අපගේ ශරීරය නමැති සංකීර්ණ යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වයට අවශ්‍යය සියලූ ම දේ සොබා දහම අපට උරුම කර දී ඇත. සොබා දහමේ නියමයන්ට අනුව ජීවත් වූ අතීත යුගවල දී මෙම යන්ත‍්‍ර කොටස් මනාව ක‍්‍රියාත්මක වූ අතර අද මෙන් මෙය සංකීර්ණ යාන්ති‍්‍රක දෝෂවලට ලක් වූයේ නැත.

මිනිස් සිරුර නමැති යන්ත‍්‍රය දුවවන්ට ඉන්ධන උවමනා ය. ශරීර පැවැත්මට සුදුසු ආහාර අවශ්‍ය ය. ඒ කුමක් හෝ ආහාරයක් නො වේ. ඒවා ශරීරය පවත්වාගෙන යාමට බාධාකාරී නො වෙන ආහාර විය යුතු ය. එබඳු ආහාර නො ලැබේ නම් මෙකී යන්ත‍්‍ර කොටස් හරිහැටි ක‍්‍රියාත්මක නො වීම නිසා රෝගාබාධවලට සහ ඇතැම් විට මරණයට ද මුහුණ දීමට සිදු විය හැක.

යන්ත‍්‍රයකට නො ගැළපෙන කොටස් ඇතුළත් කළා යැයි සිතමු. යන්ත‍්‍රය ටික කාලයක් ක‍්‍රියාත්මක වන්නට පුළුවන. එහෙත් ක‍්‍රමයෙන් යන්ත‍්‍රය විනාශ වෙමින් ගොස් එක් වරම කඩා වැටේ.

ඉතින්, අප ආහාර වශයෙන් ගන්නේ වස නම්, මෙම ශරීර යන්ත‍්‍රයට සිදු වන්නේ කුමක් ද?

මෙතෙක් කථා කරගෙන ආ කාබනික ගොවිතැන ගැන පසු ව ලියන්නට සිතා පළමු ව මේ කථාව කියන්නට සිතුවේ අපේ ආහාර අර්බුදය ගැන අති භයානක පැත්තක් දැන් දැන් හෙළි වෙමින් පවතින නිසා ය.

නවීන යැයි කියා ගන්නා කෘෂි කර්මාන්තය විසින් අපට කන්නට දෙන්නේ වස බව ඔබ සැම දෙනා ම හොඳින් දන්නා කාරණයකි. අප ආහාරයට ගන්නා සියලූ ම දේ පාහේ වගා කරන්නේ කෘත‍්‍රිම රසායන පොහොර, කෘෂි රසායන භාවිතයෙනි. මේ සියලූ කෘත‍්‍රිම රසායනයන් වසය. වස නො වෙන කිසිදු රසායන ද්‍රව්‍යයක් නැත.

දැන දැනම වස කෑම සඳහා විද්‍යාඥයන් අපට හොඳ සාධාරණීකරණයක් ලබා දී ඇත. ඒ සාධාරණීකරණය නම්, වසවල හානිකර බව පවතින්නේ සිරුරට ඒවා ඇතුළුවෙන ප‍්‍රමාණය මතය යන්නයි. වස පිළිබඳ විද්‍යාව (Toxicology) දැනට භාවිත කරන විද්‍යාත්මක විග‍්‍රහය මෙයයි.

මේ සඳහා විද්‍යාඥයන් අපුරු ක‍්‍රමවේදයක් භාවිත කරති. තෝරා ගත් සතුන්ට මෙම විෂ රසායනික ද්‍රව්‍යයන් විවිධ ප‍්‍රමාණවලින් ශරීරගත කරනු ලැබේ. යම් ප‍්‍රමාණයක් ශරීරගත කළ පසු පෙනෙන මට්ටමේ ශරීර හානියක් එම සතුන් තුළ පෙන්නුම් නො කරයි නම් එම ප‍්‍රමාණය ආරක්ෂිත මට්ටම ලෙස සලකනු ලැබේ. එම ‘ආරක්ෂිත’ප‍්‍රමාණයන් අප ගන්නා දෛනික ආහාරයේ ඇතුළත් වූවාට කමක් නැතැයි නිර්දේශ ද කරනු ලැබේ.

විද්‍යාත්මක යැයි කියා ගන්නා මෙම විග‍්‍රහයට පදනම් වන්නේ 16 වන සියවසේ සිටි වෛද්‍යවරයෙකු ඉදිරිපත් කළ න්‍යායකි. එනම් ‘‘සියලූ දේ වසය. හානිදායක බව තීරණය වන්නේ අප ගන්නා පරිමාව මතය.” යන්නයි. ඒ අනුව රසායනික ද්‍රව්‍ය ඉතා අඩු පරිමාවකින් ශරීරගත වූවාට හානියක් නැති බව නවීන විද්‍යාව පිළි ගනී. මෙම පිළිගැනීම ලෝක මට්ටමේ දී ප‍්‍රමිතිගත කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඒ අනුව ඕනෑම ආහාරයක තිබිය හැකි වස ප‍්‍රමාණය පිළිබඳ ප‍්‍රමිතියක් ඇත.

මෙම නිර්දේශිත පරිමාවන් හා ප‍්‍රමිතිය පදනම් කරගෙන අපි වස අනුභව කරන්නෙමු. රසායනික ද්‍රව්‍යයන් විකුණන සමාගම්වලට මෙම සාධාරණීකරණය හොඳ තුරුම්පුවකි. කෙතරම් වස අප ආහාරයට සහ පරිසරයට එකතු කළත්, වස කෑමේ ආරක්ෂිත මට්ටමක් තිබෙන නිසා කෑවාට කමක් නැතැයි සිතාගෙන අපි වස අනුභව කරමින් සිටිමු. කෘෂි රසායන සමාගම් පසුගිය දිනවල වකුගඩු රෝගකාරක වූ ආසනික් සහ කැඞ්මියම් අඩංගු රසායනික ද්‍රව්‍යයන් විකිණීම සාධාරණීකරණය කළේ මේ නියමයන් අනුව ය.

නවීන විද්‍යාව සහ විද්‍යාත්මක න්‍යායන් ද සොයා ගැනීම් ද අප බුදුපියාණන් වහන්සේ වදාළ අනිත්‍යය පිළිබඳ ධර්මයෙන් මිදුණේ නො වේ.

වස සම්බන්ධ ඉහත දැක්වූ න්‍යායට සියල්ල විග‍්‍රහ කළ නො හැකි බව දැන් හෙළි වී ඇත. 2012 මාර්තු මස Endocrine Reviews සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවකින් අප අනුභව කරන මේ වස සම්බන්ධව අපූරු හෙළිදරව්වක් කර ඇත. (මෙම අධ්‍යයන වාර්තාව විද්වත් මණ්ඩලයකින් පිළිගත් එකකි – Peer-reviewed)

ලෝකයේ ප‍්‍රධාන ම විද්‍යාඥයන් කණ්ඩායමක් (Vandenberg et al, 2012) විසින් කරන ලද මෙම පර්යේෂණ අධ්‍යයනයෙන්, අප අනුභව කරන ආහාරවල තිබුණාට කම් නැතැයි අනුමැතිය ඇති ඉතා අඩු ප‍්‍රමාණයේ වස පවා අපගේ සිරුරේ ඇති හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථිවලට දැඩි බලපෑමක් ඇති කරන බව සොයාගෙන ඇත.

අප ශරීරයේ මෙම හෝමෝන නිපදවීමේ ක‍්‍රියාවලිය කුමක් ද?

මිනිසුන් ද ඇතුළත් සියලූ සත්වයින්ගේ ශරීරවල සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වය පාලනය කරනුයේ සිරුරේ හෝමෝන නිපදවන ග‍්‍රන්ථිවලින් නිකුත් කරන ශ‍්‍රාවයන්ගෙනි. ප‍්‍රතිජනනය සඳහා අවශ්‍යය ඊස්ට‍්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටරෝන් දිවි පැවැත්මට අවශ්‍ය රසායනික ක‍්‍රියාවලීන් පාලනය කරන ඩොපමේන් සහ තයිරොයිඩ හෝමෝන, ඉන්සියුලින් වැනි ඒවා මේ ශ‍්‍රාවයන්ට උදාහරණ ය. මේවාට අමතර ව තවත් බෝහෝ හෝමෝන ඇති අතර සියලූ සතුන්ගේ, මිනිසුන්ගේ සහ පැළෑටිවල නිසි පැවැත්ම තහවුරු වීම සඳහා ඒවා නියමිත ප‍්‍රශස්ත මට්ටම්වල පැවතිය යුතු වේ. ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව, අප සිරුර නිරෝගී ව පවතින්නේ මෙම ප‍්‍රශස්ත මට්ටම්වල දී ය.

සමහර කෘමි නාශක පරික්ෂා කිරීම සඳහා ඒවා ශරීරගත කරන ලද සතුන් තුළ හෝමෝන වෙනස්කම් ඇති වන බව 1940 දශකයේ සිට ම විද්‍යඥයන් දැන සිටියහ. තව ද 1980 පමණ වන විට කරන ලද අධ්‍යයනවලින් කෘමි නාශක ඇතුළු ඇතැම් රසායන ද්‍රව්‍යයන් නිසා මිනිසුන් සහ සතුන් තුළ හෝමෝන වෙනස්කම් ඇති කරන ලද බව තහවුරු වී තිබුණි. විශේෂයෙන් ම ප‍්‍රජනන කාර්යය සඳහා අවශ්‍ය හෝර්මෝනවල මෙම වෙනස පැහැදිලි විණි.

ඇතැම් කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍ය, ඉතා පහළ මට්ටමක දී ඊස්ට‍්‍රජන් හෝර්මෝනය මෙන් රඟපෑමක යෙදෙමින් අපගේ ප‍්‍රජනන පද්ධතියට බලවත් හානි පමුණුවන බව පර්යේෂකයන්ට හඳුනාගැනීමට හැකි වුණි. මෙම බොරු ඊස්ට‍්‍රජන්වල බලපෑම නිසා, ශුක‍්‍ර තරලවල ඝනත්වය අඩුවීම, උපන් දරුවන්ගේ ප‍්‍රජනන ඉන්ද්‍රිය හා මුත‍්‍රාශයේ විකෘති වීම්, සහ පියයුරු, ගර්භාෂ, මුත‍්‍ර මාර්ග, වෘෂණ කෝෂ, ප්‍රොස්ටේට් හා ස්ත‍්‍රී ලිංග මාර්ගයේ පිළිකා ඇති වීම ප‍්‍රධාන වශයෙන් සිදු විය හැකි බව දක්නට ලැබී ඇත.

ඇතැම් කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ දී පර්යේෂකයන්ට පෙනී ගියේ ඒවා අනුමත සහ ආරක්ෂිත යයි සඳහන් මට්ටම්වල තිබුණ ද (මිලියනයකට, ටි‍්‍රලියනයකට ඇතැම්විට බිලියනයකට එක් කොටසක් වශයෙන්) එබඳු පහළ මට්ටමක පවතින රසායනික ද්‍රව්‍ය පවා හෝමෝන අනුකරණය කරන බව යි. මෙය සිදු වන්නේ ඉතාමත් අඩු මට්ටමක දී ඒවා අප සිරුරේ හෝමෝන අමුණා ගන්නා සෛල කොටස්වලට (ප‍්‍රතිග‍්‍රාහකවලට) ඇලෙන නිසා ය. එහෙත් ඉහළ අගයක දී ඒවා සෛල කොටස් විසින් ගණන් නො ගන්නා තත්ත්වයක් පවතී.

හෝර්මෝන් ප‍්‍රතිග‍්‍රාහක සෛල කොටස්වලට (Hormone receptors) මෙම රසායනික ද්‍රව්‍ය ඇළුණ පසු එමගින් හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථි පද්ධතියට වැරදි සංඥා නිකුත් කිරීම ඇරඹේ. මෙසේ එමඟින් එක්කෝ එම හෝමෝනය අනුකරණය කරයි, නැත්නම් හෝමෝනයට විරුද්ධව ක‍්‍රියා කරයි, එසේත් නැත්නම් හෝමෝනවල සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට බාධා කරයි. එයින් අපගේ හෝමෝන පද්ධතියේ සංඥා නිකුත් කිරීමේ කාර්යය විනාශ කර දමනු ලැබේ. එවිට ස්වාභාවිකව හෝමෝන ශ‍්‍රාවයන් නිපදවීමට බාධා ඇති වේ.

