highlights of the week
Home » NEW ARTICLES » සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමු

සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමු

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ  ‘ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද?’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය.

ගරු සභාපතිතුමනි,

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවා යැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි.

ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමල පමණක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි, භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමණ සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලු ජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි. එයට සැබෑ හේතුව නම් ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි.

ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

නිදහසින් පසු රට පාලනය කල සෑම රජයක ම පාහේ ප්‍රබල දෙමල ඇමතිවරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර් දෙමල ජාතිකයෙක්. දෙමල ත්‍රස්තාවදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ. සමහර විට එදා ඔහු මිය නොගියා නම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුනා.

මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍චකාර කේ ශ්‍රීපවන් මහතා දෙමල ජාතිකයෙක්. වර්තමාන මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමල ජාතිකයෙක්. එපමණක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තය්යා මුරලිදරන් මහතා දෙමල ජාතිකයෙක්. දෙමල ජාතික රුද්‍රා රාජසිංහම් මහතා හිටපු පොලිස්පති වරයෙක්. වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ ඡන්ද කොමිසමේ සාමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමල ජාතිකයෙක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක් ම දෙමල ජාතිකයින්. අද උතුරු පලාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. කොළඹ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ විශාලතම විද්‍යුත් මාධ්‍ය ජාලය වන සිරස එම්ටීවී අයිති මහාරාජා නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ෆුඩ් සිටී අයිති පේජ් නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම බියර් නිශ්පාදන සමාගම වන කාර්සන්ස් අයිති සෙල්වනාදන් නැමති දෙමල ජාතික පවුලටයි. මට මේ ආකාරයට දිගින් දිගටම කියාගෙන යන්නට පුලුවන්.

ඒ වෙනුවට මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමල ජනතාවට වෙනවා යැයි කියන අසාධාරණය?” අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.

භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයින් අතර අසතුට හා අසමගිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුලු ජාතීන්ව සම්බන්ධ කරගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක්ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමල ජාතිකයිනුයි. නිදහස නිසා එතෙක් ඔවුන් සතුව තිබූ මේ ආධිපත්‍යය නැති වේ යැයි එදා සිටි උගත්, ඉංග්‍රීසි කතාකරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමල පිරිස බියවුනා. ඔවුන් සිංහලයින් හා සම පාලන අයිතිය ඉල්ලුවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය 10% ටත් අඩුයි. එදා දෙමල දේශපලනඥයින් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නා නම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයින්ටයි.

අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල සුලු ජාතීන්ගේ තත්වය කුමක්ද කියා

ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමල හා මුස්ලිම් ජන කොටස් වලට සුවිශේෂී තැනක් ලබා දී තිබෙනවා. තැඹිලි පාට ඉරකින් දෙමල ජනතාවත් කොලපාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්තිමත් වනවා. මේ අාකාරයට ජාතික කොඩියෙන් පවා සුලු ජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.

ලංකාවේ රජය මගින් මුද්‍රණය කරනු ලබන සියලූම වැදගත් ලිපි ලේඛණ වල සිංහල හා දෙමල යන භාෂා දෙක ම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කල හැකියි. සියලූම මුදල් නෝට්ටු වල අගයන් සිංහල හා දෙමල භාෂා දෙකෙන් ම සඳහන් වෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ. ලංකාව තුල බහුතරය වන සිංහලයින්ට පමණක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එකසේ භාවිත කල හැකියි.

කිසිම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කණ්ඩායමකට ඇතුලු වීමේදී බලන්නේ දක්ෂතාව පමණයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියට ද නැත්නම් සුලු ජාතියකට ද කියා සලකා බැලීමක් කිසිවිටෙක කෙරෙන්නේ නැහැ. ඉතින් කොහෙද මේ කියන සුලු ජාතීන්ට වන විශේෂ අසාධාරණය ?

නමුත් අනික් අතට දෙමල බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමණක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිලදී ගත හැක්කේ දෙමල අයෙකුට පමණයි. මෙන්න දෙමල බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳම උදාහරණ.

ඇත්තෙන්ම කියනවා නම් දෙමල ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙනවා නම් ඒ දෙමල ජාතිකයින්ගෙන්ම යි. එයට හේතුව විදේශිකයින්ට සමහර විට නොතේරෙන දෙමල සංස්කෘතිය තුල කුලවාදයයි.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත්, උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්තවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව. ඒ නිසා බොහෝ විට පරාජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයින් සඳහා නැගෙනහිර බලකායන් යොදාගැනුන බව ඔහු කියා තිබෙනවා.

මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහල කුලයක දෙමල අය පහල කුලයක අය සමඟ එකට සිට කෑම කනවාද ? පහල කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවාද ?

දෙමල ජනතාව පහල කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුනා. 1957 ඉතා ප්‍රසිද්ධ වූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී සුන්දරලින්ගම් මහතා නල්ලූර් කොවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහල කුල වල අයටත් කෝවිල විවෘත කලයුතු යැයි රජය නීතියක් ගෙන ආ විට.

ඇත්තෙන්ම දෙමල ජනතාව තුල තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කරගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැති වරයෙකු වූ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක මහතාගේ කාලයේයි. 1957 ගෙන ආ සමාජ විශමතාවයන් පිළිබඳව වූ පනතෙන් හඳුන්වා දුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමනක් ප්‍රශ්නය මොනතරම් බරපතල වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි. කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලාවකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුලුවීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. මේ කිහිපයක් පමණයි. එය ඉතා දිගු පනතක්.

තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේද ?

අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවලට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍රවේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේ වලින් එල් ටී ටී ඊ තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමණ දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට.

1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත් ඉහල පන්තියේ දෙමල නායකයින් දැඩි අසතුටට පත්වුනා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නට වේවිය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කලේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන්වීම දෙමල ජනතාවට හොඳ‍ යයි මතයක් දෙමල ජනතාව තුල සමාජගත කිරීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හැරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමල ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල් ටී ටී ඊ ත්‍රස්තවාදයේ ආරම්භයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩ නැගු ජාතිවාදී මතවාදයයි.

වසර තිහක් අප සියලු දෙනාම ත්‍රස්තවාදයෙන් බැටකෑවා. දැන් අපි ත්‍රස්තවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමල ජනතාවටයි. සිංහල ජනතාව දැනටමත් ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබෙනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවට පසු රජයේ යටිතල පහසුකම් දියුනුකිරීම සඳහා වී ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යලි යථා තත්වයට ගෙනෙන්නටයි. අද දෙමල ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කල හැකියි.

නමුත් මෙතෙක් කල් දෙමල ජනතාව රැවටූ බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යලිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකරගැනීමේ කාර්යය ආරම්භ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම අන්තර් ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයින් පවා අද ජිනීවා පැමිණ දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමිනි වල කරමින් සිටින්නේ ඒ දෙයමයි. අලුතින් පත්වී ඇති ලංකාවේ රූකඩ ආණ්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.

අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල, දෙමල හා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එලියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුල සාමයෙන් ජීවත් වන්නටත් රටක්ලෙස දියුණු වන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා.

– චාමින්ද කරුණාරත්න (ජිනීවා සිට)

උපුටා ගැනීම – lankacnews.com වෙබ් අඩවියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අසිරිමත් මහා කරුණාව ( 1 වන කොටස)

ඒ සිතුවිල්ල හට ගත්තේ සියලු ලෝසතුන් මේ ජරා දුකින් බේරා ගන්න, මේ රෝග පීඩා වැළඳීමේ දුකින් බේරා ගන්න, මේ මරණ දුකින් බේරා ගන්න. ඒත් සමඟ ම උන්වහන්සේට කල්පනා වුණා,