පින්වත් දුවේ පුතේ,

හොඳ මිනිසෙකු හැටියට සමාජයේ ජීවත් වීමට නම් තමා කුඩා අවධියේ දෙමව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගෙන් ලැබෙන අවවාද, ආදර්ශ වගේ ම ජීවිත කාලය පුරාම ලැබෙන අත්දැකීම් ද උපකාර වෙනවා. ඒ වගේ ම දැනුම වර්ධනය කර ගැනීමට පොත් පත් කියවීම, විද්වතුන්ගේ දේශනවලට ඇහුම්කන් දීම තුළින් වගේ ම විවිධ සන්නිවේදන මාධ්‍යවලින් දැනුම ලබාගැනීමෙනුත්, යහපත් ගුණධර්ම පුරුදු කර ගැනීමෙනුත් විශිෂ්ට පුද්ගලයෙක් වන්නට හැකි වේවි.

පරිසරයට ආදරය කිරීම, එය රැක ගැනීම ඔබගේ දිවිමඟ ආලෝකවත් වීමට අවශ්‍යම දෙයක්. ස්වභාව ධර්මයෙන් කෙනෙකුගේ කුසලතා වර්ධනයට බොහෝ දේවල් ලැබෙනවා. එයින් යහපත් මිනිස් සිතුවිලිවලින් පිරුණු පිවිතුරු හදවතක් හිමි වීම වළක්වන්නට බැහැ. භාග්‍යවතුන් වහන්සේත් පරිසරයෙහි වටිනාකම නොයෙකුත් තැන්වල දේශනා කොට තිබෙනවා. පරිසර හිතකාමීන් අඩු වීම නිසා සමාජය පරිහානිය කරා ගමන් කරන බව පැහැදිලි කාරණයක්. මේ පැරණි ජනකවිය කියවලා බලන්න.

උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත පව් ගෙවනවා විනා

ඒ වගේම දරුවනේ තමා කුඩා අවධියේ සිතූ ඉලක්ක කරා ගිය ජන නායකයින්, විද්වතුන් වගේම ව්‍යාපාරිකයන් ගැන ලියැවුණ චරිතාපදාන කියවීම තම තමන්ගේ ඉලක්ක කරා යන්නට පහසුවක් වෙනවා. ඒ වගේම අලස නොවී වෙලාවට වැඩ කිරීමෙන් අද පවතින තරඟකාරී ලෝකය ජය ගන්නට පහසුයි. කුඩා කාලයේ සිටම මේවාට පුරුදු පුහුණු විය යුතුයි. යහපත් මිනිසෙකු තුළ තිබිය යුතු තවත් කරුණක් තමයි සංග්‍රහශීලී බව. ඒ වුණත් අද සමාජයේ බොහෝ අයට මේ ගුණය නැහැ. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට නොසලකන දැන උගත් අය ගැන නොයෙකුත් සන්නිවේදන මාධ්‍යවලින් අසන්නට ලැබෙනවා. ඒ අයට විශිෂ්ට පුද්ගලයන් වීමට නොහැකි වන්නේ කළගුණ සැලකීම, ආගන්තුක සත්කාර නොදන්නා අය නිසයි.

ඉතින් දුවේ පුතේ, ජීවිතයේ රන් දොරටුව විවර කර ගැනීමට නම් අවංක බවත් ප්‍රධාන අංගයක්. අද සමාජය අල්ලස්, වංචා, දූෂණවලින් පිරී පවතිනවා. ඒ අය යහපත් දේ ගැන ඉගෙනගෙන තිබුණා නම් මෙසේ නොවන්නට ඉඩ තිබුණා. සමාජයේ සහජීවනය ඇති වෙන්න අවංක බවත් මූලික කාරණාවක්. මිනිසත් බව ගරු කරන නීරෝගී තෘප්තිමත් මිනිසුන් රටකට අත්‍යවශ්‍යයි. පිරිපුන් සාර්ථක මිනිසෙකු වන්නට ඉහත සඳහන් කළ කරුණු බොහෝ උපකාර වෙනවා. ඔබත් එවැන්නෙක් වී රටේ අසිරිය උදා කරන විශිෂ්ටයෙක් වන්නට අදිටන් කර ගන්න.

