීවත් වන මුළු කාලය පුරාවට ම මාසික විශ‍්‍රාම වැටුපකට හිමිකම් ලබයි. බොහෝ විට එකී විශ‍්‍රාම වැටුප උපයා ගන්නට රජයේ සේවකයකු අවුරුදු තිහ හතළිහක් නොයෙක් වද විඳිමින් සේවය කළ යුතු ය. වියපත් වන රජයේ සේවකයාට ලැබෙන මාසික විශ‍්‍රාම වැටුප තරම් අස්වැසිල්ලක් තවත් නම් නැත. ලොකු මහත් වූ දරුවන් කොපමණ සිටියත් දේපල ඉඩකඩම් කොතෙක් තිබුණත් විශ‍්‍රාම ගිය රජයේ සේවකයෙකුට තම ජීවිතයේ සැදෑ සමයේ ලැබෙන විශ‍්‍රාම වැටුපෙහි අගය කියා නිම කළ නො හැක.

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගිය ගමන
වෙනදා මෙන් තමාගේ කථාව ඔහුගේ මුවින් ම අසා ගන්නට කථා නායකයින් අද මට හමු වන්නේ නැත. අද මා හමු වන්නේ ඉතා සම්භාවනීය රාජ්‍ය නිලධාරියෙකි. ඒ තිලකරත්න කඳනආරච්චි නම් වූ මෙරට හාර ලක්ෂ හැත්තෑ දහසකට අධික විශ‍්‍රාමිකයින්ට විශ‍්‍රාම වැටුප් ලබා දෙන විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය. මගේ කුලූපග මිතුරෙකු වන තිලකරත්න මහතාගේ කථා බහක දී හෙළි වුණු ඉඟියක් ඔස්සේ ඔහු හමුවීමට මා ගියේ අනුවණකමින් කළ වැරදි කි‍්‍රයා නිසා තම විශ‍්‍රාම වැටුප් පවා අහිමි කරගත් පාපී රාජ්‍ය සේවකයින් ගැන දැන ගැනීමට යි. ‘‘ඒ වගේ අය සැලකිය යුතු සංඛ්‍යාවක් පසුගිය වසර කීපය තුළ මට මුණ ගැසුණා. එක අතකින් දුකත් හිතෙනවා. ඒත් තමා කළ පව් මෙලොව දීම පළ දෙන හැටි බලන්න මේවා හොඳ උදාහරණ” යැයි පැවසූ තිලකරත්න මහතා සීනුව නාද කොට සහාය නිලධාරියෙකු කැඳවා මතකයෙන් නම් තුනක් සටහන් කොට දී අදාළ විශ‍්‍රාම වැටුප් ලිපි ගොනු තුනක් ගෙන්වා ගත්තේ ය.

අධම පාසැල් ගුරුවරයා
ඉන් එක් ලිපි ගොනුවක් තුළ සිටියේ අප දේවත්වයෙන් සලකන ගුරුපියෙකු හෝ ගුරුමාතාවක නො වෙයි. පිළිකුල් සහගත වනචර පාසල් ගුරුවරයෙකි. ඒ වන විටත් අවුරුදු පණහක් ඉක්මවා සිටි මෙම ගුරුවරයා දේව කාරියට පමණක් දෙවැනි වන ගුරු වෘත්තියේ උතුම් බව මඳකට හෝ අමතක කොට ඇත. තම පාසලේ ඉගෙන ගත් වයස අවුරුදු නවයක් වූ අහිංසක කුඩා දැරියක් බදාගෙන ඇයට යම් ආකාරයක ලිංගික අතවරයක් කරන ලදැයි මේ පුද්ගලයාට එරෙහි ව චෝදනා එල්ල විය. සබරගමුව පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි පාසලක සේවය කළ මෙම ගුරුවරයා නිදහසට කියා ඇත්තේ දැරිය ඩෙස්ක් එකක කකුල පැටලී වැටෙන්නට ගිය බවත් , වැටෙන්නට යාමේ දී එම ශිෂ්‍යාව තමා අල්ලා ගත් බවත් ය. මේ අනුව ශිෂ්‍යාව තමා අල්ලා ගැනීම සිදු වූයේ ඇයගේ කකුල පැටලී වැටෙන්නට යන අවස්ථාවේ දී යැයි ගොතන ලද බොළඳ නිදහසට කරුණ අධිකරණය අවඥාවෙන් යුතු ව ඉවත දමා ඇත. තම ගුරුවරයා අතින් වූ මේ ලිංගික අඩත්තේට්ටම පිළිබඳ ව මුල දී පැමිණිල්ලක් කිරීමට බියෙන් කරුණු සඟවා ගෙන සිටීමට මේ කුඩා දැරිය පෙළඹී ඇත්තේ මේ හේතුවෙන් තම පාසල් අධ්‍යාපනය කඩා කප්පල් වේ යයි ඇති වූ කුකුස සහ ඇති විය හැකි නින්දාව ගැන සිතමිනි.

මේ සිද්ධිය වසං කිරීමට ඇයට නො හැකි වූණේ සිද්ධිය සියැසින් දුටු ඉහළ පන්තියක ශිෂ්‍යාවක් පාසල පුරා එය ප‍්‍රචාරය කිරීම නිසා ය. අනතුරු ව පන්ති භාර ගුරුතුමියගේ විමසුමට ලක් වූ විට අහිංසක දැරිය සිදු වූ සියල්ල නො වලහා කියා ඇත. දැරිය මෙන් ම පන්තිය භාර ආචාර්යවරියගේත් විදුහල්පති තුමාගේත් සාක්ෂි විභාග කිරීමකින් පසු ව මහේස්ත‍්‍රාත්තුමා මේ අධම පාසල් ගුරුවරයාට රුපියල් 1500ක දඩයක් ද ඊට අමතර ව අවුරුදු දෙකක බරපතළ වැඩ සහිත හිර දඬුවමක් ද නියම කර ඇත.

මිහිපිට අපායක් තනා ගත් අයුරු
නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණවලට කෙරුණ අභියාචනා ද නිශ්ප‍්‍රභා වූ තැන එම දඬුවම් විඳි එකී ගුරුවරයා බන්ධනාගාරයෙන් නිදහස් ව අද වන විට සමාජයේ කටුක ජීවිතයක් ගත කරයි. බන්ධනාගාර ගත වීමට අමතර ව ඔහුට විරුද්ධ ව පැවැතුණු දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයෙන් ද වැරදිකරු බවට තීරණය කෙරුණු ඔහු ආයතන සංග‍්‍රහයේ විධිවිධාන ප‍්‍රකාර ව රජයේ සේවයෙන් ද පහ කෙරුණි. මේ වන විට විශ‍්‍රාමික වයසේ පසු වන ඔහුට තම විශ‍්‍රාම වැටුපට ද හිමිකම නැත. විශ‍්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජෙනරාල් තිලකරත්න මහතා විස්තර කළ ආකාරයට මෙම පාපී පුද්ගලයා තමා හමුවීමට පැමිණීයේ වැරහැලි හැදගත් හිඟන්නෙකු මෙන් ය.

ඔහු දැනගත් තොරතුරු අනුව මේ සිද්ධිය නිසා පාසල පුරා පැතිරී ගිය අවමානය හේතුවෙන් මේ ගුරුවරයා සිය දිවි නසා ගන්නා තත්වයට පත් ව ඇත. පාසල පිහිටි ගම් ප‍්‍රදේශයේ ජීවත් වූ ඔහුට ගමට ද මුහුණ දෙන්නට නො හැකි තත්වයක් උදා විය. එක් අතකින් මේ අවමානයට මුහුණ දෙනවාට වඩා හිරබත් කෑම හොඳ යයි ඔහුට සිතෙන්නට ඇත. මේ සිද්ධිය වූ සැනින් ඔහුගේ පවුල් ජීවිතය දෙදරා ගියේ ය. ඔහුට තම භාර්යාවත් දරුවන්ටත් මුහුණ දෙන්නට නො හැකි විය. මොහු නිවසට බාර ගැනීමට භාර්යාවත් දරුවනුත් ප‍්‍රතික්‍ෂේප කළ නිසා යන එන මං නැති විය. මිනීමැරුම් වරදකට වැරදිකරු වූ පුද්ගලයෙකුගේ සුව දුක් බලන්නට පවුලේ අය සහ හිතවතුන් බන්ධනාගාරයට ගියත් මෙබඳු අධමයන් අඩු තරමේ බලන්නටවත් කිසිවෙකු බන්ධනාගාරකට යන්නේ නැත. ඉපදෙමින් මැරෙමින් මොහු තම ජීවිතය ගෙවනවා නො අනුමාන ය. මේ පුද්ගලයා මට මුණ ගැසුණේ නම් සැබවින් ම ඔහු මනසින් විඳින පීඩාව ගැන හාරා අවුස්සා තොරතුරු ලබා ගත හැකි ව තිබුණි. තිලකරත්න මහතා පැවසූ ආකාරයට මේ පුද්ගලයා තමා වෙත පැමිණ වැඳ වැටී විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස ආයාචනයක් කර ඇත. එය ඉටු කිරීමට නීතියෙන් වත් සදාචාරාත්මක වත් ඉඩක් නො මැති බව ඔහුගේ තීරණය විය.

තිලකරත්න මහතා විස්තර කළ ආකාරයට රජයේ සේවකයෙකුට කිසියම් ආකාරයක එක් අවුරුද්දකට වැඩි සිර දඩුවමක් හෝ බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කවර හෝ කාලයකට නියම කරනු ලැබුවහොත් විශ‍්‍රාම වැටුප් සංග‍්‍රහයට අනුව විශ‍්‍රාම වැටුප අහිමි වේ.

ඒ අපරාධය තමාගේ දරුවාට කළා නම්
අනෙක් ලිපි ගොනුව දිග හරින ලද තිලකරත්න මහතා නඩු වාර්තාව ද පෙන්වමින් මා වෙත තොරතුරු දුන්නේ මීගමුව මහාධිකරණයේ දී ළමා අපචාරයකට වැරදිකරු වූ පුද්ගලයෙකුට විශ‍්‍රාම වැටුප් අහිමි වූ ආකාරය පිළිබඳ ව යි. කිසියම් දෙපාර්තමේන්තුවක් වසා දැමීමේ හේතුව නිසා ස්වකීය රැකියාව අහිමි වූ දයාරත්න තරුණ වියේ දී ම විශ‍්‍රාම වැටුපකට හිමිකම් ලැබුවේ ය. අඩු වයසින් රජයේ සේවයෙන් විශ‍්‍රාම ලැබූ ඔහු වෙනත් කෙනෙකුගේ වෑන් රථයක රියදුරුකම රක්ෂාව ලෙස තෝරාගෙන ඇත. ළමයින් පාසල්වලට හැර දමා පාසල අද්දර වෑන් රථය නවත්වා කාලය ගෙවන්නේ පාසල් හැරුණු පසු ඔවුන් ආපසු නිවෙස් කරා ඇරලවීමට ය. ඔහු එක් දිනක් තනි කර ගත් අවුරුදු 12ක් වයසැති බහ නො තේරෙන දැරියක් තමා පදවන වෑන් රියේ පසු පස ආසනයට බලයෙන් ඇදගෙන ගොස් දූෂණය කර ඇත. මරණීය තර්ජනය කොට දරුවා බිය ගැන්වුවත් ගෙදර ගිය දරුවා අසනීපයෙන් පසු විය. මේ පිළිබඳ ව විමසූ මවටත් දරුවාගෙන් ප‍්‍රශ්න කළ පොලීසියටත් සිද්ධියේ සුල මුල අනාවරණය කර ගත හැකි විය. චූදිතයාට එරෙහි ව මහාධිකරණයේ වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර තැනැත්තියක් දූෂණය කිරීමේ වරදට ඔහු වැරදිකරු විය. ඔහුට බරපතළ වැඩ සහිත දොළොස් අවුරුදු හිර දඬුවමක් නියම විය. ඊට අමතර ව අතවරයට පත් දැරියට රු. 50 000ක වන්දියක් ගෙවීමට ද නියම විය.

මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට පෙර දඬුවම ලිහිල් කරන ලෙස විත්තියේ නිතීඥ විසින් දක්වන ලද කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වටී. ‘‘ගරු උතුමාණෙනි, මොහු කුඩා දරුවෙකුගේ පියෙක්. මීට පෙර කිසිම චෝදනාවක් සම්බන්ධ ව පොලීසියට පැමිණිලි ලැබී නැහැ…. ඉහත කරුණු සලකා බලා දඬුවම් ලිහිල් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” මේ චූදිතයා කුඩා දරුවෙකුගේ පියෙකු නම් කෙතරම් නම් වගකීමකින් කටයුතු කළ යුතු ව තිබුණා නො වේ ද? මේ අපරාධය තමාගේ දරුවාට යම් කෙනෙකු කළා නම් මේ පුද්ගලයා කවර පියවරක් ගන්නවා ඇද්ද? ඔහුට තමන්ගෙන් තමන් විමසීමට නො හැකි වීම අභාග්‍යයකි. දඬුවම් තීරණය කරමින් මහාධිකරණ විනිසුරුතුමා ”මේ විත්තිකරු කර ඇත්තේ බරපතළ වරදක්. ඒ වරද සිදු කර ඇත්තේ ඔහු විසින් ම පදවන ලද වෑන් රථයේ දී බවට සාක්ෂි මඟින් ඔප්පු වී තිබෙනවා. ඒ වගේ ම ඉතා පහත් නින්දිත කි‍්‍රයාවක් සිදු කරල තියෙන්නේ. පාසල් යන ලාබාල දැරියක් මේ අතවරයට ලක් වී තියෙන්නේ….” යනුවෙන් සඳහන් කරමින් මේ අධම කි‍්‍රයාව ගැන ඉතා පිළිකුලෙන් සඳහන් කර ඇත.

මෙය සැබවින් ම රාගික හැඟීමක් තෘප්ත කර ගත් අවස්ථාවක් ද? බහ නො තේරෙන බොළඳ දරුවෙකුට බලහත්කාරකමක් කොට ලැබිය හැකි තෘප්තිය නම් කවරක් ද? අහිංසක දරුවෙකුගේ මුළු මහත් අනාගතය ම විනාශ කර දැමීම විනා මේ අධමයින් ලැබූ දෙයක් ඇත් ද? අවසානයේ තම දරුවන්ගේ මුහුණේ තැවරූ දැලි කවදා නම් පිරිසිදු කළ හැකි ද?

තමාට ලැබෙමින් තිබුණු විශ‍්‍රාම වැටුප් මේ වන විට ඔහුට අහිමි වි ඇත. ලෝක නීතිය හෝ සදාචාරය කෙසේ වුවත් විශ‍්‍රාම වැටුප නැවත ලබා ගැනීමට නොයෙක් ලෙස ඔහු වෑයම් ගන්නා බව තිලකරත්න මහතා පවසයි. එහෙත් විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඔහුට කිසිසේත් ම යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැත.

දෙමාපියන්ට හොඳ පාඩමක්
දරුවන් අන්‍යයන්ට භාර කොට පාසල් යවන දෙමාපියන්ගේ ඇස් ඇරෙන්නට මෙය හොඳ පාඩමකි. මේ අධමයා දරුවෙකුගේ ද පියෙකි. ස්වාමි පුරුෂයෙකි. ඕනෑ ම දෙමාපියෙකු තම දරුවා මෙබඳු මුහුකුරා ගිය අයකු සමග පාසලට යැවීමට පැකිලීමක් නො කරනවා විය හැකි ය. එහෙත් කවුරුන්ට නම් තම බහ නො තේරෙන දරුවා සෙවිල්ලෙන් බැලීමකින් තොර ව භාර දිය හැකි ද? පාසලට ඇරලන්නට වෑන් රථයකට හෝ වෙනත් ඕනෑ ම වාහනයකට හෝ විශ්වාසවන්ත යැයි උපකල්පනය කරන පුද්ගලයෙකුට නිසි ඇස් බැල්මකින් තොර ව දරුවෙකු භාර දීමේ අවදානම මේ පුවතින් මනා ව ප‍්‍රකට වෙයි.

මෙලොව පරලොව නො හඳුනන අධමයින් රජ්‍ය සේවකයින් අතර ද නැතුවා නො වේ. ඔවුන්ගේ ම වැරදි හේතුවෙන් වසර විසි තිස් ගණනක රජ්‍ය සේවාවට කෙරෙන උපහාරය වූ විශ‍්‍රාම වැටුප පවා පුද්ගලයින් අහිමි කර ගන්නා අවස්ථා අපමණ බවට මේ පුවත් තුන අපට පෙන්වා දෙයි. විශ‍්‍රාම වැටුප අහිමි වීමෙන් පාඩුව ලබන්නේ එසේ වැරදි කරන පුද්ගලයා පමණක් ම නො වේ. ඔහු අධම වුවත් වඩාත් පීඩාවට ලක් වන්නේ ඔහුගෙන් යැපෙන අහිංසක දරු පවුලයි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල