මහමග යන එන ගමනේ දී අධික වේගයෙන් වගේ ම අවදානම් සහගත අයුරින් රිය පදවන ඇතැමුන්ව අප කවුරුත් දැක තිබෙනවා. ඒ වගේ වෙලාවට, ‘වැඩි දුරක් යන එකක් නෑ’ කියා අපට සිතෙන්නේ නිතැතින් ම. ඒ සිතුවිල්ල තුළ තිබෙන්නේ ඔවුන් අනතුරේ වැටෙන්නට යන බව හැඟවෙන සංඥාවක්…

ඔය විදිහට පූර්ව අනතුරු හැඟවීමේ සංඥාවන් අප තුළ ක්‍රියාත්මක වන නිසා නොදැනුවත්වම, නිරායාසයෙන් ම අනතුරුදායක දේවල්, අනතුරුදායක ස්ථාන මගහැර යාමට පෙළඹෙන ස්වභාවයක් අප තුළ තිබෙනවා.

‘අනතුරු හඳුනාගැනීමේ ස්වභාවය’ අපට වගේ ම තිරිසන් සතුන්ටත් තිබෙනවා. අනතුරුදායක ස්ථාන, මාර්ග ආදිය මගහැර යන්නට සතුන් කටයුතු කරන්නේ ඒ ඉව නිස යි. සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී සැඩ රළ පහර ගොඩබිම වෙත කඩා වදින්නට පළමු බොහෝ සතුන් උස් ස්ථාන කරා දිව ගිය අයුරු වාර්තා වුණා. මේ සහජ ඉව නිසා යම් යම් අනතුරුවලින් ගැලවී යන්නට ඇතැම් සතුන්ටත්, ඇතැම් මිනිසුන්ටත් හැකි වුණත් සෑම අනතුරක් ම ඉක්මවා යන්නට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. එනිසා, ඒ ඉව ගැන කිව යුත්තේ පරිපූර්ණ නොවූවක් කියල යි… ඒ විතරක් නෙමෙයි, අප ‘අනතුර’ කියා හඳුනා ගන්නා දේත් හරිම ද කියා සිතා බලන්නට ඉඩහසර සලසමිනුයි බුද්ධකාලීන මේ පුවත අප මෙම ලිපියට නිමිත්ත කොට ගන්නේ…

සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ ශාක්‍ය වංශයට නෑකමින් බැඳී යන්නට පසේනදී කෝසල මහරජුට බලවත් කැමැත්තක් ඇති වුණා. තමන් යටතේ ප්‍රාදේශීය රාජ්‍යයක් ව පැවති කිඹුල්වත්පුරයට ඔහු හසුනක් යවා ශාක්‍ය වංශික රාජ කුමාරිකාවක් තමන් හා සරණ බන්ධනයට එවන ලෙස දැන්වූවා. නමුත්, කුල මාන්නයෙන් යුතු වූ ශාක්‍ය වංශිකයෝ පිරිසිදු රාජ ලේ ඇති ශාක්‍ය කුමාරිකාවක් කොසොල් රාජ්‍යයට පිටත් කර හරින්නට කැමති වූයේ නැහැ. ඔවුන්ගේ දැඩි බලපෑම් මත මහානාම ශාක්‍ය රජුට දාව දාසියකගේ කුස ඔත් වාසභඛත්තියා නම් සොඳුරු රූ ඇති දාසිය ව ශාක්‍ය කුමාරිකාවක සේ හඟවමින් කොසොල් රාජ්‍යයට පිටත් කර යැවුණා. කොසොල් රජුට දාව ඇයගේ කුසින් උපන් විඩූඪභ කුමරුන් තමයි කිරුළ හිමි කුමරු බවට පත් වූයේ.

විඩූඪභ කුමරු තම මවගේ ඥාතීන් දකින්නට යන්නට කොතරම් පෙරැත්ත කළත් ශාක්‍ය දාසියක වූ වාසභඛත්තියා එයට එකඟ වූයේ නැහැ. නමුත්, යොවුන් විය පැමිණි විඩූඪභ කුමරු තම පරිවාර ජනයාත් සමඟ කිඹුල්වත් පුරට පැමිණියා. කුල මාන්නය නිසා විඩූඪභ හට රාජ කුමාරයෙකු සේ සලකන්නට අකමැති වූ නමුත් කෝසල රාජධානියේ කිරුළ හිමි කුමරු නිසා නොසලකා ද බැරි නිසා ශාක්‍යයන් ළදරු ශාක්‍ය කුමාරයන් පෙරමුණේ තබා විඩූඪභ කුමරු හට සත්කාර කළා. ඔවුන් නික්ම ගිය පසු, දාසියකගේ පුතෙකු මේ සා සැලකිලි ලැබීම ගැන ඊර්ෂ්‍යාවෙන් මැඩී ගිය ශාක්‍ය දාසියක විසින් විඩූඪභ කුමරු අසුන් ගත් රාජකීය ආසනය කිරි දියරින් සෝදන්නට වූයේ ‘දාසියෙකුගේ පුතෙකු වාඩි වූ නිසා අපේ ස්වාමිවරුන්ගේ ආසනය කිලිටි වූවා’ කියා දෙස් දෙවොල් තබමින්. ඒ මොහොතේ ම, එහි අමතක වූ අසිපත ගෙන යාමට ආපසු පැමිණි විඩූඪභ කුමරුගේ සෙබළෙකුට මෙය ඇසුණා. ඔහු විසිනු යි විඩූඪභ කුමරුට මේ පුවත දන්වන ලද්දේ…

පාපී ස්වභාවයෙන් මඩින ලද සිත් ඇති විඩූඪභ කුමරු ඒ මොහොතේ ශාක්‍යයන් හා වෛර බැඳ ගත්තා. ක්‍රෝධ සිතින් යුතු වූ ඔහු, ‘හොඳයි… නුඹලා විසින් කිරි දියරෙන් සෝදන ලද ආසනය මම රජ පැමිණි කල්හි නුඹලාගේ ම රුධිරයෙන් සෝදන්නෙමි’ යි කියා ඉටා ගත්තා.
දීඝකාරායන නම් ඇමතිවරයා විසින් රාජාභිෂේක භාණ්ඩයන් විඩූඪභ කුමරුට දෙනු ලැබීමෙන් කොසොල් මහ රජුට රාජ්‍යය අහිමි වූවා. විඩූඪභගෙන් යළි රාජ්‍යය ලබා

ගන්නට පෙර කොසොල් රජු මරණයට පත් වුණා. කෝසල රාජධානියේ රජ බවට පැමිණි විඩූඪභ ශාක්‍යයන්ගෙන් පළිගැනීම පිණිස පිටත් වුණා.

ස්වකීය ඥාති වර්ගයාගේ යහපත, හිතසුව කැමති වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැදිහත් වීමෙන් ශාක්‍ය සංහාරයට නික්මුණු විඩූඪභගේ ගමන තෙවරක් ම වැළකුණා. නමුත්, ශාක්‍යයන් මෙසේ සංහාරයට ලක් වන්නේ කර්ම විපාකයකින් බව දුටු සම්බුදුරජාණන් වහන්සේ නිහඬ වූවා. විඩූඪභ රජු ශාක්‍යයන් සමූල ඝාතනය කළා. ශාක්‍ය රුධිරයෙන් ශාක්‍යයන්ගේ රාජකීය ආසනය සෝදාහැරියා. ඔහු අතිශය රූමත්, රාජ සුකෝමළ ශාක්‍ය කන්‍යාවියන් පන්සිය දෙනෙකු අල්වාගෙන, දෑත් පිටුපසට තබා එකම රැහැනකින් බැඳ කෝසල රාජධානියට ගෙන යෑම පිණිස පා ගමනින් ම පිටත් කරවනු ලැබුවේ ඔවුන් ව දාසි භාවයේ තබන අදහසින්.

ස්වකීය ඥාති සමූහයාගේ දුක්ඛිත මරණයන්ගෙන් ද තමන් විසින් ම මුහුණ පා සිටින ඛේදජනක ඉරණමින් ද උපන් ශෝක වේදනාවෙන් පරිපීඩිත ව හුන් ඒ රාජ කුමාරිකාවෝ විඩූඪභටත්, සේනාවටත් දෙස්දෙවොල් තබමින්, අවලාද නගමින්, අඳෝනා කියමින් ගමනේ යෙදුණා. පන්සියයක් වූ ඒ පිරිසේ ශාප කිරීම් තවදුරටත් අසා සිටින්නට බැරි වූ තැන ඒ පිරිසේ අත් ද පා ද කපා දමන්නට කියා විඩූඪභ රජු අණ කළා. රාජ නියෝගය ක්‍රියාත්මක කළ සේනාව විසින් ඒ ශාක්‍ය කන්‍යාවියන් පන්සිය දෙනාගේ ම අත් ද පා ද සිඳිනු ලැබුවා.

ප්‍රිය විප්පයෝගයෙන් මැඩෙමින් හුන් ඒ රාජ කුමාරිකාවන් අත්පා ද සිඳිනු ලදුව මාරාන්තික කටුක කායික වේදනාවන් විඳිමින් සිටිය දී සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේනමකට මෙසේ වදාළා.

“පින්වත් භික්ෂුව, මෙහි එන්න. මාගේ ඥාති දියණිවරුන් අනතුරේ වැටෙන්න යි යන්නේ. ඔවුන් බේරා ගන්න…”

විඩූඪභ රජු ශාක්‍ය සංහාරයේ යෙදෙද්දී හෝ මේ රාජ කුමාරිකාවන්ගේ දෑත් පිටිතල තබා රැහැනින් බැඳ ගෙන යද්දී හෝ ඔවුන්ගේ අත්පා සිඳිනු ලබද්දී හෝ ‘ඔවුන් අනතුරේ වැටෙන්න යි යන්නේ’ කියා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. නමුත්, අත්පා සිඳිනු ලැබ මරුමුව වැටී සිටින මේ මොහොතේ ඔවුන් අනතුරේ වැටෙන්නට යන බව සම්බුදුරජාණන් වහන්සේ දැක වදාළා. ඇත්තට ම මොකක්ද තවදුරටත් වැටෙන්නට තිබෙන අනතුර?

ඒ ශාක්‍ය කුමාරිකාවන්ගේ සිත් ඒ මොහොතේ ද්වේෂයෙන් යට වී තිබුණා. විඩූඪභ ඇතුළු පිරිස කෙරෙහි උපන් ක්‍රෝධයෙනුයි ඔවුන් සිටියේ.

“කුද්ධෝ අත්ථං න ජානාති
කුද්ධෝ ධම්මං න පස්සති”

මේ තමයි ධර්මය. ක්‍රෝධ කරන්නා යහපත දන්නේ නෑ. ක්‍රෝධ කරන්නා ධර්මය දකින්නේ නෑ. අඳුරට පිවිසි අන්ධයෙකු වැනි ව ක්‍රෝධ සිතින් මඩිනු ලැබ සිටිය දී යමෙකු මරණයට පත් වූවොත් ඒ කෙනා අපායගාමී වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ ‘අනතුරේ වැටීම’ කියා දුටුවේ එය යි.

අනන්ත සසර පුරා අප විසින් සිත කය වචනය මෙහෙයවා රැස් කළ කර්ම අතර නිරයේ ඉපිද විපාක විඳිය යුතු කර්ම බොහෝ තිබෙනවා. තිරිසන් අපායේ ඉපිද, ප්‍රේත යෝනියේ ඉපිද, අසුර අපායේ ඉපිද විපාක විඳිය යුතු කර්මත් බොහෝ තිබෙනවා. මිනිස් ලෝකය ඒ කර්ම විපාක උපදින තැන නොවෙයි. යම් මොහොතක ද අප නිරයේ උපදින්නේ ඒ මොහොතේ පටන් නිරයේ විඳීම පිණිස සකස් වුණ කර්ම විපාක දීමට පටන් ගන්නවා. එනිසයි, අපායගාමී වුවහොත් එයින් මිදී සුගතියකට පැමිණීම අතිශයින් ම දුෂ්කර වන්නේ. ගෝචර භූමිය මුණගැසෙන තුරු විපාක නොදී තිබුණ පමණින් අප සාංසාරික ව අතිශය බිහිසුණු දුක් උපදනා කර්ම දායාදයකින් මිදී ගත්තවුන් කියා සිතන්නට කිසිදු ඉඩක් නැහැ. සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න. සසර කියා කියන්නේ ප්‍රවේශම් සහගත ව යා හැකි සුන්දර ගමනක් නොවෙයි…

