ඒ 1983 වර්ෂය යි.

සමාජය සිසාරා දරුණු ලෙස ජාතිවාදී ගැටුම් ඉස්මතු වෙමින් පැවතුණි. පොතේ නීතිය වල් වැදී කැලෑ නීතිය රජ කරද්දී එයට අවනත වීම විනා වෙන කළ හැක්කක් ජනතාවට තිබුණේ නැත. එලෙස සියල්ලෝ ජීවිතය හා මරණය අතර පැතිර ගිය සන්ත‍්‍රාසය අත්විඳිමින් සිටිය දී ය කුප‍්‍රකට වූ කළු ජූලිය එළඹියේ.

මරණ බියෙන් තැති ගත් දේශය රාජ්‍ය ආරක්ෂාවේ අඩුපාඩුකම් ගැන කළ විවේචනයන්ට කුපිත වූ රාජ්‍ය නායකයා පවසා සිටියේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගත යුතු බව යි.

එළඹෙන්නේ 2013 වර්ෂය යි.

13ට පාර කියන 12 ගෙවීයන්නේ ද සුභදායි අයුරකින් නො වේ. වසරේ අවසාන මාස දෙක පුදුමසහගත ලෙස සන්ත‍්‍රාසයෙන් පිරී යන බවක් දැනටමත් පෙනී ගොසිනි.

එයට සාක්ෂි දෙන වැලි කුණාටු, හිම කුණාටු, සුළි කුණාටු හා ගං වතුර එක්ව ජනිත කළ මහා විනාශය වූ සැන්ඩි ගැන හෝ ආසියාව දෙදරවා හමා ගිය නීලම් ගැන හෝ කථා නො කරන්නේ එයින් අපට වූ හානිය දරුණු නො වූ නිසා නො ව, ඒ ස්වභාවික ව්‍යසනයන් ඉක්මවා යන සමාජීය ව්‍යසනයක කොටස්කරුවන් බවට අප පත් වී අවසන් නිසා ය.

ඒ ව්‍යසනය නම් දෙනෝදහක් ගැවසෙන තැනක වුව ද අමුඅමුවේ මනුෂ්‍ය ඝාතන සිදුවීමයි. එසේ ම එවැන්නකට ගොදුරු වූවන්ගේ දසුන් ඡායාරූප ගත කිරීම හා බලාසිටීම වෙනුවට කළ යුතු වෙනත් දේවල් ඇති බව සමාජයට අමතක වී තිබීමයි. පසුගිය දා ගාල්ල නගර මධ්‍යයේ දිග හැරුණ අමානුෂික සිදුවීම් පෙළත්, වැලිකඩ බන්ධනාගාරය තුළින් පැන නැගුණ කෝලාහලයත් ඒත්තු ගන්වන්නේ එය නො වේ ද? ඒ අවස්ථාවන්වල දී ආරක්ෂක අංශ ද සාමාන්‍ය ජනයා ද එක සේ ම ජීවිතාරක්ෂාව පිළිබඳ බරපතළ අර්බුදයකට මැදි වූහ.

මුළු මහත් සමාජය ම වෙලී ඇත්තේ සන්ත‍්‍රාසයෙනි. ගහ මරා ගැනීම්වලට මිනිසුන් මැදිහත් නො වන්නේ මනුෂ්‍යත්වයේ අඩුපාඩුවකටත් වඩා පවතින සමාජ ක‍්‍රමය තුළ තමන් කිසිවකට පැටලී නො සිටීම වඩාත් යහපත් බව ඔවුන් අදහා ගෙන සිටිනා නිසා ය. එහි ඇත්තක් ද තිබිය හැකි ය. එහෙත් අමතක නො කළ යුත්තේ අද ඒ මිනිසාගේ අත්දැකීමට හෙට අපට මුහුණ දෙන්නට සිදු විය හැකි බවයි. එවිට අපට පිහිටවන්නට ද කිසිවෙක් නැත.
එදා සේ ම අද ද තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගත යුතු ව ඇත. මුදල්, නිලතල හෝ අවිබලයට වත්, පිරිස් බලයටවත් ලබා දිය නො හැකි ඒ එක ම රැකවරණය ලබා ගත හැක්කේ සම්බුදු දහම තුළ ය. මන්ද ත‍්‍රාසය දුරුකොට මරණයෙන් ද නිදහස්ව බියසැක රහිත එතෙරට පැමිණියේ එ් දහමෙන් උපන් නිකෙලෙස් හදැති බුදු සව්වන් පමණක් ම වන නිසා ය.

සැබැවින් ම, මරණය ඊළඟ මොහොතේ උදා විය නො හැක්කේ නො වේ. ඒ නිසා සියල්ලෝ අසන දකිනා දෙයින් පාඩම් උගෙන, දුර්ලභ ව ලද මේ බුද්ධශාසනය තුළ අප‍්‍රමාදී වෙත්වා!