ලෝකය නැසෙන අවදියක් වගේ ම ලෝකය සැකසෙන අවදියක් ද මහා කල්පයක් තුළදී මුණගැසෙනවා. මෙසේ ලෝකය නිර්මාණය වන කාලය හඳුන්වන්නේ විවට්ට කල්ප කියල යි. සංවට්ට කල්ප කියන්නේ ලෝකය නැසී යන අවදිය යි. විවට්ට කල්පයේදී ලෝකය නිර්මාණය වන ස්වභාවය ගැන අනාවරණ ප්‍රඥා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිදුකළ හෙළිදරව්වක් දීඝ නිකාය තුන්වන පොත් වහන්සේගේ පවත්නා අග්ගඤ්ඤ සූත්‍රය තුළ මුණගැසෙනවා.
එහිලා නැසී ගිය ලෝකය යළිදු සකස් වෙද්දී එහි ස්වරූපය මේ ආකාරයෙන් විස්තර කෙරෙනවා.

“වාසෙට්ඨයෙනි, එසමයෙහි මේ පෘථිවිය එක ම ජල කඳක් ව, අන්ධකාරයෙන් යුතු ව, මහා ඝනාන්ධකාරයක් ම වෙයි. සඳ හිරු නොපෙනෙයි. නැකැත් තරු නොපෙනෙයි. රෑ දහවල් නොපෙනෙයි. මාස, අඩමාස නොපෙනෙයි. කාලගුණය, අවුරුදු නොපෙනෙයි. ස්ත්‍රී පුරුෂයෝ නොපෙනෙති. සත්වයෝ සත්ව යන ගණනට ම යති.

එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් හට බොහෝ දීර්ඝ කාලයක් ගත වූ පසු කිසියම් කලෙක, නිවෙන්නා වූ උණු කළ කිරි මතුපිට යොදයක් තිබෙන්නේ යම් සේ ද, එසෙයින් ම දිය මතුපිට රස පොළොව පැතිර පහළ වූයේ ය. එය මනා පැහැයෙන් ද මනා සුවඳින් ද මනා රසයෙන් ද යුක්ත වූයේය. රසවත් ගිතෙලක් යම් සේ ද රසවත් වෙඬරු යම් සේ ද එබඳු පැහැයෙන් යුතු වූයේය. පිරිසිදු දඬුවැල් බෑ මී වදයක් යම් සේ ද එසෙයින් ම රසවත් වූයේය.

එකල්හී වාසෙට්ඨයෙනි, ලොල් ගතියෙන් යුතු එක්තරා සත්වයෙක් ‘භවත්නි, මේ කෙබඳු දෙයක් වන්නේ ද?’ යි රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලුවේ ය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලූ ඔහු එයට කැමති විය.”

ඊට පසු ක්‍රම ක්‍රමයෙන් පොළෝ සාරය අතුරුදන් වී ගිය අයුරුත්, සමාජ සංස්කෘතීන් ගොඩනැගුන අයුරුත් මෙම සූත්‍ර දේශනාවේ විස්තර කෙරෙනවා. විවට්ට කල්පයේ සමාරම්භයේ වෙඬරු පැහැ ගත්තා වූ ඒ භූ තලයේ අද වන විට ස්වරූපය කෙබඳු වන්නට ඇති ද? මහා ජල තලය නිසා ලද නිල් පැහැය? වන වැස්ම නිසා ලද හරිත පැහැය? මේ කවරක් අද වන විට පෘථිවිය වසාගෙන තිබෙනවා ඇති ද?

