අප මිනිසුන් වශයෙන් වාසය කරන විට සසරේ කළ පින්වල වෙනස්කම් මත අපට එක එක සැප සම්පත් භුක්ති විඳීමට ලැබෙනවා. සමහරුන්ට ඒ දේවල් ඉතා ම අල්ප වශයෙන් ලැබෙන බව අප සියලු ම දෙනා දැක තිබෙනවා. හැබැයි ඒ ලැබෙන සැප සම්පත්වල යම් යම් වෙනස්කම් තිබුණත් ඒ සැප සම්පත්වලට මුළාවන ස්වභාවය අප සියලුම දෙනා ළඟ නොඅඩුව ම තිබෙන්නට පුළුවනි. ඒ පිළිබඳ ව නොසලකා අපි එක එක්කෙනා ව තක්සේරු කරනවා. ‘අසවල් කෙනා දියුණුයි. අසවලා ගිහි ජීවිතය ජයගත්තා’ කියලා අපි කියලත් ඇති. හොඳට කෙනෙක් ඉගෙන ගත්තොත්, උසස් රැකියාවක් කළොත්, යහපත් විවාහ ජීවිතයක් ගත කළොත්, යහපත් ළමයින් ලැබුණොත් අපි ඒ ගැන සතුටු වූ අවස්ථා කොතෙක් ද?

හැබැයි බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය කෙනෙකුට ඒ කිසිවකට බාධාවක් නැහැ. ගිහි ජීවිතය ගත කරන අපට කොතෙකුත් මුදල් ඉපැයුවත්, වටිනා සුඛෝපභෝගී නිවෙස් ඉදි කළත්, වාහන මිල දී ගත්තත් එය ධර්ම මාර්ගයට බාධා පමුණුවන දෙයක් නොවන බව ඔබ ඉගෙනගෙන ඇති. ගිහි ජීවිතය ගතකරන කෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරනා විට ඔහුට මේවා අහිමි විය යුතු කියා කියනවා නම් එය ඔහුගේ දහම් දැනුමේ දුර්වලකමක් බව අප තේරුම් ගත යුතු යි.

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය ගතකරන කෙනාගේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය ගැන ඉතාම මැනවින් අපට කියා දෙනවා.

කෙනෙක් ඉන්නවා, අධාර්මික ව ජීවත් වෙනවා. එයින් ඉපැයූ දෙයින් ඔහු හොඳට කා බී ජීවත් වෙනවා. අන් අයටත් සලකනවා. පින් දහමුත් කරනවා. මඳකට ඔබ කල්පනා කර බලන්න අධාර්මික ව ජීවත් වෙන කෙනෙක් හොඳට කා බී, හොඳ නිවසක ජීවත් වෙනවා නම් අපි ම කියලා ඇති “අපෝ ඔය මනුස්සයා ඔය ගේ හැදුවේ අධාර්මික ව හම්බ කරපු දෙයින්” කියලා. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කෙනා ව ගර්හාවට ලක් කරනුයේ අධාර්මික ව ජීවත් වූ කරුණෙන් පමණක් බව අප තේරුම් ගැනීම ඉතා ම වැදගත් වෙනවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ ඒ කෙනා හොඳට කා බී සිටීම, අන් අයට සැලකීම, පින් දහම් කිරීම ගැන ප්‍රශංසාවට ලක් කරනවා.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් ඉන්නවා, ධාර්මික ව ජීවත් වෙනවා. තමන් හොඳට කා බී සිටිනවා. අන් අයට උපකාර කරනවා. හොඳට පින් දහම් කරනවා. මේ කරුණු හතර ම ගැන භාග්‍යවතුන් වහන්සේ ඔහු ව ප්‍රශංසාවට ලක් කරනවා. සමහර විට ඔබට ඔබ ගැන ම සතුටක් ඇති වේවි, ‘අනේ මමත් ගිහි ගෙදර වාසය කරන පුද්ගලයෙක් හැටියට මේ කැරණු හතර ම මා තුළ නොඅඩුව ම තියෙනවා’ කියලා.

හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒ කෙනාගෙත් යම් යම් අඩුපාඩු තියෙන බව අපට මැනැවින් පෙන්වා දෙනවා. ධාර්මික ව ජීවත් වූ පමණින්, තමන් හොඳට කා බී සිටි පමණින්, අන් අයට හොඳට උපකාර කළ පමණින්, හොඳට පින් දහම් කළ පමණින් ම ඒ කෙනා පරිපූර්ණ වශයෙන් සාර්ථක කෙනෙක් වන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා ඒ කෙනාගේ තිබෙන්න පුළුවන් දුර්වලතා කිහිපයක්. ඒ තමයි එයා,

■ තේ ච භෝගේ ගථිතෝ – තමන්ගේ සැප සම්පත්වලට ඇලී ගැලී වාසය කරනවා.

■ මුච්ඡිතෝ – ඒ සැප සම්පත් කෙරෙහි සිහි මුළා වී වාසය කරනවා.

■ අජ්ඣාපන්නෝ – සැප සම්පත්වලට බැසගත් සිතින් වාසය කරනවා.

■ අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති – ආදීනව නොදැක, නිදහස් වීමේ ප්‍රඥාවෙන් තොරව වාසය කරනවා.

ඇතැම්විට ඔබ “අසවල් උපාසක අම්මා අන්න පෙරේතයෙක් වෙලා වැහිලා කෙනෙකුට”, “අනේ අපේ මුදලාලි අන්න මල යකෙක් වෙලා පේන්න එනවා” වැනි කොතෙකුත් දේ අසා ඇති. ඒ වගේ ම ධම්ම පදය, නොයෙකුත් බුද්ධ දේශනා, ජාතක කතා තුළ අන්තර්ගත මෙවැනි තොරතුරු ඔබට මතක ඇති.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ දානයක් දෙනකොට වුනත් ඒ දෙන දේට නොබැඳුනු සිතින් දුන්නොත් තමයි එයින් මහත්ඵල මහානිශංස විපාක ලැබෙන්නේ කියල යි.

අපි මෙවැනි උදාහරණයක් ගෙන බලමු. ඔබ පන්සලට වටිනා පුටුවක් පූජා කරනවා. ‘අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ ආසනය දිගට ම පරිහරණය කරන්න’ කියලා සැදැහැ සිතින් ඔබ පූජා කරනවා. හැබැයි පසුදින එනකොට ඒ ආසනය වෙනත් ආරණ්‍යයකට ලබා දීලා. ඔබ ඒ ආසන පූජාව නොබැඳුනු සිතින් කළා නම් ඔබේ සිතට අර්බුදයක් ඇති වන්නේ නෑ.

අපි තවත් උදාහරණයක් ගනිමු. ඔබ පිරිසක් එකතු කරගෙන සැදැහැ සිතින් පන්සලක් හදනවා. කාලයක් යන විට ඔබ ඒ පන්සල හැදූ කරුණ ඔබට ම අමතක වී එහි දායක සභාවේ සභාපති වීමට, ලේකම් වීමට ඔබ කොච්චර සැලසුම් කළා ද? එහෙම නැත්නම් ‘මමයි ඉඩම පූජා කළේ, මමයි වාහනය පූජා කළේ, මමයි කුටිය හැදුවේ’ කියලා. අත්හැරි දෙයට ම ඔබ ආසා කළා ඔබට මතක ද?

භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා ධාර්මිකව ජීවත් වූ පමණින් ම, අන් අයට උපකාර කළ පමණින් ම, තමන් හොඳට කා බී සිටි පමණින් ම, පින් දහම් කළ පමණින් ම ඔහු සාර්ථක මිනිසෙක් වන්නේ නෑ කියා. එම සැප සම්පත්වලට මුළා වූ මනසින් සිටි කෙනාට සතර අපා දුක උරුමයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළා.

ඒ නිසා කොපමණ සැප සම්පත් තිබුණත් ඒ සැප සම්පත්වලට නොඇලී, මුළා නොවී, ඒවා තුළට බැසනොගත් සිතින්, ආදීනව දකිමින් පරිහරණය කරන්න පුළුවන් නම් ඔහු ගිහි ජීවිතය ජය ගත් කෙනෙක්.

අපි කොපමණ කැමති වුණත්, අකැමති වුණත් මේ සෑම සැප සම්පතක් ම අනිත්‍ය ධර්මයට යටත්. ඒ, සෑම සැප සම්පතක් ම පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට අයිති වන නිස යි. ඔබගේ මව්පියන්, දූ දරුවන්, ඉඩකඩම්, කනකර ආභරණ, හරකාබාන, ගේදොර සියල්ල අනිත්‍ය වී යනවා. ඒ බව බුද්ධිමතුන් හොඳින් නුවණින් විමසා බලනවා. කොපමණ සැප සම්පත් තිබුණ ද ඒ සියල්ල තාවකාලික බවත්, සියල්ල අනිත්‍ය වන බවත් ඔවුන් අවබෝධ කර ගන්නවා.

ඔබ හොඳින් සිහි තබාගන්න, කෙදිනක හෝ අපට මිය යන්නට සිදුවන බව. එදිනට අප හරිහම්බ කළ සියලු දේවල්, අප රැස්කළ සියලු භෝග සම්පත් අත්හැර දාලා තමයි පරලොව යන්න සිද්ධ වෙන්නේ. ඒ කිසිවක් අපට අරගෙන යන්න බැහැ. යම් හෙයකින් අපි අපේ ගේදොර ඉඩකඩම්වලට, දරුමල්ලන්ට ඇලී ගැලී වාසය කළා නම් අපි කොයිතරම් පින්දහම් කොට තිබුණත් එකී ක්ලේශය විසින් අපගේ සුගති ගමන වළකාලනු ඇත.

ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ කරුණු ගිහිගෙදර වාසය කරන කෙනෙකුට තිබෙනවා නම් ඔහු මේ සියලු ම මිනිසුන් අතර අග්‍රස්ථානයේ ම වැජඹෙන කෙනෙක් වන බව. ඒ තමයි,

1) ධාර්මිකව ධනය ඉපයීම.

2) එසේ ඉපැයූ ධනයෙන් තමන් සැප විඳීම, අන් අයටත් උපකාර කිරීම සහ පින් දහම් කිරීම.

3) තමාගේ භෝග සම්පත් කෙරෙහි නොඇලී, මුළා නොවී, ආදීනව දකිමින්, නිදහස් වන ප්‍රඥාවෙන් යුතුව පරිභෝග කිරීම.

ඉතින් ඔබටත් ඔබේ භෞතික දියුණුවේ හිණිපෙත්තට ම යන්නට මෙම කෙටි සටහන උපකාරී වේවා යන්න අපේ පැතුමයි.

ඇසුර – කාමභෝගී සූත්‍රය
සටහන – රවීන්ද්‍ර සේනානායක