මගේ වාසනාවන්ත පුතේ, ඇත්තට ම දන්නව ද පුතා කොච්චර වාසනාවන්ත ද කියලා? නෑ පුතේ නෑ… පුතා තාම දන්නෙ නෑ පුතාගෙ වාසනාවේ තරම..!

මගේ පුතා තාම ගොඩක් සියුමැලියි; අහිංසකයි. පුලූන් රොදක් වගේ. පුතා සුකුමාල විදියට හුරතල් වෙද්දි, ඔය ලස්සන ලොකු ඇස්වලින් මං දිහා බලද්දි මට මතක් වෙන්නේ මගේ ශාස්තෘන් වහන්සේව. පුතාගේත් මගේත් ශාස්තෘන් වහන්සේව හඳුන්වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියල. අපේ එකම ගුරුවරයා, එකම රැකවරණය, එකම පිළිසරණ, එකම හිරු මඬල උන්වහන්සේ තමයි. ඒ නිසා මේ උත්තම ශාස්තෘන් වහන්සේට පුතත් වන්දනා කරන්න. ගරු සත්කාර සම්මාන දක්වන්න. සාදු සාදු..!! කියල නිතර උන්වහන්සේට වන්දනා කරන්න.

පුතා දන්නව ද? පුතාව දකිද්දි මට උන්වහන්සේ ව මතක් වෙන්නේ ඇයි කියලා? බෝසතාණන් වහන්සේටත් ගිහි කාලෙ ලස්සන පුතෙක් හිටියා. කොච්චර ලස්සන ද කියනවා නම් ඒ පුත් කුමරත් පියාණන් වගේ ම තනි රන් පාටයි. ලස්සන දිගු පුළුල් නෙත් යුගලක් තිබුණා. පුංචිම පුංචි දිව්‍ය කුමාරයෙක් වගේ. ඒ පුංචි පුතා උපන් දවසෙම තමයි මගේ ශාස්තෘන් වහන්සේ ගිහි ගෙයින් නික්මුණේ. පුතාට ඒ කියපු දේ දැන් තේරෙන්නේ නැති වෙයි.
එදා රාහුල පොඩි පුතා ඉපදුණා. ඒ රාහුල මාතාව තමන්ගෙ පුතාව සිද්ධාර්ථ කුමාරයා අතට දුන්නා. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයාට හිතුණෙ මෙහෙමයි. ‘‘අනේ මගේ මේ පුංචි පුතත් දවසක වයසට යනවා. දිරලා ලෙඩවෙලා යනවා. අන්තිමේදි කාටත් නො කියා මැරිලා යනවා. මේ ලෝක ධර්මයෙන් මේ පුතත් නිදහස් වෙලා නෑ.” කියල සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය සිතිවිල්ලක් සිදුහත් කුමරුන්ට ඇති වුණා. එදා රාත‍්‍රියේ සිදුහත් කුමරා ගිහිගෙයින් නික්මුණා…

මට උන්වහන්සේ අභිනික්මන් කළ ඔය කථාව ඇහෙනකොට හිතට ලොකුවට දැනුන් නෑ. ඒත් දැන් මාත් තාත්ත කෙනෙක්. අද මට පුතාව දකිද්දී එදා මගේ ශාස්තෘන් වහන්සේ ගත්ත ඒ අභීත තීරණය මතක් වෙනවා. මට නම් කවදාවත් මගේ පුතාගෙ මූණ බලල ජරා මරණ දුක ගැන හිතෙන්නෙ නැති වෙයි. ඒ වුණාට පුංචි ඔයාගෙත්, මගෙත් ශාස්තෘන් වහන්සේ අපි හැමෝම වෙනුවෙන් එදා ඒ සිතිවිල්ල ඇති කරගෙන ගිහි ගෙදරින් නික්මුණා. ඒ නිසයි මට තාමත් පුංචි ඔයාව දකිද්දී මගේ ශාස්තෘන් වහන්සේ ව මතක් වෙන්නේ.

උන්වහන්සේට හිටියේ උන්වහන්සේ වගේ ම රන් පාට ශරීරයක් ඇති රාහුල කියල පුංචි පුතෙක්නේ. ඉපදුණ දා ඉඳන් අවුරුදු 7ක් යනකම් පුංචි පුතා තාත්තව දැකල තිබුණේ නෑ. පුංචි පුතාට හිටියේ හරි කරුණාවන්ත සීයා කෙනෙක්. රජ කෙනෙක් වුණාට දරු සෙනෙහසින් පිරී ඉතිරී ගිය හදවතක් තිබුණු සීයා තමයි පුංචි පුතාට තාත්ත නැති අඩුව මැකුවේ. පුංචි පුතා අම්මගෙන් තාත්ත ගැන අහන හැම වෙලාවක ම ඒ අම්මා කඳුළු හංගාගෙන මේ මුළු ලෝකෙට වඩාත්ම ආදරය කරපු ඒ පියාණන්ගේ වරුණ කියනවා. ඒ පියාණන්ගේ ලස්සන ගැන කිය කියා පුංචි පුතුට හොරෙන් හඬන අම්ම තමයි අවුරුදු 7ක් පුරාවට නො දැකපු තාත්තව ඒ පුංචි ලෝකේ මහා වීරයෙක් කළේ.

අවුරුදු 7කට පස්සේ සම්බුද්ධ රාජ්‍යයේ කිරුළුපලන් මගේ ශාස්තෘන් වහන්සේ ආයෙත් ඒ නුවරට වඩිද්දී තමන්ගේ මුළු ලෝකය ම වුණු පුංචි පුතාව දායාද ඉල්ලන් එන්න කියල තාත්ත ළඟට පිටත් කරල යවන්න තරම් ඒ ආදරණීය මෑණියන්ගේ හිත මෘදු වුණා. ඒ අම්මා දන්නවා මේ ලෝකේ කිසි ම කෙනෙකුට දෙන්න බැරි දායාදයක් පුංචි පුතාගේ ආදරණීය පියාණන්ට දෙන්න පුළුවන් බව. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනේ එල්ලීගෙන අවුරුදු 7ක් පුරාවට නො දැනුණු පිය සෙනෙහසේ උණුහුම සොයා ගිය පුංචි රාහුල කුමාරයට ශාස්තෘන් වහන්සේගෙන් ලැබුණේ වෙනත් කිසි ම තාත්තෙකුට දෙන්න බැරි අන්දමේ අපූරු දායාදයක්. උන්වහන්සේ නිතර ම තමන්ගේ පුංචි පුතාට අවවාදයක් දුන්නා. ‘‘පුතේ රාහුල, ආයෙමත් මේ දුකින් පිරුණු සංසාරෙට එන්නට නම් එපා” කියල. පුංචි පුතත් තමන්ගේ සෙනෙහෙබර බුදු පියාණන්ගේ අවවාදය සිරසින් ම පිළිගත්තා… දරාගත්තා… සදහට ම දුකින් නිදහස් වුණා.

පුතාගෙ අප්පච්චි ඒ ශාස්තෘන්වහන්සේට අපමණ සෙනෙහසක් දක්වන්නේ ඒ නිසයි. උන්වහන්සේ නිසා තමයි අපි හැමෝම මේ අඳුරු ලෝකේ යන්තම් හරි එළියක් දැක්කේ. උන්වහන්සේට ඒ කාලේ සමහරු කිව්වේ මායාකාරයා කියල. දන්නව ද පුතේ ඇයි උන්වහන්සේට එහෙම කිව්වේ කියල? උන්වහන්සේ ළඟට යන බොහෝ නො හික්මුණු, නො දැමුණු පිරිස් උන්වහන්සේ ඉස්සරහ දමනය වුණා. සමහරු උන්වහන්සේ ළඟට ගියේ උන්වහන්සේව පරදවන්න හිතාගෙන. අන්තිමට වුණේ ඒ අය බුදුරජාණන් වහන්සේගේ සිරි පා පද්මය ළඟ වැඳ වැටෙන එක. ඇත්ත පුතේ, උන්වහන්සේ සුන්දර මායාකාරයෙක්. උන්වහන්සේගේ සුන්දර මායාවට පුතාගෙ අප්පච්චිත් අහු වුණා, පුතාගෙ අම්මත් අහු වුණා. මගේ පුතත් ඒ සුන්දර මායාවට හසු වේවා! මගේ ඥාති පරම්පරාව ම ඒ සුන්දර මායාවට හසු වේවා!

දන්නව ද පුතේ පුතා මටවත්, අම්මටවත් අයිති නැති බව. පුතා අයිති ඒ සුන්දර බුද්ධ ශාසනයට. පුතා මේ ලෝකෙට එන්නටත් කලින් තමයි අපි පුතාව තෙරුවනට පූජා කළේ. පුතා අම්මගේ කුසට ආපු බව දැනගත්ත ම අපි ආයෙත් පුතාව තෙරුවනට පූජා කළා. පුතා මිනිස් ලෝකේ සියැසින් දකින්නත් කලින් අපි පුතාව තෙරුවනට පූජා කරල ඉවරයි.

පුතා අම්මගේ කුසේ හිටියේ හරියට පන්සලක ඉන්නවා වගේ. පුතාගෙ අම්ම පුතාට අමනුෂ්‍යයෙක්ගෙන්වත් කරදරයක් වෙන්න එපා කියල උදෙන් ම පිරිත් පැන් බීලා තමයි දවස පටන් ගන්නේ. ඒ අම්මා හැමදාම පුංචි පුතාටත් එක්කම දෙපාරක් පන්සිල් සමාදන් වුණා. උපෝසථ දවසටත් හරිම සතුටින් පුතාටත් එක්කම උපෝසථ සීලය සමාදන් වුණා. ඒ අම්මා පුතා නමින් ස්වාමීන් වහන්සේලාට දන් පැන් පූජා කළා. මලක් පහනක් පූජා කළත් පූජා කළේ පුතාගේ නමින්. කසඩ බයිලා සිංදු, කන් අඩි දෙදරන සංගීත ඇසෙන ලෝකෙක මව් කුසේ ඉද්දිම පුතාට ඇසුණේ චතුරාර්ය සත්‍ය ධර්මය. පුතාගෙ අම්මගේ කුසට ළං වෙලා මම පුතාට බුදු ගුණ කිව්ව මතක ද? පුතා පුංචි ඉඩක් ඇතුළේ දුකින් ඇති කියල හිතල අවුරුදු 7ක් කුස ඇතුළේ හිරවුණු සීවලී කුමාරය ගැන කිව්ව පුතාට මතක ද? පුතේ, ඉපදීම දුකක් ම යි කියල දුක හදල දෙන පටිච්චසමුප්පාදය පුතාට ඇහෙන්නට කිවුව මතක ද?.

ඇත්තට ම පුතා වාසනාවන්තයි කියල කිව්වේ ඒ නිසයි මගේ පුතේ. අපිට නම් එහෙම වාසනාවක් තිබුණේ නෑ. අපි මවු කුසේ ඉද්දි අපේ අම්මල තාත්තලා බයිස්කෝප් බලන්න ගිහින් තමයි සතුටු වෙලා තිබුණේ. ඒක ඒ අයගේ වරදක් නෙවෙයි. ලොව අග‍්‍ර දේ අග‍්‍ර දේ විධියට ඉස්මතු නො වුණු කාලෙක අග‍්‍ර දේ විධියට ඉස්මතු වෙන්නේ ඔය විකාර දේ තමයි. හැබැයි පුතේ, පුතාගෙත් අපෙත් වාසනාවට ආයෙත් අග‍්‍ර දේ අග‍්‍ර දේ විදියට ඉස්මතු වුණා. මගේ ශාස්තෘන් වහන්සේගේ අනුජාත පුත‍්‍ර රත්නයක් ආයෙමත් උන්වහන්සේගේ ධර්මය ලෝකයට විවර කළා. උන්වහන්සේ කළුවර වුණු අහසට පායපු සඳ මඩලක් වගේ. ඒ මනුෂ්‍ය රත්නය දෑසින් දැකගන්නට, දෙපා වන්දනා කර ගන්නට අපිටත් පින තිබුණා. පුතාටත් පිනක් තිබුණොත් උන්වහන්සේව දැක ගන්න හැකි වේවි. ඒ නැතත් මේ යුගයේ පහළ වුණු එ් මනුෂ්‍ය රත්නය, පුතාගෙ අම්මටත් අප්පචිටත් සතර අපායෙන් නිදහස් වෙන්න මඟ කියූ ඒ අසිරිමත් කලණ මිතුරාණන් වහන්සේ ව පුතාගෙ සිරසේ තියාගෙන වන්දනා කරන්න. අපි නැති කාලෙක හරි උන්වහන්සේට නින්දාවක් අවමානයක් වෙන්න දෙන්න එපා. අපිට මේ හැම සම්පතක් ම ලැබුණේ උන්වහන්සේ ධර්මය ඉස්මතු කරවපු නිසා.

පුතා නො දන්නව වුණාට පුතා ඉපදුණේ මහා පින්වන්ත භූමියක. මේ තමයි පුතාගෙ ශාස්තෘන් වහන්සේගේ ධර්මය ජීවිත පරදුවට තියල තාමත් රකින රට. ඒ ධර්මය පිරිහෙන කාලවල ආයෙත් මේ බුද්ධ ශාසනය බබළවන්න දෙව්ලොවින් චුත වන දෙවියන් මිනිස් වෙස් ගෙන ඉපදෙන රටේ තමයි පුතා ඉපදුණේ. පුතාගෙ පරම්පරාව තමයි ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අවුරුදු 2600ක් රැක ගත්තෙ. එදා දළදා වහන්සේ පින්වන්ත යතිවරයන් වහන්සේලා රැක ගත්තු විදිය දැනගත්තොත් අනාගතයේ දරුවෝ කියාවි ඒවා සුරඟන කතා කියල. වැටෙකෙයියා ඉස්ම බීලා ධර්මය රැඑක ගත්තු පරම්පරාවට තමයි පුතා අයිති.

පුතාටත් යමක් කමක් තේරෙන දවසට මගෙන් දායාද ඉල්ලන්න. මටත් තියෙනව පුතාට දෙන්න දායාදයක්. ඒ දායාදය දෙන්න කලින් මම පුතාව අනුරාධපුරේ එක්කන් යන්නම්. ඒ පුතාට පුතාගෙ උරුමය පෙන්නන්න. මම පුතාට පෙන්නන්නම් පුතාගෙ පරපුරේ මහ රජ කෙනෙක් සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ අසම සම නිර්මාණයක්. එතැන තමයි තවමත් එ් සම්බුදුරජුන් ජීවමානව වැඩ ඉන්න තැන. මම ආසයි ඒ ස්වර්ණමාලි මහා සෑ රජුන් ව දකින පුතාගෙ ඇස් ලොකු වෙනව දකින්න. සුදෝ සුදු කිරි පාටින් බබළන ඒ මහා සෑ ගර්භය ඇතුළේ පුතාගෙ ශාස්තෘන් වහන්සේ කුසිනාරානුවර පිරිනිවන් පෑ ආකාරයෙන් ම තවමත් වැඩ ඉන්නවා. මම පුතාට කියල දෙන්නම් ඒ අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ වරුණ. ඒ මහා සෑ මුදුණේ සවනක් ඝණ රැස් විහිදුවන සම්බුදු රුව මැවී පෙළහර පෑ විදිය මම පුතාට කියල දෙන්නම්. එදා ගාමිණි අභය කියන මහා රජතුමා කඳුළු සලමින්, දණින් වැටී පුතාගෙ රට බුදුරජාණන් වහන්සේට පූජා කළ හැටි මම පුතාට කියල දෙන්නම්.

දවල් වෙනකොට මහා සෑ මළුව උණුසුම් වෙනකොට පුතාගෙ ඔය සියුමැලි යටිපතුල් රිදේවි. මම එතකොට පුතාව ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ සිසිල් සෙවණට එක්කන් යන්නම්. සිලි සිලි ගා සෙලවෙන ඒ ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණේ ඉඳන් මම පුතාට මහා බෝධියේ වරුණ කියා දෙන්නම්. පුතා දන්නෑ මගේ පුතේ, ඔය ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කළ දවසේ දේවානම්පියතිස්ස කියන මහා නිරිඳාණන් දොරටුපාල වෙස් ගෙන තුන් යම පුරා බෝධිය රැක්කා. පුතාත්, මමත් ඉපදුණු මේ පුංචි රට එදා ශ‍්‍රී මහා බෝධියට පූජා කළා.

පුතා ඉපදුණේ බුදුරජාණන් වහන්සේට පූජා කළ රටක. උන්වහන්සේ උපන් ජම්බුද්වීපයවත් මෙතරම් වාර ගණනක් උන්වහන්සේගේ ශ‍්‍රී නාමයට පූජා වෙලා නැතිව ඇති. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා මාස 8ක් ගෙවුණු තැන මහියංගණයේ යක්ෂ ගෝත‍්‍රිකයන් උන්වහන්සේට මේ ලක්දිව පූජා කළා. උන්වහන්සේට බිම්බිසාර මහරජතුමා දඹදිව් තලයේ පළමු ආරම පූජාව කරන්නටත් කලින් සම්බුද්ධත්වයෙන් මාස 8ක් වෙනකොට මේ මුළු ලංකාද්වීපය ම ගෞතම සම්මා සම්බුද්ධ යන ශ‍්‍රී නාමයට පූජා කරල ඉවරයි. උන්වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහ රජතුමා ඇතුළු ශාක්‍ය වංශික ඥාතීන්ට ධර්මය දේශනා කරන්නටත් කලින් අපේ ශාස්තෘන් වහන්සේ මේ ලක්දිව හිටපු අපේ ඥාතීන්ට ඒ මිහිරි දම්සක් දේශනා කළා. සම්බුද්ධත්වයෙන් මාස 8ක් ගතවෙනකොට පුතාගෙ මේ ජාත භුමියේ උන්වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා මියුගුණ මහා සෑය නමින් මහා සෑයක් ඉදි කළේ මේ ලංකා භූමිය රකිනා දෙවිවරුන්.

පුතා දන්නව ද පුතාගෙත් මගෙත් ඒ ශාස්තෘන් වහන්සේගේ ශ‍්‍රී දේහය තැන්පත් සුවඳ සඳුන් චිතකය වෙසක් පුන් පෝ දිනක රාති‍්‍රයේ දැවීයද්දී සාරිපුුත්ත මහරහතන් වහන්සේගේ ජේ්‍යෂ්ඨතම ශිෂ්‍ය රත්නයක් වන සරභූ මහ රහතන් වහන්සේ එම දැවෙන චිතකයෙන් සම්බුදුරජුන්ගේ සිව්අසූ දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වී ගිය ඒ උත්තම ග‍්‍රීවා ධාතූන් වහන්සේ වෙන් කර ගත් බව? ඒ උත්තම ග‍්‍රීවා ධාතූන් වහන්සේ රැගෙන එදා රාත‍්‍රීයේ ම පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මහියංගණ මහා සෑ බිමට වැඩම කොට මහියංගණ මහා සෑ ධාතූ ගර්භයේ එය තැන්පත් කොට නැවත කුසිනාරා නුවර වැඩම කළා. හරි පුදුමයි පුතේ, උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා දෙවි මිනිසුන් සහිත ලෝකයට විවර වෙන්නටත් කලින් උන්වහන්සේගේ ශ‍්‍රී දේහය දැවෙමින් පවතින විටත් ග‍්‍රීවා ධාතූන් වහන්සේ පුතා උපන් රටේ මහා සෑයක පිහිටා අවසන්. ඉතින් පුතා වාසනාවන්ත නැද්ද මෙතරම් ම අසිරිමත් භූමියක උපදින්නට?

පුතාගෙන් ඇහුවොත් කවුරු හරි ලොකු වෙලා කවුරු වෙන්න ද කැමති කියල පුතා කියන්න පුතේ ධර්මපාලතුමා වගේ වෙන්න ආසයි කියලා. පුතා උපන් මේ භූමියේ ඒ වගේ පුදුමාකාර අයත් ඉපදුණා. අපගේ ශාස්තෘන් වහන්සේගේ දඹදිව බුද්ධ භූමිය මිසදිටුවන්ගෙන් බේරගත්තේ ධර්මපාලතුමා. තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් අභීතව හඬ නැගුවා. ගිහි ජීවිතය ගත කරමින් තමන්ගේ මුළු ජීවිතය ම කැප කළේ මේ සම්බුද්ධ ශාසනය බේර ගන්න. හොඳට මතක තියා ගන්න පුතේ, මේ සම්බුද්ධ ශාසනයට අනතුරක් වෙනකොට දෙව්ලොවින් හරි කෙනෙක් ඇවිත් එ්ක වළක්වනවා. ධර්මපාලතුමා නො හිටින්න අද දඹදිව බුද්ධ භූමියක් නෑ. එහෙනම් අපට වෙන්නේ මකුලාන මහා විහාරය මක්කම වුණා වගේ උඩ බලාන ඉන්න විතරයි.

ඉදිරියට තියෙන්නේ එතරම් ම සුන්දර කාලයක් නෙවෙයි පුතේ. පුතාට තේරේවි චක්කවත්ති සිංහනාද සුත‍්‍රය ඇත්ත වෙන විදිය. ඉදිරියේදි සිල්පද රකින්න බැරි කාලයක් එ්වි. පින් දහම් කරන්නට අමාරු කාලයක් ඒවි. බුුද්ධ ශාසනය බේරගමු කියල එක එක කල්ලි හදාගෙන බුද්ධ ශාසනය නමින් මිනී මරන්න පුතාටත් කතා කරාවි.

මම පුතාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. දුර්ලභ පිනකින් මනු ලොව උපන් මගෙ පුතා හිස් අතින් මැරෙන්න එපා. මම පුතාට මං ළඟ තියෙන එකම දායාදය දෙනවා. ඒ තමයි අපේ වංශයේ උරුමය. ඒක තමයි මේ මහා වංශයේ උරුමය. එ්කට පුළුවන් පුතාව සදහට ම මරණයෙන් නිදහස් කරන්න. ජරා මරණ සෝක පරිදේවයන්ගෙන් සදහට ම පුතා ව නිදහස් කරන්න එ්කට පුළුවන්. මගේ ශාස්තෘන් වහන්සේගේ සතර සතිපට්ඨානය කියන පිය උරුමය මම පුතාට දෙනවා. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා කියා දෙයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පියවරින් පියවර වඩන විදිහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප‍්‍රඥා විධියට පියවරින් පියවර වඩන හැටි මම පුතාට කියල දෙන්නම්. වීරියෙන් සිල් රකින හැටි මම පුතාට කියල දෙන්නම්. පංච සේඛ බල, සතර ඉර්ධිපාද ඇතුළු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන හැටි මම කියල දෙන්නම්.

ඉතින් පුතා වාසනාවන්ත නැද්ද? පුතා උපදිනකොට ම ගෞතම සම්බුදු රජුන්ගේ ධර්මය පුතාට ඇහෙනවා. සතර සතිපට්ඨනය නම් වූ පිය උරුමයට පුතාත් උරුමක්කාරයෙක් වුණා. සීල, සමාධි, ප‍්‍රඥා සුව සේ වඩන්න පුතාට මග පෑදිලා. ඒ නිසයි අපි පුතාට භාග්‍ය කියල නම තිබ්බේ. ඒ ඇත්තට ම පුතා වාසනාවන්ත නිසා. පුතා වගේ ම තවත් වාසනාවන්ත දූලා පුතාල ගොඩක් ධර්ම දායාදය පිණිස මනු ලොවට ඒවි. ඒ හැමෝට ම භාග්‍යයේ ද්වාරය විවර වෙලා. සතර සතිපට්ඨානය වඩන අවසන් කෙනා බිහිවුණ දාට මේ ශාසනය නැති වෙලා යාවි. ඒ නිසා පුතා අවසන් පුද්ගලයා වෙන්න එපා. මේ ඉදිවුණු කල්‍යාණ වැට තව බොහෝ කල් ආරක්ෂා කර ගන්න. පුතාගෙ දරුවන්ටත් සතර සතිපට්ඨානය වඩන්න පුරුදු කරල කාටවත් ණය නැතිව මැරිල යන්න පුළුවන් හිතක් හදා ගන්න.

මගේ වාසනාවන්ත පුතේ, අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ආයෙමත් මේ දුකින් පිරුණු සංසාරෙට එන්න එපා. මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න. අපි පුතාව මේ ලෝකෙට බිහි කරපු ණයෙන් නිදහස් වෙන්න. මේ හැම දේකින් ම සදහට ම නිදහස් වෙන්න.

අප්පචිචී