ආසියාවේ අභිමානය

වනාන්තර මිහිමත ජීවයේ පැවැත්මට අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පසුගිය වසරේ අග භාගයේ දී බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීම් නිසා අති විශාල පරිසර හානියක් සිදු වුණා. ඒ අවස්ථාවේ දී ලෝකයේ ඔක්සිජන් සැපයුමෙන් වැඩි ම දායකත්වය දරන ඇමසන් වැසි වනාන්තරය විශාල ලෙස දැවී යාම, ‘ලෝකයේ පෙනහලු ගිනි ගැනීමක්’ ලෙසයි හඳුන්වනු ලැබුවේ…

අප අවට පරිසර පද්ධතිය අධ්‍යයනය කළහොත් විසිවන සියවසේ අවසානයේ හා විසි එක්වන සියවසේ දශක දෙකක් ගෙවී ගොස් තිබෙන අද දවසේ දී හරිත පැහැ වන සම්පතෙහි කොපමණ වෙනසක් සිදුව ඇතැයි ඔබ සිතනවා ද? විල්පත්තු වන සංහාරය, මධ්‍යම කඳුකරයේ සිදු වූ පරිසර හානීන්, සිංහරාජ ආදී සෙසු වනාන්තර පද්ධතීන්ට සිදු වූ බලපෑම් යනාදී සියල්ලෙහි ප්‍රතිඵලය ලෙස වසර විස්සක කාලය තුළ රටෙහි නීලහරිත භාවය යම් ප්‍රතිශතයකින් අඩු වන්නට ඇතැයි අපට සිතිය හැකියි. අප රට වැනි කුඩා බිම්කඩක සිදු වූ වෙනස මෙබඳු නම්, සමස්ත ලෝකයේ තත්ත්වය කෙබඳු විය හැකි ද?

සිතිය හැකිව ඇත්තේ ලෝකයේ ද වනාන්තර සංහාරයක් සිදුව ඇති බවක් ය යන්න ඇත්ත. නමුත්, සත්‍යය නම් විසි වසරකට පෙරාතුව පැවතියාට වඩා ලෝකයේ හරිත පැහැය මේ වන විට වර්ධනය වී තිබෙන බව යි….!!! නාසා ආයතනය නිකුත් කළ නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් මේ බව තහවුරු කොට තිබෙනවා.

මෙයට හේතුව අපේ අසල්වැසි ඉන්දියාව වගේ ම ආසියාවේ බලවතා වන චීනය විසින් ක්‍රියාත්මක කළ රුක් රෝපණ ව්‍යාපෘතීන්ගේ සාර්ථක භාවය යි. ආසියාතිකයන් උරුම කර ගත් මේ අභිමානය මට කලකට පෙර වූවක් යළි සිහිකර දුන්නා…

මොනව ද මුත්තේ මොකද කරන්නේ?

මින් වසර එකොළහකට පමණ පෙරාතුව එක්තරා සන්ධ්‍යාවක මා වසරක් පමණ වයසැති කුඩා දරුවෙකු හරහට වඩාගෙන ඒ මේ අත පදවමින් සිටියා. බැස යන හිරුගේ රක්ත වර්ණ ආලෝක රටාවන් අකා මකා දමමින් ටිකෙන් ටික අඳුර ගලා ඒමත්, අහසේ ඈතින් දිලිසෙනා තාරකා දැක ගන්නට ලැබීමත් සිදු වූ ඒ වෙලාවේ අපට නුදුරින් වූ සුවිසල් මී ගසක පිරීතිරී ගිය මී ගෙඩි කන්නට මා වවුලන් රංචු පිටින් පැමිණෙමින් සිටියා.

උන්ගේ විශාල කළු පැහැ පියාපත් සැලෙන හඬින් සේ ම උන් නැගූ තියුණු නාදයෙන් ද මා අතහුන් දරුවාගේ අවධානය ඔවුනට යොමු වුණා. මේ අපූර්ව දර්ශනයෙන් අතිශයින් ප්‍රමෝදයට පත් වූ ඔහු සිඟිති අත් නගා මහ හඬින් හිනැහෙමින්, එදෙසට දෑත් නගමින් අප කාටවත් නොතේරෙන කිරිකැටි බසින් දිගින් දිගට ම මොනවදෝ කියන්නට පටන් ගත්තා.

ඔහුගේ සතුටින්, සතුටට පත් සිතකින් යුතු වූ මම පසෙක හුන් තාත්තා දෙස බලා මෙසේ කිව්වා.

“තාත්තේ බලන්නකෝ පුතාට තියෙන සතුට…”

ඒ මොහොතේ තාත්තා ඔහුගේ මුවගට නැගෙන විරල සිනහවෙන් යුතුව මට දුන් පිළිතුර, ඔවුන්ගේ සහ අපේ පරම්පරා අතර කොතරම් නම් පරතරයක් තිබෙනවා ද යන්න මට සැණෙකින් සිහිපත් කළා.

