පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේ දීර්ඝ සංසාරේ අපි ගමන් කරන්නේ ස්ථිර වූ දෙයක් තිබිලා නෙමෙයි. මේ හේතු නවත්තගන්න විදිහක් නෑ අපට. ඇයි දැන් අපට හැදිලා තියෙනවානේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඤාණ, මිච්ඡා විමුක්ති. මේවා හැදිලා තියෙන්නේ සංසාරේ ගමන් කරන එක්කෙනා තුළ. ඉතින් මේකෙන් ගැලවෙන්න එපායැ. ඒක සිඳ බිඳ ගෙන යන ආකාරයට සම්මා දිට්ඨියට එන්න ඕනේ. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත… මේ ආදී ඒ ආර්ය ධර්ම තමන්ගේ ජීවිතේ තුළ අර මිථ්‍යා මාර්ගය බිඳගෙන ඉස්සරහට එන්න ඕනෙ.

මෙතැන හේතුප‍්‍රත්‍ය ධර්මයක් නේ තියෙන්නේ. ඉබේ සංසාරේ හැදිලා නෙමෙයිනේ. හේතු නිසා මේ දුක පවතින්නේ. එතකොට මේ හේතු නිසා සකස් වුණු ලෝකයේ ඒ හේතු තියෙනකල් සකස් වෙවී යනවා. හේතු නැතිවුණාම නිරුද්ධ වෙලා යනවා. අනිත්‍ය දේවල්වල තියෙන ස්වභාවික දේ තමයි ඒ ධර්ම න්‍යාය. අනිත්‍ය දෙයක තියෙන ලක්ෂණය මොකක්ද? අනිත්‍ය දෙයක් හටගන්නේ හේතු නිසා. හේතු නිසා හටගන්නා වූ ඒ දේ, හේතු සකස් වෙවී තියෙන කල් පැවති පැවතී තියෙනවා. හේතු සකස් වීම නිරුද්ධ වුණාම ඒක නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවය මත තමයි මේ ලෝකය තියෙන්නේ.

ඉතින් ඒ නිසා අපි ප‍්‍රාර්ථනා කළාට ප‍්‍රාර්ථනාවෙන් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ ක‍්‍රියාවෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ඔක්කොම ගත්තොත්, ඒ එකකවත් තියෙනවද පැතීමක් ගැන ‘සම්මා පැතීම’ කියලා? එහෙම පැතීමක් නෑනේ.

පැතීමකින් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ආත්මයක් තිබ්බොත් නේ. අනන්ත ලක්ඛණ සූත‍්‍රයේ තියෙනවා,‘‘(රූපං භික්ඛවේ අනත්තා) මහණෙනි, රූපය අනාත්මයි. (රූපං ච හිදං භික්ඛවේ අත්තා අභවිස්ස)මහණෙනි, රූපය ආත්මයක් වුණා නම්, (නයිදං රූපං ආබාධාය සංවත්ත්‍යෙය) මේ රූපය ආබාධය පිණිස පවතින්නේ නෑ. ආත්මයක් වුණා නම් (ලබ්භේථ ච රූපේ) රූපයෙන් මේවා ලැබෙන්න ඕනේ. (ඒවං මේ රූපං හෝතු) මාගේ රූපය මෙසේ වේවා! (ඒවං මේ රූපං මා අහෝසි) මාගේ රූපය මෙසේ නොවේවා” කියලා මේක ලබන්න බෑ.

එහෙනම් අපට අපේ ජීවිතයේ ‘මාගේ වේදනාව, මාගේ සංඥාව, මාගේ සංස්කාර, මාගේ විඤ්ඤාණය මෙසේ වේවා…’ කියලා ලබන්න බෑ. මේවා මෙසේ නොවේවා… කියලා ලබන්නත් බෑ. මොකද හේතුව? අනාත්මයි. මේ කාරණය ප‍්‍රඥාවෙන් අපි තේරුම් ගන්න දවසට තමයි අපේ ශ‍්‍රද්ධාවත් එක්ක අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, එහෙනම් මෙතන තියෙන්නේ ක‍්‍රියාවකින් සකස් වෙවී යන, හේතුවකින් සකස් වෙවී යන දෙයක් කියලා.

දැන් අපි අකුසල් කළා කියමු. ඒක අපි ක‍්‍රියාවකින් නෙමෙයිද කරන්නේ? කයින් හෝ වචනෙන් හෝ මනසින් හෝ කරන්න තියෙන්නේ. ඔන්න අපි කුසල් කළා කියමු. කුසලූත් කරන්න තියෙන්නේ කයින්, වචනයෙන්, මනසින්. එහෙනම් සකස් වුණේ හේතුවකින් නම්, ඒ හේතුව හැටියට තියෙන්නේ ලෝභ සහගතව ක‍්‍රියාවලියක් නම්, ඒක සකස් වෙන්නේ අයහපත පිණිසයි. ඒ ක‍්‍රියාවලිය නවත්වන ක‍්‍රියාවලියක් ඇතිවුණොත් ඒ සකස්වීම නැවතිලා යනවා. ඒක ධර්මතාවයක්. අන්න ඒ ධර්මතාවය තමයි මේ ප‍්‍රඥාවෙන් යුක්තව ශ‍්‍රාවකයා වටහා ගන්නේ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !