පින්වතුනේ, පින්වත් දරුවනේ,

දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ‘‘ආනන්දය, අනිත් අය කෙරෙහි කරුණාවක් තියෙනවා නම්, අනුකම්පාවක් තියෙනවා නම්, දයාවක් තියෙනවා නම් ඒ අයව බුදුරජාණන් වහන්සේ සරණයාමට උනන්දු කරවන්න. ධර්මය සරණ යන්න උනන්දු කරවන්න. ශ‍්‍රාවක සංඝයා සරණයන්න උදව් කරන්න. පංච සීලයේ පිහිටුවන්න උදව් කරන්න” කියලා. හේතුව, ඒක එයාට බොහෝ කලක් යහපත පිණිස පවතිනවා. එහෙනම් අනුන්ගේ යහපතට ආශා කිරීම, අනුන්ට යහපත උදාකරන්න කැමතිවීම මෙත් සිතක ලක්ෂණයයි.

හැබැයි ඔබ ‘ලස්සන වෙන්න ඕන’ කියන අදහසින් මෙත් සිත පතුරවන්න ඕන නෑ. මෙත් සිත පතුරවන්න ඕන මනුෂ්‍යයන් කෙරෙහි කරුණාවෙන්, අනුකම්පාවෙන්. සමහරු මනුෂ්‍යයන් කෙරෙහි කරුණාව නෑ. ඒත් සතුන් කෙරෙහි නම් තියෙනවා. නමුත් අපි සියලූ සතුන් කෙරෙහි කරුණාව පවත්වන්න ඕන. විශේෂයෙන්ම මනුෂ්‍යයන් කෙරෙහි කරුණාවන්ත වෙන්න ඕන. මොකද, මනුෂ්‍යයන් තමයි අපට ගොඩාක් සමීප. මනුෂ්‍යයත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. මනුෂ්‍යයාට උදව් කරන්න තමයි අපට පුළුවන්කම තියෙන්නේ.

අපට වචන කතාකිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ සංසාරයේ කරපු පිනක් නිසයි. සංසාරයේ කරපු පිනක් නිසා ලැබුණු ඒ හැකියාව අපි දුෂ්ටකම්වලට පාවිච්චි කළොත්, නපුරුකම්වලට පාවිච්චි කළොත්, ක්‍රෝධයට පාවිච්චි කළොත්, අනිත් අයගේ ජීවිත කඩා කප්පල් කරන්න පාවිච්චි කළොත්, අනිත් අය නැති කරන්න පාවිච්චි කළොත් අපට සංසාරයේ වචන ලැබෙයිද?

ඔබ දැකලා නැද්ද වචන නැති සත්තු ඉන්නවා. ගැරඬි එහෙම ඉන්නවා මුහුණට මුහුණ බලාගෙන, වචන නෑ. පොළොංගු පිඹුරෝ එක්කෙනාට එක්කෙනා මුහුණ බලන් ඉන්නවා. වචන නෑ. හේතුව, එයාට වචන කතා කරන්න පුළුවන් කාලේ නැවත වචන නොලැබෙන විදිහට ඒ වචන පාවිච්චි කරලා. අතපය ලැබුණු වෙලාවේ අතපය නැවත ලබන්න බැරි විදිහට අතපය පාවිච්චි කරලා. අතපයත් නෑ. එහෙම අතපයත් නැති, වචනත් නැති සත්තු ඉන්නවා. ඒ වගේම හිතන්න පුළුවන් වෙලාවේ ආයේ හිතන්න බැරි විදිහට එයා හිත පාවිච්චි කරලා.

මේ නිසා අපට මේ ලැබිලා තියෙන දේවල්, ඒ කියන්නේ හිතන්න පුළුවන්කම, වචන කතා කරන්න පුළුවන්කම, අතපය හසුරවන්න පුළුවන්කම මේවා ඔක්කෝම අපි සංසාරයේ කරන ලද යම්කිසි පුණ්‍ය බලයක්. පුණ්‍ය විපාකයක්.

ඒ නිසා අපි මේවා පාවිච්චි කළ යුත්තේ ආයෙමත් මීට වඩා හොඳට, ලෝකයට යහපත පිණිස පාවිච්චි කරන්න පුළුවන් විදිහටයි. ඉතින් ඒ නිසා, ඒ ගැන අපි හොඳට හිතට ගන්න ඕන. ඒක තමයි ධර්මය පිහිටනවා කියන්නේ, ධර්මයේ හැසිරෙනවා කියන්නේ, ධර්මය තුළ ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැතුව ධර්මය තුළ ජීවත් වෙනවා කියලා කියන්න වෙන ක‍්‍රමයක් නෑ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !