මේ ලෝකයේ විවිධ ජාතීන්ට අයත් ව, විවිධ නම්ගොත් ඇතිව, විවිධ රටවල උපත ලබා සිටින අනේකවිධ මතවාද දරන මනුෂ්‍යයෝ රාගයට ම බැඳී, රාගයෙන්…ම සතුටු වෙමින්, රාගයෙන් නිදහස් වනු නොහැකිව අප්‍රමාණ දුකකට පත් වී සිටින්නාහ. එවන් ලොවක රාගයෙන් නිදහස් වූ උතුමෝ වනාහී තුන්ලොව අග්‍ර බවට පැමිණියෝ වෙති. තුන්ලොවෙහි ම පුද පූජාවනට සුදුසු වෙති. බඹලොව බඹුන් විසින් පවා නළල බිම තබා වන්දනා කරන්නෝ ඒ උතුම් අරහත් මුනිවර මුනිවරියන් ය. දක්ඛිණෙය්‍ය වූ, අංජලිකරණීය.වූ එවන් උතුමන් උදෙසා කරන ලද අල්පමාත්‍ර වූ පූජාව පවා අප්‍රමාණ පින් පුරවන්නේ ඒ උතුමන්ගේ නිකෙලෙස් සන්තානයන් පරම පවිත්‍ර වූ බැවිනි.

ඒ නිකෙලෙස් සිත් රාගය නොහඳුනයි. සියලු කෙලෙස් නැසූ අරහත් උතුමෙකුගේ සිතෙහි රාගය ජනිත කිරීමට සමත් කිසිදු අරමුණක් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන මේ තුන් ලොවෙහි ම නැත්තේය. රහතන් වහන්සේනමකගේ සිතෙහි කෙලෙස් ඉපදීම යනු අභව්‍ය කාරණයකි. ශාස්තෘ ගෞරවයෙහි අග පැමිණි ගෞතම බුදුරජුන්ගේ අරහත් ශ්‍රාවක දියණියක.වූ, ජීවක අඹ වනයේ වාසය කළ සුභා තෙරණියගේ ථේරී ගාථාවන්ගෙන් ඒ නිකෙලෙස්බව අතිශය මනහර ලෙසින් ගෙන හැර දැක්වේ. සත්පුරුෂ නුවණැත්තෝ ඒ නිකෙලෙස් ගුණයට පහදිත්වා. “අග්ගේ ඛෝ පන පසන්නානං – අග්ගෝ විපාකෝ හෝති” “අග්‍ර වූ දේ කෙරෙහි පහදින්නාගේ පුණ්‍ය විපාකය ද අග්‍ර වන්නේය.”

එදා සුභා තෙරණිය මනරම් වූ ජීවක අඹ වනය ඇතුළේ යමින් සිටියා. එතකොට සල්ලාල මිනිසෙක් ඇවිත් ඇගේ ගමන් මාර්ගය හරස් කරලා හිටගත්තා. සුභා තෙරණිය ඔහුට මෙහෙම කිව්වා.

“ආයුෂ්මත, මං ඔබට මොකක්ද කරපු වැරැද්ද? මං යන ගමන් මාර්ගය අවුරාගෙන ඉන්නෙ ඇයි? මහණ වෙච්ච තැනැත්තියක් පිරිමියෙකු ස්පර්ශ කිරීම කැප දෙයක් නම් නොවේ. මං ශාස්තෘ ශාසනය ගැන ඉතාම ගෞරවයෙන් ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට සිල් පද කියා දීල තියෙන්නෙ. මං ඒ සිල්පද පිරිසිදු විදිහට ආරක්ෂා කරනවා. මං ගෙවන්නෙ නිකෙලෙස් ජීවිතයක්. ඉතින් මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?

ඔබට තියෙන්නෙ කැළඹුණු සිතක්. මට තියෙන්නෙ නොකැළඹුණු සිතක්.

ඔබ කෙලෙස් සහිත කෙනෙක්. එහෙත් මං කෙලෙස් රහිත, කෙලෙස් තියෙන හැම දේකින් ම නිදහස් වුණ කෙනෙක්. ඉතින් එබඳු මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?”

(සල්ලාලයා): “නෑ. ඔයා තවමත් තරුණ යි. ළාමක නෑ. ඔය මහණ ජීවිතෙන් මොනවා කරන්ට ද? පැත්තකට දමන්න ඔය කසාවත. එන්න, මේ මල් පිපී ගිය වනාන්තරේ අපි කම් සැප විඳිමු. හැම තැනම හමා යන්නෙ මිහිරි සුවඳ තියෙන සුළඟ. මේ රුක් පඳුරු තියෙන්නෙ මල් රේණුවලින් හැදුණා වගේ. තවම මේ වසන්ත ඍතුවේ මුල් කාලෙ. හරිම සනීප දේශගුණයක්. ඉතින් එන්න, අපි මේ මල් පිපී ගිය වනාන්තරේ කම් සැප විඳිමු. අතු අග ලස්සනට මල් පිපිලා. සුළඟින් තාලෙට සෙලවි සෙලවි තියෙන්නෙ සිංදු කියනවා වගේ.

ඉතින් තනිපංගලමේ වනාන්තරයට ආපු ඔයා ආස කරන්නෙ මොනවට ද ?

මෙහෙ වන සතුන් ඉන්නවා. මද කිපුණ ඇත්තු ඉන්නවා. ඇතින්නියො ඉන්නවා. මිනිස්සු කවුරුත් නෑ. ඉතින් මේ භයානක වනාන්තරේ තනිපංගලමේ යන්න ද ඔයා කැමැති?

ඔයා ගැන උපමා කියන්ටත් බෑ. සිනිඳු කසී සළුවෙන් සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ ඉන්න දිව්‍ය අප්සරාවක් වගේ. ඇත්තෙන් ම මං ඔයාට වශී වුණා. අපි මේ වනාන්තරේ එකතු වෙලා ඉඳිමු.

ඔයාට තියෙන්නෙ ලස්සන කිඳුරියකගේ මඳලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිල ගිය වෙන කෙනෙක් මට නෑ. ඉතින් ඔයා මං කියන දේ කරනවා නම්, අපේ ගෙදර යමු. අපි සතුටින් ඉඳිමු.

හොඳට ජනේල තියෙන සුන්දර ගෙයක් ලැබෙනවා ඔයාට. ඔයාට උපස්ථාන කරන්න කාන්තාවොත් ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් සිනිඳු කසී සළු පොරවන්ට. මල් සුවඳ විලවුන්වලින් සිරුර සරසන්ට. රන් මුතු මැණික්වලින් කරපු ආභරණවලින් සැරසෙන්ට. ඒ නිවසෙ තියෙනව දූවිලි ඉවත් කරපු උඩු වියන් තියෙන, අලුත් ලොම්වලින් කරපු ඇඳ ඇතිරිලි දාලා, හරිම සනීප මෙට්ටයක් දාල සඳුන් ලීයෙන් කරවපු ඇඳක්. ඔයාට පුළුවන් ඒ ඇඳේ සනීපෙට නිදාගන්ට.

දැන් මේ මොකක්ද? දැන් ඔයාගේ ජීවිතේ රාස්සයෙක් අරක් ගත්ත, මහනෙල් මල් පිපිච්ච විලක් වගේ. ඔයාගේ ඔය බ්‍රහ්මචාරී සීලෙ නිසා ඔය ශරීරය කවුරුවත් පරිභෝග නොකර ම ජරාවට පත්වෙලා යාවි.”

(සුභා තෙරණිය): “කුණු ගොඩවල් පිරිල තියෙන මේ ශරීරය ගැන, අමු සොහොන ම පුරවන මේ ශරීරය ගැන, ඔබ ඔය විදියට සාර වශයෙන් දකින්නෙ කොහොම ද?

බිඳී යන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකිනකොට මට නම් ඇතිවෙන්නෙ කලකිරීම ම යි.”

(සල්ලාලයා): “ඔයාගෙ ඇස් දෙක මුව අඟනකගේ වගේ ලස්සනයි. කඳු අතරේ ඉන්න කිඳුරියකගේ වගේ ලස්සනයි. ඔයාගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්නකොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාව ම යි.

ඔයා රත්තරනින් කරපු රූපයක් වගෙයි. ඔය මුහුණේ තිබෙන ලස්සන ඇස් දෙක රතු මහනෙල් පෙති වගෙයි. ඔයාගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇතිවෙන්නෙ ආශාව ම යි.

දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මඳක් පිබිදුණු ඇස් ඇති ඔයා, කොයිතරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනවා. මං ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ.”