“පුතේ, මං ඔය මී ගස් දෙක හැදුවේ කවදහරි වයසට ගියා ම මා වවුලෝ මී ගෙඩි කන්න එන හැටි බලන් ඉන්න…”

ඔවුන් තමන් වයසට යනවා ය යන යථාර්ථය ඒ අයුරින් ම දැනගෙන සිටියා පමණක් නොවෙයි; ඒ ඇත්තට මුහුණ දීම පිණිස ලෝකයට අර්ථවත් යමක් ද තිළිණ කළා. ගහක වැලක හැදෙන දෙයට මිස හදා වඩා ගත යුතු ගහ වැලට සංවේදී නො වූ අපේ පරපුර සිටින්නේ ඒ පරපුරට බොහෝ ඈතින්; බොහෝ පහතින්….

අපිත් ඒ හෙළ පරපුරේ…

නොයෙක් සංවර්ධන ව්‍යාපෘතීන් නිසා උද්ගත වූ අහිතකර පාරිසරික බලපෑම් අප කාලයක් පුරා අත්විඳිනවා. ජල උල්පත් සිඳී යාමත්, වර්ෂා රටාවන්ගේ හා කාලගුණික රටාවන්ගේ සිදු වූ වෙනස්කම් ආදියත් අප සැබැවින් ම අත්විඳි පරිසර හානීන්ගේ දුර්විපාකයන්. ආසියාතික නියෝජනයක් විසින් ලෝකයේ සමස්ත නීලහරිත ස්වභාවය වැඩිදියුණු කොට තිබෙන බව තහවුරු වී තිබෙන මේ අවස්ථාවේ ඔවුන්ගේ පරිසර හිතවාදී වැඩපිළිවෙළට සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් අපිදු කටයුතු කිරීම යි කළ යුත්තේ.

උපන්දින, සංවත්සර දින ආදී වැදගත් යැයි අපේ ජීවිතවල සලකනු ලබන දිනවල දී අපටත් පුළුවනි ගසක් සිටුවන්න.

විවාහ මංගල්‍යයන්හිදී සහභාගී වූ හිතමිතුරන්ට කේක් ලබා දීම වෙනුවට සිටුවීම පිණිස පැළයක් ලබා දීම පිණිස වන ප්‍රවණතාවයක් අපට දැන් දැන් දැකගන්නට පුළුවනි. එය සැබැවින් ම ප්‍රශංසා කටයුතු යි.

දරුවෙකු උපන් පසු රෝහලෙන් රැගෙන යද්දී එම දරුවාට තිළිණයක් ලෙස සිටුවීමට පැළයක් ලබා දීමේ ව්‍යාපෘතීන් රෝහල්හි සේවයේ නියුතු වෘත්තිකයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු අවස්ථා ද වාර්තා වී තිබෙනවා.
රෝහලේ මැදිහත් වීමක් වුණත්, නොවුණත් අපට හැකියි පවුලට එකතු වන නව සාමාජිකයන් නිමිත්ත කොටගෙන මිහිකතට සුව දෙන පැළයක් රෝපණය කරවන්නට…

ඒ වගේ ම අප විසින් ආහාර වශයෙන් ලබාගන්නා පලතුරු වර්ගවල බීජ වියළා, කඩදාසි කොළවල ඔතා තමන් සමීපයේ තබාගෙන, යන එන ගමන බිමනේදී මුණගැසෙන මුඩු බිම් පද්ධතීන්ට එම බීජ මුදා හැරීමෙන් වර්ෂා කාලය සමඟ එම බීජ පැළ වීමට සලස්වා පසුකාලීන ව වන සම්පත වර්ධනය කරලීමට දායක කරවිය හැකි යි. තායිලන්තය මේ ක්‍රමය මගින් ඉතාමත් ම සාර්ථක ව රටේ වන ඝනත්වය වැඩිදියුණු කොට තිබෙනවා. එය අපට ද පහසුවෙන් අනුගමනය කළ හැකි සහ සාර්ථක ප්‍රතිඵල ද ලැබිය හැකි ක්‍රමවේදයක්.

පැළ සිටුවන විට රටේ පාරිසරික ස්වභාවයන්ට ආක්‍රමණශීලී බලපෑමක් එල්ල නොකරන පැළ තෝරා ගැනීමට අප කල්පනාකාරී විය යුතු යි. විශේෂයෙන් ම ජල මූලාශ්‍රයන් ආරක්ෂා කර දෙන ශාක විශේෂ අපගේ අවධානය යොමු කිරීමට ඉතාමත් සුදුසු යි. කුඹුක් වැනි පහසුවෙන් පැළ කර ගත හැකි ගස් වර්ග මේ ක්‍රියාන්විතයට අතිශයින් ම යෝග්‍ය යි.

මී ගසේ රහස

සාමාන්‍යයෙන් ඕනෑම ශාකයක් දිවා කාලයේ දී තම පත්‍ර මගින් ඔක්සිජන් නිකුත් කරන අතර රාත්‍රියේ දී කාබන්ඩයොක්සයිඞ් නිකුත් කරනවා. මෙය ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ ස්වභාවය යි. එනිස යි රාත්‍රියේ දී නිදන කාමර තුළ පැළ වර්ග තබා නොගන්න යැයි උපදෙස් දෙන්නේ. නමුත්, මී ගස මේ සියලු පොදු ස්වභාවයන් අතික්‍රමණය කරමින් දිවා කාලයේ සේ ම රාත්‍රියේ දී ද ඔක්සිජන් නිකුත් කරනවා. සිටුවා රැක බලා ගන්නටත්, සිටුවා රැක බලා ගැනීම පිණිස තිළිණ කරන්නටත් බොහෝ වටිනා ගසක් තමයි මී ගස…

ආදිතමයන්ගෙන් පාඩමක්…

විවට්ට කල්පයේ දී මෙ මිහිමතට බට අපගේ ආදිතමයන් පොළෝ රසය ඇඟිල්ලෙන් ගෙන බැලූවන්. අදටත් ‘පොළෝ රසය’ ගැන අප කථා කරන්නේ ඒ හුරුවට ම වන්නට පුළුවනි. පසු කලෙක නොයෙක් අකුසලයන්ගේ ප්‍රතිවිපාක ලෙස පොළෝ රසය අතුරුදන් වෙද්දී යළි එය තිබූ ස්වභාවයට ම ගෙනෙනු කැමැති ව ගුණ දහම් වැඩුවෝ ද අපගේ ආදිතමයන්. ඔවුන් ගත් මග අපට ද සුදුසු යි.

මේ වනාහි ගුණධර්මයන්ගේ වැඩී යාම, විපුලත්වයට පත් වීම සර්වාකාරයෙන් ම දෙව්මිනිස් ලෝකයාට හෙළිදරව් කරන ලද්දා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයක් ජීවමාන ව පවත්නා සමය යි. පිනට නොගැරහූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අපිදු කැමති විය යුත්තේ දිවා රැය වැඩී යන පින්කම් ම සිදු කරන්නට නො වේ ද…!

“ජනතාව උදෙසා මල් පලතුරු වවන, රුක් රෝපණය කරන, ඒදඬු පාලම් හදන, ගිමන්හල් පැන් පොකුණු කරවන, ගෙවල් දොරවල් දන් දෙන යමෙක් වෙයි නම් ඔවුන්ට දිවා රාත්‍රී දෙකේ හැම තිස්සේ ම පින් වැඩෙනවා. ධර්මය තුළ පිහිටි සිල්වත් වූ ජනතාව තමයි සුගතියේ උපදින්නේ…”

(වනරෝප සූත්‍රය, සං. නි. 01)

නුවණැත්තෝ, ලොවෙහි යහපත කැමැත්තෝ අනලස් ව දිවා රැය පින් පුරවා ගනිත්වා! මිහිකත සුරකිත්වා! සුගතිය ලබත්වා!

තෙරුවන් සරණයි!

සටහන – උදුලා පද්මාවතී