ඉතින්, සම්බුදුරජාණන් වහන්සේගේ ඥාති දියණිවරුන් ව අනතුරින් නිදහස් කිරීම පිණිස ඒ භික්ෂූන් වහන්සේ ඒ ස්ථානයට අහසින් වැඩම කළා. උන්වහන්සේ අනන්ත සසර පුරා බොහෝ වාර ගණනින් අත්පා සිඳිනු ලදුව මාරාන්තික දුක් වේදනා විඳිමින් පැමිණි ගමනේ බිහිසුණු කටුක ස්වභාවය දක්වමින් සිහිනුවණ උපදවා දෙමින් ධර්මය දේශනා කරනු ලැබුවා. මේ ගම්භීර ධර්ම පර්යායන් අසමින්, ඒ කෙරෙහි සිත පහදවාගෙන මරු දුටු ඒ ශාක්‍ය කුමාරිකාවෝ නිරයේ නොවැටුනා පමණක් නොවෙයි; සතර අපායෙන් ද සදහට ම නිදහස් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සදහට ම ප්‍රහාණය කළා. අනතුරින් නිදහස් වුණා.

ඇත්තටම; අපේ මරණය ඇසූ ඇසූවන් සිත් කම්පා කරලන තරමේ මහා ඛේදවාචකයක් වෙනවා කියන එක අනතුරක් නෙමෙයි… අප රාග සිතින් මැඩී සිටිය දී මැරෙන එකයි අනතුර. අප ද්වේෂ සිතින් මැඩී සිටිය දී මැරෙන එකයි අනතුර. අප මෝහ සිතින් මැඩී සිටිය දී මැරෙන එකයි අනතුර. අකුසලයට යට වී ගිය, අකුසලයෙන් මැඩී ගිය සිතට යහපත දැනගන්න බෑ. ධර්මය දැක ගන්නත් බෑ. අපි කවුරුත් මැරෙන මිනිස්සු. පිනෙන් නුවණින් ගුණෙන් ඉතිරුණු බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ජීවිතද මරණය විසින් සැණෙකින් නසා වනසා දැමුවා නම් අප වැන්නෙකුගේ මරණය ගැන කථා කරන්නට දෙයක් නැති බවයි මරණානුස්සති භාවනාවේ දැක්වෙන්නේ…

නිසැකව ම එළඹෙන මරණය ගැන සිහි කරන අතලොස්ස පවා සිතන්නේ දුක් නොවිඳින මරණයක් උරුම කර ගැනීම ගැන යි. ඒ විදිහට ‘අසවල් තැන, අසවල් ආකාරයට’ කියා කොතරම් අපේක්ෂා සහගත වුණත් අති බහුතරයකට මරණය මුණගැසෙන්නේ අනපේක්ෂිත මොහොතක ම යි. ඒ නිසා, අප සැලකිලිමත් විය යුත්තේ රාග ද්වේෂ මෝහයෙන් යට නොවූ සිතකින් මැරෙන ක්‍රමය ගැන යි.

අපට ආදරය දැක්වූ ද අපට අනාදරය දැක්වූ ද සියල්ල හැර දමා යන්නට සිදු වන බව අප නිතර සිහි කළ යුතු යි. සියල්ල හැර දමන ඒ මොහොතේ සිත අකුසලයට යට වීම මහා අනතුරක් බවත්, එයින් අපට සුගතිය අහිමි වන බවත් අප නිතර සිහි කළ යුතු යි. මේ ආකාරයෙන් මරණසතිය වඩන ශ්‍රාවකයා තුළයි අප්‍රමාදී බව දියුණු වන්නේ. ඒ අය ගැන කිව යුත්තේ නිවනට සමීප වන්නවුන් කියල යි. අනතුරේ නොවැටෙන්නවුන් කියල යි…!

සටහන – උදුලා පද්මාවතී.