පින්වත් දුවේ පුතේ,

සමාජයේ බොහෝ දෙනෙක් ‘තමන්ට ලැබුණු දෙයක් ඇති’ කියල සෑහීමකට, සැනසීමකට පත්වෙනවා දකින්නට ලැබෙන්නෙ කලාතුරකින්. ඒ විදිහට තමන්ට ලැබුණ දෙයකින් සෑහීමකට පත් නොවී තව තවත් ලබන්න තියෙන ආශාව තෘෂ්ණාව කියලත් හඳුන්වනවා. අපට කවදාවත් බලාපොරොත්තු වන දේම ලැබෙන්නෙ නෑ. යමක් ලැබුණත් හිතූ හැටියට ඒවා ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ලැබෙන තරමින් සතුටු වීම ගුණයක් වගේම නුවණැතිකමක්. ලද දෙයින් සතුටු වුණොත් තමන්ටවත්, අනුන්ටවත් කරදරයක් වෙන්නේ නෑ. ලැබුණු දේ මදි වී නොයෙකුත් ලෙස වෙහෙසෙන අය බොහෝ දුකට පත්වෙනවා අපි දැකල තියෙනවා. ඒ වගේම ‘ලැබුණ දේ ඇති’ කියල සිතමින් නිකම් නිකරුණේ අලස ලෙස සිටීමත් පිරිහීමට නැතිනම් දුප්පත් වීමට හේතුවක් වෙනවා. තමන් වෙහෙස වෙලා උපයා ගත් දෙයින් සතුටට පත් වීමත් හොඳ ගුණයක්. සමහර වෙලාවට අපට මව්පියන්ගෙන් හෝ වෙනත් කාගෙන් හරි දෙයක් ලැබුණම ඒ ප්‍රමාණය මදියි කියල හිතල ඒ අය සමග අමනාප වීම, සෑහීමකට පත් නොවීම මෝඩකමක්.

ගොවියෙකුට එක්වරකදී වී මලු දහයක් තම කුඹුරෙන් ලැබිලා, ඊළඟ යලේදී වී මලු පහක් ලැබුණොත් ඒ ගැන ශෝක නොවී ලැබුණ ටික ඇතැයි කියලා ලද දෙයින් සතුටු වෙනවා නම් ඔහු නුවණැති ගොවියෙක්. හැබැයි පස්සේ ඔහු හොයල බලන්න ඔනේ එහෙම වුනේ ඇයි කියල. තමන්ගේ යම් අඩුපාඩුවක් නිසා නම් එහෙම වුනේ ඒක හදා ගැනීමත් නුවණැතිකමක්. ඉතින් දරුවනේ මේ ගුණය නුවණැතියන්ට ම උරුම දෙයක්. ඒ වගේ උත්සාහවන්තව කටයුතු කරමින් දියුණුවට මග සෙවීමත් ඒ වගේම නුවණැති අයගේ උතුම් ගුණයක්. අපගේ භාග්‍යවතුන් වහන්සේත් සන්තුට්ඨිතාවය නම් ගුණය ගැන බොහෝ දේශනාවල ප්‍රශංසාත්මකව වදාරා තිබෙනවා.

කරණීයමෙත්ත සූත්‍රයේත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ගැන සඳහන් වෙනවා. නිවන් පතන සැදැහැතියන් විසින් වැඩිය යුතු උතුම් ගුණයක් ලෙස දැක්වෙනවා. ඉතින් දුවල පුතාලට මේ ගැන තවත් පැහැදිලි කර ගන්නට මේ කථාවත් උදව් වේවි.

බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමා රජ කරන කාලයේ අපේ බෝධිසත්වයන් වහන්සේ බමුණු කුලයක ඉපදුණා. මේ බමුණාට දූවරු හතර දෙනෙක් සිටියා. මේ සුන්දර දූවරුන්ට බමුණා බොහොම ආදරය කළා. ඔවුන් හරිම සතුටින් සිටියා. කාලයක් ගතවුණා. හදිසියේ ම වාගේ බමුණා මියගියා.

දැන් බැමිණියට හරිම ප්‍රශ්නයක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. හරියට ආදායමක් නැති නිසා පවුල ම අසරණ වුණා. ඔන්න ඔය අතරෙ අර මියගිය බමුණා රන්වන් හංසයෙක් වෙලා ඉපදුණා. මේ හංසයාගෙ පිහාටු ඔක්කොම රත්තරන් පාටයි. ඔන්න එක දවසක් හංසයා බැමිණියගෙ නිවස උඩින් පියඹලා යන්න ආවා. එතකොට මේ හංසයාට පෙනුණා බැමිණියත්, දූවරුනුත් අසරණව දුප්පත්ව ඉන්න හැටි. හංසයාට බොහොම දුකක් ඇති වුණා. ඉක්මනට පහළට ඇවිත් රන්වන් පිහාටුවක් නිවසෙ මිදුලට දැම්මා.

ඒ රන්වන් පිහාටුව දැකලා බැමිණියට ලොකු සතුටක් දැනුණා. ඇය ඒ පිහාටුව විකුණුවා. ඒ සල්ලිවලින් සති ගණනක් ජීවත් වුණා. ඔන්න ඉතින් තවත් දවසක ඒ රන්වන් හංසයා ඒ නිවසෙ මිදුලට ඇවිත් තවත් රන්වන් පිහාටුවක් දැම්මා. මේ විදියට හැමදාම රන්වන් පිහාටු මේ බැමිණියට ලැබෙන නිසා ඒගොල්ලන්ට අගහිඟකමක් දැනුණේ නැහැ. ‘මෙහෙම පිහාටු එක දෙක දාල යනවට වඩා නරක ද එකපාරට ඔක්කොම ගලවගත්තා නම්. එහෙම නම් මේ ගමේ ලොකුම පොහොසතා වෙන්න පුළුවන්.’ කියලා බැමිණියට හිතුණා.

දවසක් එහෙම හිතලා බැමිණිය රන්වන් හංසයාට කෑම දමලා අල්ලගත්තා. ඊටපස්සෙ රන්වන් හංසයාගේ ඔක්කොම පිහාටු ටික එයා කෑගහද්දිම ගලවා ගත්තා. ඒත් ටික වෙලාවක් යනකොට ඒ රත්තරන් පාටට තිබිච්ච පිහාටු ඔක්කොම සුදු පාට වුණා. හංසයා නැවත කවදාවත් නොඑන්න හිතාගෙන වනයට ගියා.

පේනවා නේද දරුවනේ වැඩි තණ්හාව නිසා තිබුණ දේත් නැති වුණ හැටි? ඒක නිසා ඔයාලත් ලැබෙන දෙයින් සතුටු වෙන්න හිතට ගන්න.

තෙරුවන් සරණයි!!!

මානෙල් නැන්දා.