අද ඔයාලා ඉගෙන ගන්නෙ තිපල්ලත්ථමිග ජාතක කතාවයි

ඉතින් ගොඩක් ඈත අතීතයේ මගධ රටේ එක්තරා රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ මුව රජෙක් වෙලා ඉපදිලා මහා මුව රංචුවක් සමඟ වනාන්තරයේ වාසය කළා. ඒ මුවාගේ සහෝදර මුවදෙනට පැටියෙක් ලැබුණා. දවසක් ඒ මුවදෙන තමන්ගේ පුත්‍ර මුවා බෝසත් මුවා ළඟට කැඳවාගෙන ආවා. “අයියණ්ඩි, මේ ඉන්නෙ ඔබගේ බෑණා කෙනෙක්. මෙයාටත් මුව මායම් උගන්නලා දෙන්න.” “හොඳයි පුතේ දැන් පලයන්. අසවල් වෙලාවට ඇවිත් හොඳින් ඉගෙන ගනින්.” මාමා කීවා. ඉතින් ඒ තරුණ මුවා කියපු වෙලාව නොවරදවා ප්‍රධාන මුවා ළඟට යනවා. ගිහින් මුව මායම් ඉගෙන ගත්තා. දවසක් ඒ මුවා වනාන්තරයේ සැරිසරද්දී උගුලකට අසු වුණා. මහ හඬින් කෑ ගැසුවා. මුව රංචුව පලා ගියා. පුතා උගුලකට අසු වුණ බව දැන ගත් මව් මුවදෙන හඬාගෙන නායක මුවා ළඟට ගියා. “අයියණ්ඩි, ඔබේ බෑණාට මුව මායම් ඉගැන්නුවා නේද?” “නුඹේ පුත්‍රයා ගැන කිසිම සැකයක් ඇති කරගන්ට එපා. ඒකා හරි අගේට මගෙන් මුව මායම් ඉගෙන ගත්තා. තව ටිකකින් හිනහ වෙවී මෙතනට දුවගෙන ඒවි.”

ඉතින් ඒ මුව පැටියාත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පහුරු ගෑවා. එක පැත්තකට පා සතර ම දමා ගත්තා. දිව ඉදිරියට නෙරාගෙන මලමූත්‍ර පහ කර ගත්තා. හුස්ම ඉහළට අරගෙන බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත්, මලමූත්‍රත් වැගිරුණ නිසා නිල මැස්සන් පිරුණා. කපුටෝත් ටික ටික වට වුණා. උගුල අටවපු වැද්දා ආවා. මුවාගෙ බඩට අතින් තට්ටු කළා. “මේ මුවා වේලාසනින් අහු වෙලා වගෙයි. නරක් වෙන්නත් ඇවිල්ලා.” කියලා උගුල් ගැටේ ලෙහුවා. මෙතනම කපලා මස් කරන්න හිතාගෙන කොළ අතු ටිකක් කඩා ගන්න නැගිටලා ගියා. එතකොට ම මුව පැටියා නැගිට්ටා. සතර පයින් හිට ගත්තා. විදුලි වේගයෙන් වනයට දිව ගියා. මව් මුවදෙන ළඟට දුවගෙන ආවා.

ඉතින් දරුවනේ, මේ ජාතක කතාවෙන් නිසි විදිහට ශිල්ප ඉගෙන ගැනීමේ වටිනාකම හොඳින් පෙන්වා දෙනවා. ඕනෑම යහපත් දෙයක් හොඳින් ඉගෙන ගත් විට ඒ තුළින් ඉතා වටිනා ප්‍රයෝජන ලබන්න පුළුවනි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ බොහෝ රහතන් වහන්සේලා බිහි වුණෙත් ප්‍රතිපදාවට කීකරු ව කටයුතු කළ නිසයි. ඔබත් ඒ විදිහට මනා ලෙස හික්මෙන්න හිතට ගන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා