මනුස්ස ජීවිතයක් ලබා ගන්නා හැම කෙනෙක් ම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙලා ඉපදෙනවා. ඒ මනුස්ස ලෝකයේ ඉපදුන අපට මුහුණ දෙන්න තිබෙන ප්‍රශ්න විවිධ යි. අත්දකින්නට තිබෙන අභියෝග විෂම යි. ලැබෙන දුක් පීඩාකාරියි. ඒ අතරින් කාන්තාව ස්ත්‍රී පීඩනයට, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයට, සුදුසු තැන නො ලැබීම ආදී කරුණුවලට ද මුහුණ දෙනවා. තව පිරිසක් සැබෑ විමුක්තිය සඳහා වෙහෙසෙනවා. මෙසේ දෝලනය වන විමුක්තිය පිළිබඳ මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් සමඟ අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

සම තැනද? හිමි තැනද ?

කාන්තා විමුක්තිය කියා අද සමාජයේ යම් මතයක් තිබෙනවා. සමාජ අසාධාරණයට එරෙහිව, ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට එරෙහිව තව පිරිසක් කාන්තා විමුක්තියක් සොයනවා. අද අපේ සමාජයේ පවා සමහර කාන්තා සංවිධාන මඟින් ස්ත්‍රියටත් නිසි තැන අවශ්‍යයි කියා මතයක් සමාජගත කර තිබෙනවා. නමුත් බෞද්ධ සමාජයක පැවත ආ යම් රටාවක් තිබුණා. සමාජයේ පිරිස් සිතන රටාවක් තිබුණා. නිවසක දැරියක් ඉපදුනාම ඒ මව්පියන්ට වැඩි බරක් දැනුණා. ඔවුන් සිතුවා අපගේ දියණිය මේ සීමාවේ සිටයි කටයුතු කළ යුත්තේ කියා. ඒ වගේම ඒ දියණිය මවක්, බිරියක් වූ පසු ඇය කටයුතු කළයුතු සීමාවන් තිබෙනවා. මැදිවියේ හෝ මහලු කාන්තාවක් මේ සීමාවේ සිට කටයුතු කළ යුතුයි කියා අපේ සමාජයේ යම් පැනවීමක් තිබෙනවා. යම් කෝණයක් තිබෙනවා. එනිසා යම් කාන්තාවක් මේ කෝණය කඩාගෙන යන්නට සිතුවොත් ඇයට සමාජයෙන් එල්ලවෙන්නේ දැඩි විරෝධයක්.

ඒ වගේම බුදුදහම ප්‍රචලිත සමාජයක මවකට තිබෙන්නේ උත්තරීතර ස්ථානයක්. ගෑණු දරුවෙකුට යම් ආරක්ෂාරී වැඩ පිළිවෙළක් ඒ සමාජයේ තිබුණා. බිරියට සිය ස්වාමියාගෙන් ආරක්ෂාකාරී බවක් තිබුණා. එසේනම් කාන්තා විමුක්තිය සොයන අපි කවුරුත් ලබාගත යුත්තේ සම තැන නොවේ. අපට හිමි තැනයි. ස්ත්‍රියකට සැබෑ විමුක්තියක් ලැබුණේ බුද්ධ ශාසනයක පමණයි.

ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය

බුදුරජාණන් වහන්සේ වැඩසිටි යුගයේ පවා ස්ත්‍රියට යම් යම් දුර්භාග්‍ය සම්පන්න අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. රජ්ජුමාලාවගේ කතාව, වේදේහිකාට අභියෝග කළ දාසියගේ කතාව අපට උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඔවුන් දාසියන් විදිහට අප්‍රමාණ දුක් වින්ඳා. ඒ වගේම අද සමාජයෙත් තමන්ගේ ස්වාමියාගෙන්, රැකියා කරන ස්ථානයෙන් ස්ත්‍රිය බොහෝ අඩම්තේට්ටම් ගැරහුම්වලට ලක්වෙනවා. අතීතයෙත් ඒ ආකාරයෙන් ම සිදුවුණා. වර්තමානයේ දී පවා අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වය නිශ්ශබ්දව සිදුවෙනවා. බටහිර රටවල පවා ස්ත්‍රියට එරෙහිව ක්‍රියාත්මක වන මෙම ප්‍රචණ්ඩත්වය තිබෙනවා. ඒවා ප්‍රකට නොවන්නේ බොහෝ විට ස්ත්‍රිය සියල්ල දරාගෙන ඒ දේට මුහුණ දෙන නිසා වෙන්නට පුළුවනි.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටි වේළුකණ්ඨකී නන්දමාතා උතුම් කාන්තා චරිතයක්. භාග්‍යවතුන් වහන්සේ කාන්තා අපට වදාළේ එතුමිය වගේ ජීවිතය හැඩගස්සා ගන්නා ලෙස යි. ඇයගේ ජීවිතයේ අද්භූත ආශ්චර්ය කරුණු තිබුණා. දිනක් එතුමිය සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා “ස්වාමීනී, මගේ සැමියා මිය ගිහිල්ලා එක්තරා යක්ෂ යෝනියක ඉපදුණා. යක්ෂ රූපයෙන් ඔහු මා ඉදිරියේ පෙනී සිටියත්, මගේ සිතේ වෙනසක් වෙන්නේ නැහැ” කියලා. ඇය ධ්‍යාන වඩන උපාසිකාවන් අතර අග්‍ර තැනැත්තිය යි.

ඇයගේ සැමියා මිනිස් ලෝකයේ සිටිද්දීත් සමහර විට යක්ෂ ගතිගුණ තිබෙන්න ඇති. ප්‍රචණ්ඩත්වය ඇයත් අත් විඳින්නට ඇති. වචනයෙන් ක්‍රියාවෙන් පීඩා විඳින්නට ඇති. නමුත් ඇය ධර්මය අනුව හැසිරුණ නිසා ඒ ප්‍රචණ්ඩත්වය දරා ගන්නට ඇති.

සුමංගල මාතා තෙරණියගේ උදානය

බුද්ධ කාලයේ එක් තරුණියක් ජීවත් වුණා. ඇයත් ප්‍රචණ්ඩත්වය කියන අවියෙන් නිතර බැට කෑවා. ඇය බටලීවලින් වට්ටි පෙට්ටි වියන කුලයක තරුණයෙකුට විවාහ කර දුන්නා. ඔහු දුෂ්ඨ ගති ඇති ගරුසරු නැති මිනිහෙක්. ඇයට නිතර ම මහා දරුණු ආකාරයෙන් සැලකුවේ. බොහෝ වද වේදනාවලට ලක්කළා. එනිසා ඇය දුක කියන දේ නිතර ම අත්වින්ඳා. කාලයක් යද්දී ඇයට පුතෙකු ලැබුණා. ඔහුට සුමංගල කියන නම තිබ්බා. තරුණ වියේ දී මේ සුමංගල බුදු සසුනේ පැවිදි ව රහත්ඵලයට පත්වුණා. එදා සිට ඇය සුමංගල මාතා නමින් ප්‍රසිද්ධ වුණා.

පසුකලෙක ඇයත් බුදු සසුනේ පැවිදි වුණා. වීර්යය කර රහත්ඵලයට පත්වුණා. එතුමිය හැම දුකෙන් ම නිදහස් වුණා. දිනයක් එතුමිය උදානයක් වදාළා.

“හැම දෙයකින් ම මිදුනු මම මෝල්ගහෙනුත්, දෑ කැත්තෙනුත්, උදැල්ලෙනුත් නිදහස් වුණ එකමයි හොඳ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මනුස්සයෙක්. මම ඒ මිනිහාගේ කුඩේටවත් කැමැති නැහැ. මම බත් උයපු හැලියෙනුත් ආවේ පිළුණු ගඳයි.

චිටි චිටි සද්දයෙන් මම මේ රාග, ද්වේෂ නැතිකර දැම්මා. මම දැන් ගහක් යට සෙවනට ගිහින් සනීපයට ඉන්නවා. සැපසේ ධ්‍යාන වඩනවා.”

ඒ ආකාරයට අප්‍රමාණ දුකට පත් වූ කාන්තාවන් සංසාරයෙන් සදහට ම නිදහස් වුණා. ජීවිතයට පිහිට පිළිසරණ ලබා ගත්තා. එනිසා තමන්ට යම් දක්ෂතාවයක් තිබෙනවානම් ඒ තැනට යාමට කාන්තාව නිතර ම දක්ෂ වෙන්න ඕනේ. කාන්තාව කියන්නේ අනුකම්පාවට ලක් විය යුතු පිරිසක් නොවේ. තමා තුළ සැබෑ අභිමානය වර්ධනය වනු පිණිස තමයි ධර්මයේ හැසිරෙන්න ඕනේ. තමන්ගේ ප්‍රඥාවට හැකියාවට නිසි තක්සේරුව බුද්ධ ශාසනයේ හමුවෙනවා. මේ බව වටහා ගත්තාම තමා වෙතින් මහ ශක්තියක් ජනිත වෙනවා. සීලයෙන් යුතු වීමෙන් ලැබෙන සැපය ප්‍රායෝගිකවම එවිට අත් විඳින්නට පුළුවන්.

සසරේ කළ කී දේ

සමහර විට යම් කාන්තාවකට කායික, මානසික පීඩා වැඩිනම් එය ඈ විසින් සසරේ කළ දෙයක් විය හැකියි. එනිසා විෂමතාවට මුහුණදෙන, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන, සමාජ අසාධාරණයට මුහුණ දෙන, ආදරය සෙනෙහස නොලැබෙන, දරුවන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන යම් කාන්තාවක් සිටිනවානම් ඇය කළ යුත්තේ ඉතාමත් හොඳින් ඉවසීම පුරුදු කිරීමයි. තමා දෙස හොඳින් බලා සිටින්න. සිත රිදෙන වදන් ඇහෙනකොට මමත් සසරේ මෙලෙස ම හිත රිදවලා ඇති කියා තමන් දෙස නුවණින් බලන්න. ඇයට මේ ලෝකය ජය ගන්නට බැරිවුණත්, පරලොව දිනන්න පුළුවන්. සැමියාට දාසියක් වගේ සලකන ස්ත්‍රිය දිනන්නේ පරලොවයි. ස්වාමියාගෙන් වෙන සියලු කරදර ඉවසාගෙන සිටින ස්ත්‍රිය දිනන්නේ පරලොව යි. සාමාන්‍ය සමාජයට පෙනෙන්නට පුළුවන් ඇය මේ ජීවිතයේ අනේක දොම්නස් විඳිනවා කියා. නමුත් ඇය ඒ සියල්ල ඉවසනවානම් ඇය පරලොව දිනුවා වෙනවා.

එනිසා ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අපි තේරුම් ගත යුතුයි මේ ලැබුණේ සුගති ලොවක ඉපදීමක්. මනුස්ස ජීවිතයක්. සසරේ යම් පිනක අඩුවකින් කාන්තාවක් වුවත් ඇයටත් පුළුවන් සසරේ කළ කී දේ අමතක කර නැගී සිටින්න. තිසරණය සරණ යන්න. සිල් පද හොඳින් ආරක්ෂා කරන්න. ඇය නුවණින් විමසන්නට දක්ෂනම් ඇයට මේ ලෝකය කෙසේ වෙතත් පරලොව ජය ගන්න පුළුවනි. බුදු සසුනේ පිළිසරණ ලැබූ පටාචාරා, කිසාගෝතමී වගේ තෙරණිවරුත්, විමලා, අඩ්ඪකාසි වන් තෙරණිවරුත් ගිහි කල මේ ලෝකයේ නොයෙක් විෂමතාවලට භාජනය වූ චරිත. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පාරිශුද්ධ චිත්ත සන්තානයක් ඇතිකර ගත් උත්තමාවියන් බවට ඔවුන් පත්වුණා. පුරුෂයාට පමණක් නොවේ නුවණ තිබෙන්නේ. ස්ත්‍රියටත් නුවණින් කල්පනා කර අවශ්‍ය දේ නිසි අයුරින් කළ හැකියි. තථාගතයන් වහන්සේ මනුෂ්‍යා දෙස බැලුවේ මොහු පුරුෂයෙකි හෝ මෑ කාන්තාවකි යන ඇසින් නොවේ. පුද්ගලයාට කුමක් කළ හැකි ද යන්න යි.

එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ යුද්ධ දාහක් කර දිනනවාට වඩා කෙලෙස් යුද්ධයෙන් තමන්ගේ ජීවිතය ජය ගන්නට කරන යුද්ධය උතුම් බවයි. තමන්ගේ තිබෙන අඩුපාඩු නුවණින් යුතුව හදා ගත්තොත්, ලෝකයේ තිබෙන අඩුපාඩු අතහැර, ලබන්නට බැරි දෙයට අරගල නොකර, ආධ්‍යාත්මික වශයෙන් මේ ජීවිතය දිනන්නට වීර්යය කළොත්, ධාර්මිකව ඒ සඳහා අරගල කළොත් ඒ යුද්ධය දිනන්නට පුළුවන්. එවිට සැබෑ ම කාන්තා විමුක්තියට පත් වූ ස්ත්‍රියක් බවට පත්වෙන්නට අපට පුළුවන්කම ලැබෙනවා.

කාන්තා විමුක්තිය පිළිබඳව ඒ කාලයෙත් සමාජය තුළ යම් කතාබහක් ඇතිවුණා. මේ සඳහා නායකත්වය ලබා දුන්නේ ප්‍රජාපතී ගෞතමිය යි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දිගින් දිගටම මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. එවිට ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කිසියම් කාන්තාවක් සිය ජීවිතයේ දී ශීල, සමාධි, ප්‍රඥා වැඩුවෝතින් ඒ කාන්තාවට විමුක්තිය සාක්ෂාත් කළ නොහැකි ද?”

“ආනන්දය, ඒ කාන්තාවට විමුක්තිය සාක්ෂාත් කළ හැකි යි.” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එනිසා උතුම් බුද්ධ වචනය කෙරෙහි ගෞරවයත්, විශ්වාසයත් උපදවාගෙන, පින් රැස් කර ගනිමින් දහම් මග පුරුදු කරගෙන සැබෑ ම කාන්තා විමුක්තිය අත් කර ගන්නට අපටත් වාසනාව ලැබේවා!

සටහන – නයනා නිල්මිණී.