සිංහල ජාතියේ පරම්පරා කථාව වන මහාවංශය ලෝක උරුමයක් වශයෙන් නම් කොට පිළිගෙන තිබීම සමස්ත ජගත් ග්‍රන්ථ ඉතිහාසයේ අනුස්මරණීය සුවිශිෂ්ට සංසිද්ධියක් ලෙස හැඳින්විය හැකිය. එමෙන් ම එය වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයන්ගේ දේශය හා බුදුසමයත් ලොව ඉපැරණි ම භාෂාවක් වන සිංහල භාෂාවත් අත්පත් කොට ගත් අසහාය කීර්තියක් ද වන්නේය. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අගනා මාණික්‍ය බඳු ලෝක උරුම නිධානයන් වරින්වර මතුවීම කිසිදු බලවේගයකට නවතාලිය නොහැක්කේය.

මහාවංශය වූ කලී ලොව පවත්නා පරම්පරා කථා හෙවත් වංශකථා අතර අඛණ්ඩ රාජ්‍යපාලන ධුරාවලියක් ගැන කියන අති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි. මිසදිටුවන් විසින් පුරසාරම් සහිත බේගලයක් ලෙස වරින්වර හඳුන්වා දීමට තැත් දරන ලද මහාවංශය නම් වූ සිංහලයේ ශ්‍රේෂ්ඨ වංශකථාව නොතිබෙන්නට භාරතීය ඉතිහාසයට පවා එළියක් නොලබන්නට අවකාශ තිබුණ බව ඉතිහාසඥයින්ගේ මතය යි.

ඉපැරණි යුගයේ එකද ඉන්දියානු දේශාටකයකු හෝ ලංකාවට පැමිණි ගමනක් පිළිබඳ ලියා තැබූ ඓතිහාසික පුරාවෘත්තයක් භාරතයේ නොමැති බව පවසන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඉතිහාසය ලිවීමට වඩා ඔවුන් සැලකිලි දැක්වූයේ දර්ශනය හා ආගම ගැන ලිවීමට බව කියයි. ලංකාව ගැන කරුණු සඳහන් සුප්‍රකට භාරතීය ග්‍රන්ථය වන රාමායනයේ පවා වැඩිපුර ඇත්තේ ජනප්‍රවාද බව පරණවිතාන මහතාගේ නිගමනයයි.

සිව්වැනි සියවසේ මහසෙන් රජු දවස පාලි බසින් රචිත මහාවංශයේ කතුවරයා වූයේ දීඝසන්ද සේනාපති පිරිවෙන්වාසී මහානාම හිමිපාණන් බව වංසත්ථප්පකාසිනී මහාවංශ ටීකාවෙහි නිගමන පාඨයක කියැවෙයි. මීට අවුරුදු එකසිය හතළිස් පහකට ඉහත දී, එනම් 1877 වර්ෂයේ දී විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් සහ දොන් අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සිංහලයට නඟන ලද මහාවංශ විඥාපනයෙහි සමාරම්භක පාඨය මෙසේය: “මහතං වංසෝ පවෙණි මහාවංසො” යනුවෙන් බුද්ධාදි මහතුන්ගේ පරම්පරාව මහාවංශය යයි කියනු ලැබේ. මේ ප්‍රකරණය සිංහලාර්ථකථා මහාවංශය යි ද ව්‍යවහාරයි. ඒ සිංහල කථාව වැඩි විස්තර හැර අඩුතැන් ආචාර්ය පරම්පරාවෙන් ඇසූ නියායෙන් පුරවා දික්සඳ සෙනෙවියා පිරිවෙන් මාහිමි මහානාම මහතෙරුන් විසින් ගාථා බන්ධනයෙන් රචනා කරන ලදි.”

මේ වනවිට ලෝක උරුමයක් බවට පත්ව ඇති, බුද්ධාදී මහෝත්තමයන්ගේ පරම්පරා කථාව ලෙස හික්කඩුවේ සුමංගල නාහිමියන් හඳුන්වාදුන් මහාවංශයේ නවතම සරල සිංහල අනුවාදයක් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී තිබේ. එහි අනුවාදක හිමිපාණන් වන අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ එම ග්‍රන්ථ රත්නය නම් කළේ ‘ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව’ යනුවෙනි. එම අභිදානය කොතරම් කාලෝචිතදැයි වැටහෙන්නේ මහාවංශයේ හැම පරිච්ඡේදයක් අවසානයේ දැක්වෙන “හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශය” යන යෙදුම, මහාවංශය ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව බව යළි යළිත් සිහිගන්වනු සඳහා කළ වෑයමක් බවට මහාචාර්ය පරණවිතාන මහතා විසින් ද පෙන්වා දී ඇති හෙයිනි.

මේ දක්වා මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්ව ඇති මහාවංශයේ සියලු ම පරිවර්තනයන්ට වඩා ඉතා සරල ලෙසත්, හෘදයංගම භාෂා රීතියක් භාවිතයෙනුත් සත්පුරුෂ පාඨක ජනකායගේ ප්‍රසාදයත්, සංවේගයත් ජනනය වන පරිද්දෙන් අපගේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදයත් සමඟ ලංකාද්වීපය වාසභූමි කොටගනු ලැබුවේ තම වංශ පරම්පරාවේ පවිත්‍රභාවය නොසිඳ පවත්වාගෙන ආවා වූ, මව්පිය පාර්ශවයන්ගේ සුජාත වූ ක්ෂත්‍රිය වංශික ජනපරපුරක් විසිනි. එපුවත ඉතා පැහැදිලිව දීර්ඝ ලෙස, මෙම අලුත් පරිවර්තනයේ ප්‍රස්තාවනාවේ පෙන්වා දී තිබේ. බුදු දහමට එකඟව හා ලැදිව ක්‍රියා කළ සිංහල රාජවංශයේ දෙදහස් වසරක ඉතිහාසය පිඬු කොට දක්වමින් අප මුහුණ පාන ඛේදනීය තත්ත්වයට පත් වූ අයුරු අනාවරණය කොට ඇත්තේ පරගැති මානසිකත්වයෙන් හා උඩඟුකමෙන් නෙත් අඳව සිටින්නන්ගේ ඇස් අරවන පිණිස ය. සාමකාමී දැහැමි පාලකයන් සිටි රටකට දකුණු ඉන්දීය දෙමළ මංකොල්ලකරුවන්ගෙන් සිදු වූ හානිය ද නායකයකු නොමැතිව සිංහල ජාතිය අසරණව සිටි අවස්ථා ද වරින්වර ප්‍රතාපවත් පාලකයන් පහළ වීමෙන් බුදු දහමත් ජාතියත් පිබිද නැඟුණු සැටි ද මහාවංශයේ මෙම නව පරිවර්තනයෙහි මතුවන්නේ කියවන්නන් තුළ ප්‍රසාද සංවේගය දනවමිනි.

පෙරදිග ඉතිහාසය එළිය කළ මෙම මහනීය වූ ඓතිහාසික ග්‍රන්ථය මුසාවකැයි කියා හෙළා දුටු දුර්ජන මිසදිටු මත සුන්බුන්ව යාමට හේතු වන්නකි මහාවංශය ලෝක උරුමයක් බවට පත්කිරීම. “මහාවංශය කියවාගෙන යාමේ දී බොහෝ වර අපට සිතුණේ මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවට ද යන කාරණයයි” යනුවෙන් ඤාණානන්ද හිමිපාණන් ප්‍රස්තාවනාවෙ දී සඳහන් කොට තිබේ. මේ ද උන්වහන්සේගේ තවත් කියුමකි: “දෙමළ ආක්‍රමණයන්ගෙනුත් යුරෝපීය ආක්‍රමණයන්ගෙනුත් හුස්මගත නොහැකි ලෙස බැට කෑ සිංහල අපට, අපගේ සිංහල සෙන්පතියෙක් දකුණු ඉන්දියාවේ මධුරාපුරයට ගොස් ධර්ම නීතියෙහි පිහිටා, මංකොල්ලකරුවකු බවට පත් නොවී රාජ්‍යය සාදා ඇති ආකාරය තුළ සිංහලයාගේ වැදගත්කම මොනවට විදහා දක්වයි. එමෙන් ම බුදු දහමින් සුපෝෂිත වූ සිංහල ජාතියේ අභිමානය ද මොනවට දිස්වෙයි.”

බුදු දහමට ස්වකීය රාජ්‍යයත් දේශයත් පුද දෙනු ලැබූ දැහැමි රාජ්‍ය පාලකයන් සිටි රටක් ප්‍රචණ්ඩ රණකාමී බලවේගවලට පහසුවෙන් නතු කර ගත හැකි වෙයි. දුර්වල පාලකයකු සිටි කාලයක මෙය ඉතා පහසු කාරියකි. සිංහල දේශයේ ඉතිහාසය පුරා ම මේ ප්‍රවණතාව දැක්ක හැකිවිය. වරින්වර කඩා වැදුණු දකුණු ඉන්දීය ආක්‍රමණ හා විවිධ අභ්‍යන්තර කැළඹිලි නිසා අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිංහල ජනකාය තුළ පැවති සම්භාවනීය ගුණය හීනව, භාෂාව, සාහිත්‍යය, කලා ශිල්ප, සකු බමුණු සම්ප්‍රදායන්ට නතු වෙමින් පැවති වකවානුවක කඩා වැදුණු කාලිංග මාඝ ආක්‍රමණයෙන් බැට කෑ සිංහලයන්ට යළි නැඟී සිටීමට නොහැකි විය. අනතුරුව පැමිණි යුරෝපීය අධිරාජ්‍යවාදී ආක්‍රමණ නිසා රාජවංශය සිංහලද්වීපයෙන් අතුරුදහන් කොට ජාතිය භේද භින්න වී යාමට සලස්වා බුදු දහමේ ශ්‍රේෂ්ඨ උරුමය ද අකා මකා දැමූ අයුරු ස්වකීය මහාවංශ පරිවර්තනයේ ප්‍රස්තාවනාවෙන් පෙන්වා දෙන ඤාණානන්ද හිමිපාණෝ අද අප මුහුණ පා සිටින ඛේදවාචකය මෙසේ සම්පිණ්ඩනය කොට දක්වති:

“ඔවුන් (යුරෝපීය ජාතීන්) දිගින් දිගටම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ඉතාම අසීරු තත්වයකට පත්ව තිබේ. පැරණි සිංහලයන් සතුව තිබූ ශිල්ප ශාස්ත්‍ර ක්‍රම, කෘෂිකාර්මික ක්‍රම, වාරිමාර්ග ක්‍රම සියල්ල පිළිබඳ වු ඤාණයෙන් දැන් සිංහලයෝ තොරවී සිටිති. ඔවුන්ට එයින් වැඩක් නැත. ඔවුහු මහාවංශයට ද සිනාසෙති. එය ප්‍රලාපයකැයි අපහාස කරති. මේ වනවිට ලංකාව ම ණය බරින් මිරිකී ගොස් තිබේ. රෝග පීඩාවලින් ආතුර වී තිබේ. ශ්‍රද්ධාවෙන් හීන වී සිටියි. උඩඟුකමින් නන්දොඩවමින් සිටියි. සිංහලයන්ගේ අනාගතය එතරම් දුරකට ගෙන යා හැකි වටපිටාවක් සපයන බවක් නොපෙනේ.”

අවුරුදු දෙදහසකට අධික කාලයක් ජනතාව අතර සම්භාවිතව පැවති සිංහල ජාතියේ වංශකථාව වන මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් වීමට ආසන්නව තිබිය දී ය ඤාණානන්ද ස්වාමීන් වහන්සේ අප ජාතිය පිළිබඳ පූර්වෝක්ත සංවේදී ප්‍රකාශය සිය මහාවංශය ප්‍රස්තාවනාවට ඇතුළත් කළේ. එම නිසා ‘ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව’ කියවා අපගේ උරුමයේ මහිමය වටහා ගැනීම සෑම ලාංකිකයකුගේ ම පරම වගකීමක් වෙයි. මහාවංශයේ මෙම නව පරිවර්තනය සඳහා යොදාගෙන ඇති සරල භාෂා රීතිය කුඩා දරුවකුට වුවද කියවා පහසුවෙන් වටහාගත හැකිය. රමණීය වදන් සංකලනයෙන් නැඟෙන රිද්මය අධ්‍යාත්මය ප්‍රමුදිත කරවනසුලු ය. ඒ වූ කලී ‘භාෂාව ජනකායකගේ සංස්කෘතියේ සුවඳ වහනය කරවන්නකි’ යන මානව විද්‍යාඥ පඬිවදන සැබෑ කරන්නකි.

තම මහාවංශ පරිවර්තනය සඳහා මූලාශ්‍ර කොට ගත්තේ හික්කඩුවේ සුමංගල නායක ස්වාමීන් වහන්සේ හා බටුවන්තුඩාවේ පඬිතුමා විසින් රචිත මහාවංශ පරිවර්තනය බව අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණෝ සඳහන් කරති. පරිවර්තන දෙකේ කාලීන භාෂා රීතිය අවබෝධ කොට ගැනීම සඳහා එක් නිදර්ශනයක් පමණක් ඉදිරිපත් කරමි.

මහාවංශයේ ආරම්භක ගාථාව මෙසේය:

“නමස්සිත්වාන සම්බුද්ධං සුසුද්ධං සුද්ධ වංසජං
මහාවංසං පවක්ඛාමී නානානුනාධිකාරිකං”

එම ගාථාව මුල් පරිවර්තන ග්‍රන්ථයෙහි මෙසේ සිංහලට නඟා තිබේ:

“ශුද්ධ වංශයෙහි උපන් (සකලක්ලේශයන් කෙරෙන්) අත්‍යන්ත පරිශුද්ධ වූ සර්වඥයන් වැඳ නොඅඩු නොයෙක් පරිච්ඡේද ඇත්තා වූ මහාවංශය කථනය කරන්නෙමි.”

පාලි භාෂාවෙන් පැවතගෙන ආ මහාවංශය එසේ පරිවර්තනය වූයේ, හෙළබසට සකුවදන් බෙහෙවින් පිවිස තිබුණු වකවානුවක එනම් 1877 දී ය. ඉන් අවුරුදු එකසිය හතළිහක් ඇවෑමෙන් හෙළ බස සිථිලව පවත්නා මෙසමයේ ඉහත මහාවංශ ගාථාව, ඤාණානන්ද හිමිපාණන් හෙළ බසට නඟා ඇත්තේ මෙසේය:

“අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදි සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. එසේ ම දඹදිව ඉතාමත් ම පාරිශුද්ධ පරම්පරාව වන ශාක්‍ය වංශයේය උන්වහන්සේ ජන්ම ලාභය ලැබුවේත්. අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.”

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍ර ධර්ම කරුණු පවා ඕනෑම තරාතිරමක අයකුට වුව ද තේරෙන බසින් ධර්ම දේශනා කිරීමට හා ධර්ම පුස්තක ලිවීමට පොහෝනා බස්වහරක් වර්තමාන ව්‍යවහාරයේ පවතී. ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය, නවතම පරිවර්තනය ලියැවී ඇත්තේ ඒ සරල වූත් සුගම වූත් බස්වහරිනි.

මහාවංශය ප්‍රථම වරට සිංහල භාෂාවට පරිවර්තනය කොට එවක ලංකාණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරිතුමන් වෙත පිළිගන්වා ඇත්තේ 1877 ජනවාරි 24 වැනිදා බව එහි තෘතිය මුද්‍රණයේ සඳහන් වෙයි. මහමෙව්නාව භාවනා අසපුවෙන් සම්පාදනය වූ සරල සිංහල අනුවාදය සඳහා සහාය කොටගෙන ඇත්තේ එම පුස්තකයත්, ඡට්ඨ සංගායනාවෙන් සංස්කරණය වූ මහාවංශ පාළියත් බව පවසන අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණෝ මහාවංශයේ අනුවාදනයන් රැසක් ඇති බවත්, අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාව ජනතාවට කියවන්ට සැලැස්වූ ඒ පඬිවරුන් ගත් වෑයම සදා සැමරිය යුතු බවත් සඳහන් කරති. මහාවංශය සරල සිංහල බසට නැඟීම පිළිබඳ තම අභිප්‍රාය ප්‍රස්තාවනාව අවසානයේ උන්වහන්සේ හෙළි කරන්නේ මෙපරිද්දෙනි.

“මෙය බොහෝ දෙනෙකුට සුව සේ කියවා සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැකිය. දැනට නා නා මාධ්‍යයන් තුළින් ද අපගේ ඉතිහාසය පිළිබඳව පතුරුවා හරිනු ලබන විකෘතියට පත් දුර්මත දුරුවී ගොස් බොහෝ දෙනාහට යහපත සැලසේවා!”

සටහන – දයාපාල ජයනෙත්ති.