පුතේ නුඹට වයස අවුරුදු විස්සයි. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින්, තරුණ මදය ඔළුවට අරන් මත්වෙන කාලෙක, නුඹ නමින් මුදල් උපයන යාන වාහන තිබිය දී, දෙමව්පිය අඩ දබර නැති පවුලක ඉපදී, අග හිඟ නැතිව ම මුදල් අවශ්‍ය පරිදි ඔබට තිබිය දී, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැට කමින් හැසිරෙන වයසෙදි දෙමව්පියන්ට උහුලා ගන්න බැරි වේදනාවන් ලබාදෙන, නින්දාවට පත් කරමින් මුළාවට ඇද දමන දරුවන් සිටින ලෝකයක පින්බර මවක් වන මා හට එක්තරා දිනක දී උදෑසන 6.00ට පමණ මෙවන් ලිපියක් නෙත ගැටුණා…

‘‘ආදරණීය අම්මාට හා රත්තරන් තාත්තාට මම ලියමි. මම පැවිදි වෙන්න යනවා. මා නවත්වලා පවු කර ගන්න එපා. මේ තීරණය ගැන කවුරුවත් ම දන්නේ නැහැ. මම පැවිදි වෙන්නේ ගිහි ජීවිතයට කලකිරිලා. ගිහි ජීවිතයේ කිස ිම අර්ථයක් නැති නිසා සත්‍ය සොයාගෙන යනවා. මම දන්නවා, මා කෙරෙහි රත්තරන් අම්මාගේ හා තාත්තාගේ ඇති ආදරය හා සෙනෙහස. එහෙම නම් මටත් බැඳීම් පටලන්නේ නැතුව මට පැවිදි වීමට ඉඩ දෙන්න. මට පැවිදි වීමට ඉඩදීමෙන් ඔබ දෙපළට දුකක් ඇතිවෙයි. අනාගතයේ දී කවදා හෝ සතුටුත් වෙයි. මම ඉල්ලන්නේ අම්මයි. තාත්තයි ධර්මයට ලැදිව සතුටින් ජීවත් වෙන්න කියලා. අයියට කියන්න, අම්මයි, තාත්තයි දුකක් දෙන්නෙ නැතුව බලාගන්න කියලා. මම පොල්ගහවෙල අසපුවට පැවිදි වෙන්න යනවා. මම දන්නවා අම්මයි, තාත්තයි ඇත්තටම ආදරේ නිසා මේ තීරණයට කැමති වෙයි කියා… මෙම තීරණය කිසි ම හේතුවක් මත වෙනස් වෙන්නේ නැහැ. මම අම්මාගෙන් ඉල්ලන්නේ තාත්තා ව කැමති කරගෙන අසපුවට එන්න කියලා.
මෙයට,
චූටි පුතා
………………………………………………………………..
අපි සියලූ දෙනා මේ ලිපිය කියෙව්වේ කඳුළු පිරි දෙනෙතින්. පියා සිතුවේ. ‘කීකරු දරුවා උහුලා ගන්න බැරි දුකක් දුන්නා’ කියලා. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම නිසා සියලූ දෙනා හඬා වැළපෙනවා. උතුම් ශ‍්‍රද්ධාවෙන් තිසරණයේ පිිහිටපු ඔබේ මව වන මා සිතුවේ මෙසේයි. ‘සාදු සාදු! මගේ පුතා ගෞතම බුදු සසුනේ සැබෑ පිළිසරණ සොයා ගිහින්… දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුව මොහොතේ එ් උතුම් ක්ෂණ සම්පත්තිය අහිමි නො කොට දුර්ලභ ව ලැබුණු උතුම් බුද්ධ ශාසනයක අවබෝධයෙන් යුතුව ම ශ‍්‍රී සද්ධර්මය අසන්න ලැබෙන කාලයක, උතුම් සංඝරත්නය වැඩ සිටින කාලෙක, උතුම් ගති ඇති අපේ පිනට පහළ වූ ගුරුදේවයාණන් වහන්සේනමක් වැඩ සිටින පින් බිමකට මගේ රත්තරන් පුතා ගියා.’ කවදා හෝ මගේ පුතා මට තියෙන ආදරේ නිසා ම මේ ගමන යන බව මම දැනගෙනයි සිටියේ.

දෙමව්පියන්ට නො කියා උතුම් පින්කෙත සොයා ගිය පුතේ, උතුම් ශ‍්‍රද්ධාවේ පිහිටලා කඳුළු පිරි දෙනෙතින් ඔබේ ගුණ සිහි කරන්නම් මම්. ‘‘දුර්ලභයි පුතේ උතුම් ගති ඇති නුඹ මෙන් දරුවන්… රාගයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් බැට කන අප ව අතහැර දමා මහ රෑක ගිහිගෙයින් නික්ම නුඹ ගියේ එ් උතුම් තෙරුවන හිස මත තබාගෙනයි. කිසි ම දිනයක, කිසි ම මොහොතක නොයෙනා මගේ පුතේ, අසීමිත වූ ආදර සෙනෙහස දැක්වූ දෙමව්පිය දෙපළට උහුලා ගන්න බැරි දුකක් දුන්නේ අකීකරුකමට නො වෙයි. තුන්ලොව උතුම් වූ බුදුපියාගේ රැකවරණය සොයාගෙන පුත නුඹ ගියේ. නුඹට හැදූ වැඩූ පියා නුඹට රැකවරණය සඳහා දිවා රෑ වෙහෙසී මුදල්, වතුපිටි, යාන වාහන, ගෙවල් දොරවල් ඔබ වෙනුවෙන් රැස් කළා. එපමණක් නොව මව් සෙනෙහස ද පරදවා ඔබ හට ආදරය, සෙනෙහස අසීමිත ලෙස දැක්වූවා. මව සමඟ පියා හොඳ නරක කියාදෙමින් උගත මනා ශිල්පය ද ලබා දී නුඹ හොඳ තරුණයෙකු කළා. පෙර පින මතුවෙන විට මේ සෑම දෙය ම දුකක් යැයි නුඹට ම වැටහුණා නේ ද පුතේ… ලෞකික සැප සම්පත් ලැබෙද්දී, මානසික සුවයයි නුඹ පැතුවේ.

පෝය දිනයේ දී මවත් සමඟ සුදුවතින් සැරසිලා සිල් රැක්කේ අවබෝධයෙන් යුතුව ම යි. අනිත් දිනවල දී පන්සිල් රැක්කා. සොඳ සේ කිසිම කම්මැලිකමක් නැති ඔය ගත වෙහෙසා කුඹුර, වතු පිටි සරු කළා. අසල්වැසි සැමගේ හා නෑ හිත මිතුරු අතර ඔබ බැබළුණා. ගෙදර ඉන්නා කිරි අම්මාට හා නැගණියට රැකවරණය දෙමින් ධර්මයේ හැසිරෙන මව හට ගමන් බිමන් සැලසුවේ, උසස් අයුරින් උසස් පෙළ සමත් වී ගුරුවරුන්ට කීකරුව හැසිරුනේ, පියා ගෙදර නැති විට දී පියා මෙන් සියලූ වැඩ කටයුතු කළේ, දානමාන දෙන හැම විට දී ඔබ මුල්තැන ගෙන කටයුතු කළේ, උස් මහත් නොතකා සැමට එක ලෙස මෙත් සිත පැතිරුවේ… උතුම් පින්කෙතක් වන්නට පින් ද ඔබ රැස් කළේ මගේ පුතේ?

අපව අතහැර දමා ගිය මගේ පුතේ, දවසේ හැම මොහොතක ම නුඹ මගේ හිතේ සැරිසරයි. උතුම් ගති ඇති තිසරණයේ පිහිටපු පුතෙකු හැදූ පිනට ද හුදෙකලා වී ඔබ ගැන සිතන හැම විට ම රාග, ද්වේෂ, මෝහ පහ වී මේ තරම් අවබෝධයෙන් බුදු ගුණයි මා හට දැනෙන්නේ. එ් උතුම්  ඕපනයික ශ‍්‍රී සද්ධර්මය යි මා සිත වෙළන්නේ. එවිට මා හට සසර දුක හා සසර බිය ම යි දැනෙන්නේ. සුපටිපන්න වූ පින්කෙතක් ලැබුණු මොහොතේ නොපමා වී පින් අස්වනු නෙළන්නට මට වරම් ලැබුණේ නුඹ බිහි කළ පිනට ම යි මගේ පුතේ.

නුඹේ මෑණියන් උදේ, හවස බුදුරජුන් වැඳලා උතුම් බුදුගුණයි සිතන්නේ. උතුම් දහමේ හැසිරිලා සඟ ගුණයි මා හැමවෙලේ සිතන්නේ. උතුම් ශ‍්‍රී සද්ධර්මය අසන්නේ තෙරුවනේ පිහිටලයි. එ් හැම මොහොතක දී ම මා සිතන්නේ කවදා ද මගේ පුතාට මා හිස නමා පසඟ පිහිටුවා වඳින්නේ කියලයි මගෙ පුතේ. ඔව්… නුඹේ අම්මා මඟ බලාගෙන ඉන්නේ එ් උතුම් කසාවත දිනාගෙන නුඹ කෙලෙස් යුද්ධයට නික්මෙන අසිරිය දකින්නයි.

මගේ පුතාට තුනුරුවනේ ආශීර්වාදය වේවා! ලද සැපතින් නො පිරිහෙත්වා! සියලූ සැපතින් වැඩෙත්වා!

මෙයට,
තෙරුවන් සරණ ගිය අම්මා