මෙයට හොඳම උදාහරණය දැනට ලෝකයේ බහුල වශයෙන් ම භාවිත වන වල් නාශකයක් වන ඇට‍්‍රසීන් (Atrazine) ය. ආහාරයේ සහ පරිසරයේ තිබීම කමක් නැතැයි අනුමත පරිමාවන්ට වඩා දහස් ගුණයක් අඩු මට්ටමක දී වුව ද ගෙම්බන්ගේ ප‍්‍රජනන පද්ධතියේ විකෘතීන් ඇති කිරීමට එම වල් නාශකය සමත් ය. පෙන්සිල්වේන්යා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ද මෙය තහවුරු කර ඇත.

ඉහත සඳහන් අධ්‍යයන වාර්තාව අනුව කරුණු කීපයක් ඔප්පු වේ.

1. ආරක්ෂිත මට්ටමක වස තිබුණාට කමක් නැතැයි කීවත් ඒ සැම අප පිළිගන්නේ කෙසේ ද?
2. ඉහත ක‍්‍රියාවලිය නිසා එනම් හෝමෝන නිකුත් කරන ග‍්‍රන්ථිවල විකෘතීන් නිසා බොහෝ රෝග තත්ත්වයන්ට අප ගොදුරු වන බව දැන් වඩ වඩාත් ඔප්පු වෙමින් පවතී. තරබාරුකම, දියවැඩියාව, ලිංගාශ‍්‍රිත පිළිකා, අඩු ප‍්‍රජනන ශක්තිය වැනි ඒවා මින් ප‍්‍රමුඛ ය.
3. රසායනික වසවල ආරක්ෂිත මට්ටමක් නැත. මතු පිටින් පෙනෙන ලෙඩක් ඇති නො වුණ ද ඉහත කී හෝමෝන පද්ධතියේ විකෘතින්ට ඒවා බලපාන්නේ ද යන්න පරික්ෂා කොට ආරක්ෂිත යැයි තහවුරු කර නැත. ඉහත සඳහන් අධ්‍යයනය කළ විද්‍යාඥයන් කියන්නේ ඉතා වැදගත් කරුණකි. රසායනික ද්‍රව්‍ය වස වැඩි ප‍්‍රමාණයක් ගත්තොත් එය හානිකර නිසා අඩු ප‍්‍රමාණයක් කමක් නැතැයි නිර්දේශ කළ නො හැක. අඩු ප‍්‍රමාණයක දී ද අපට සිතා ගත නො හැකි මට්ටමේ හානි සිදු විය හැකි ය.

දැන් අපි කුමක් කරමු ද?

අපට දැන් සිදු වී ඇත්තේ ‘‘ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී” යැයි පැරැන්නන් කී තත්ත්වය ම නො වේ ද?

අනුමත ප‍්‍රමාණයේ රසායනික ද්‍රව්‍ය පරිභෝජනය කිරීම කමක් නැතැයි අප තව දුරටත් බලා සිටිනවා ද? වස ඉතා අඩු ප‍්‍රමාණයක් අනුභව කළාට කමක් නැතැයි කියන කථාව ඔබට පිළිගත හැකි ද? පරිසරයත්, අපත් නසා දමන මෙම කෘෂි රසායනික උගුලෙන් මිදීමට විකල්පයක් තිබේ දැයි සොයනවා ද?

වැඩි විස්තර සොයන්නන්ට

Vandenberg L. N., Colborn T., Hayes T.B., Heindel J.J., JacobsD.R., Jr., Duk-Hee L., Shioda T., Soto A.M., vom Saal F.S., Welshons W.V., Zoeller R.T., and Myers J.P., 2012 Hormones and Endocrine-Disrupting Chemicals: Low-Dose Effects and Nonmonotonic Dose Responses, Endocrine Reviews. First published ahead of print March 14, 2012 as doi:10.1210/er.2011-1050 (Endocrine Reviews 33: 0000-0000, 2012)
(www.endojournals.org)

හරිත සටහන
කේ. ඒ. ජේ. කහඳව