(සුභා තෙරණිය): “ආයුෂ්මත, ඔබ වැරදි පාරකයි යන්ට හදන්නෙ. ඔබ සඳමඬලයි කෙළි බඩුවක් කර ගන්ට හදන්නෙ. ඔබ මහාමේරු පර්වතේ උඩින් පැනල යන්ටයි හදන්නෙ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදුරජාණන් වහන්සේගේ දියණියක්. මං තුළ රාගයක් ඇති කරවන්ට පුළුවන් කිසිම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නෙ මොන වගේ දෙයක් ද කියලවත් මං දැන් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුළුමනින් ම නැති කරල දැම්මා. ගිනි අඟුරු වළක් සුළඟින් නිවිල යනවා වගේ, විෂ භාජනයක් වනසල දමනවා වගේ, රාගය නැති කරපු මං දැන් ඒ රාගය මොන වගේ දෙයක් ද කියලවත් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්මා. ගිනි අඟු‍රු වළක් සුළඟින් නිවිල යනවා වගේ, විෂ භාජනයක් වනසල දමනවා වගේ, රාගය නැති කරපු මං දැන් ඒ රාගය මොන වගේ දෙයක් ද කියලවත් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු..මං..රාගය..මුලින්.ම..නැති කරල දැම්මා. නුවණින් කල්පනා නොකරන. ගැහැනියක්ව නම්, ශාස්තෘන් වහන්සේව ධර්මය තුළින් නොදැකපු ගැහැනියක්ව නම්, අන්න එබඳු ගැහැනියක්ව නම් පොළොඹවා ගන්ට පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරපු මාවයි ඔබ වෙහෙසවන්නෙ.

මට නින්දා අපහාස කළත්, මට වන්දනා කළත්, ඒ සැප දුක් දෙක අබියස මං සිහියෙන් ඉන්නෙ. මේ හේතූන්ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුභ වශයෙන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඔය කිසි තැනක මගේ සිත ඇලෙන්නෙ නෑ. මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්.

මං ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්. මං රාග හුල් උදුරල දැම්මා. ආශ්‍රව නැති කරල දැම්මා. මගේ හිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියෙ විතරයි.

මං දැකල තියෙනවා දර ලී වලින් හදපු, ලස්සනට කැටයම් කරපු රූකඩ නූල්වලින් බැඳපු ඒ රූකඩ එක එක විදිහට නටනවා. ඒ නූල්, දර කැබලි ඔක්කොම.කෑලිවලට කඩල දාල තැනින් තැන විසිරුවල දැම්මට පස්සෙ, ආයෙමත් ඒ රූකඩ දකින්ට ලැබෙන්නෙ නෑ. ඒ රූකඩවල කොයි කෑල්ලට ද සිත පිහිටුව ගන්නෙ? මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි. උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නෙ නෑ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකට සිත පිහිටුවා ගන්ට ද?

කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගෙයි. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳල තියෙනවා. ඉතින් ඒක, ඇත්ත මිනිස් ස්ත්‍රියක් හැටියට පිළිගන්නෙ වැරදි විදිහට හඳුනගන්න නිස යි. ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරයෙකුගේ මායාවට හසු වුණා වගේ, සිහිනෙකින් රන් රුවක් දැක ගත්ත වගේ, ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්නපු කැඩෙන බිඳෙන රූපයක් දැක්ක වගේ හිස් දෙයකටයි අහුවෙලා ඉන්නෙ. ගහක බෙනයක තියෙන ලාටු වගේ, මේ ඇස්වල තියෙන්නෙ කඳුළු සහිත බුබුළක්. කබ කඳුළුත් එක්ක එකට මිශ්‍ර වෙලයි තියෙන්නෙ.”

ලස්සනට පෙනෙන ඒ සුභා තෙරණිය කිසිම දෙයකට ඇලුණෙ නෑ. නිකෙලෙස් සිතකින් යුක්ත වූ සුභා තෙරණිය නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්තා.

“මෙන්න ඔබේ ඇස, අරගෙන යන්න!” කියා ඒ සල්ලාලයාට දුන්නා. ඒ ක්ෂණයෙහි ම ඔහුගේ රාගය දුරුවෙලා ගියා. එතැන ම වැඳ වැටුණා. සුභා තෙරණියගෙන් සමාව ගත්තා.

(සල්ලාලයා): “බ්‍රහ්මචාරී පින්වතිය, ඔබ සුවපත් වේවා! ආයෙත් නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්ට ගියොත් ඒක දැල්වෙන ගින්න වැළඳ ගන්නවා වගේ වැඩක්. විෂඝෝර සර්පයෙක් අතින් අල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇති වෙන්නෙ නෑ. අනේ අපට සමාව දෙන්න.”

ඉතින් ඒ භික්ෂුණිය ඒ සල්ලාලයාගෙන් නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් සමීපයට පැමිණුනා. උත්තම පුණ්‍ය ලක්ෂණවලින්
යුක්ත බුදු සමිඳුන් දකින විට ම ඇගේ ඇස කලින් වගේ ම ප්‍රකෘතිමත් වෙලා සුවපත් වුණා.

සියලු දුක් මනා කොට ක්ෂය කරවන ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩම කොට රාගය මුලිනුපුටා දැමූ, පරම පාරිශුද්ධ සන්තානයන් දරා වැඩ සිටි, ඒ නිකෙලෙස් සඟ පරපුර අපගේ හිස මත වැඩ සිටීවා!!!

සාදු..! සාදු..! සාදු..!

යූ. කේ. ගුණතිලක