“බේරගනියෝ… බේරගනියෝ…”

සෝමපාලට කියන්නට ලැබුණේ එපමණකි. මැදිරි අටකින් සමන්විත සාමාන්‍ය මගී ප්‍රවාහන දුම්රිය රේල්පීලි මත වැතිර සිටි සෝමපාලගේ කලවා පෙදෙස් යට කරමින් ඉදිරියට ඇදුනේ සෙමෙනි. සෝමපාල නොනවත්වාම විලාප දෙන්නට විය.

සුළඟේ අධික වේගයෙන් ඇඹරෙන ගස්වල අතුවලින් නැගෙන ශබ්දය නොවුණි නම් සෝමපාලගේ විලාප හඬත්, කෑ ගැසීමත් ගමෙන් භාගයකටවත් ඇසෙනවා නොඅනුමානය. ඒ තරමට ඔහුගේ කෑගැසීම මහ විශාල එකකි. නිදාසිටි බිරිඳ නන්දාවතී ද සෝමපාලගේ අවිවාහක සොයුරිය වූ එතනා ද අවදි වූයේ එකවිට ම ඒ ශබ්දයෙනි.

“මල්ලි නේද?”

“ඔව්”

නන්දාවතී ඇඳෙන් බසිමින් කීවාය.

“නිදාගනිං. වෙරි මරගාතෙ ඔය බේබද්ද කෑගහනව ඇති.”

එතනාගේ කතාවට නන්දාවතී මඳක් පසුබා ගියද ස්වාමියා පිළිබඳ විපරම් කිරීම කොයිකටත් හොඳයැයි ඈ සිතුවාය.

“කෝකටත් මං බලල ම එන්නම්. අක්ක නිදාගන්න” යි කියා ඕ කොණ්ඩය ගැට ගසමින් කාමරයෙන් පිටවෙන්නට වූවාය.

“මොන නින්දක්ද ආයි. මට ඇහැරුනොත් ඇහැරුනාම තමයි. මේ කාලකන්නියගෙන් නිදාගන්න ටිකටවත් සැනසිල්ලක් නැති හැටි” යි කියමින් එතනා ද ඇඳෙන් බිමට බැස්සේ තරහෙනි.

නන්දාවතී ස්වාමියා නිදාසිටින කාමරයේ දොර රෙද්ද මෑත්කොට එබී බැලුවාය. ඈට අමුත්තක් දැනුණි. කපා දැමූ පණුවෙකු මෙන් සෝමපාල ඇඳ පුරාවට ම නලියයි.

“අක්කෙ”

“ඇයි බං මොකද?”

“අරයට මොකක්ද වෙලා.”

“ඇයි මහසෝන ගහලද?” යි කියමින් එතනා නන්දාවතීවත් තල්ලු කරගෙන කාමරයට ඇතුල් වූවාය.

සෝමපාලගේ ඇස් විශාල වී කටේ දෙකෙළවරින් සෙම හා කෙළ බේරෙන බව ගැහැනු දෙදෙනා දුටුවේ විවෘතව පවතින ජනෙල් කවුළුවෙන් ගලාඑන සඳරැසිනි. උඩුකය පමණක් සොලවමින් සෝමපාල කුමක් හෝ කියන්නට උත්සාහ කරනු පෙනේ. වචන පිට නොවෙතත් ඔහු දිගට ම යමක් කියවන බව දුටු නන්දාවතී සෝමපාලට සමීප වූයේ බියෙනි.

“මොකද බං මේ රෑ දෙගොඩ හරියෙ බෙරිහන් දෙන්නෙ. කාගෙන්ද බේරගන්න කියන්නේ?” යි කියමින් එතනා සිතේ තරහටත් එක්ක සෝමපාලගේ උරහිසට තදින් පහර කිහිපයක් ගැසුවාය. ගොළු බාසාව මිසක වචන නැත. එවර එතනා සෝමපාලගේ දෙකොපුල් තදින් මිරිකුවාය. සෝමපාලට දැනුණේ තද වේදනාවකි. එවර මෙතෙක් සිරව තිබූ ඔහුගේ වචන පිටවෙන්නට විය.

“මාව කෝච්චියට යටවුණා. බලාපල්ල කකුල් දෙකම වෙන් වෙලා ගියා.”

එතනාත්, නන්දාවතීත් දෙදෙනා ම එකවර සෝමපාලගේ දෙපා දෙස බැලූහ. ඉනේ සරමක්වත් හරියට නැති සෝමපාලගේ නිරුවත් දෙපා ඇඳ මත නිසොල්මනේ ඇත.

“හීනෙන් බයවෙලා වෙන්නැති.”

නන්දාවතී එතනාගේ කනට කොඳුළාය.

“මළ සමයං. මූ හීනවලට බය වෙන එකෙක්ද බං. බීල බීල සිහිය විකල්වෙලා ඇති.”

“ඒ වුණාට කකුල් පණ නැහැ වගේනෙ අක්කෙ.”

නන්දාවතී ආයෙම කීවාය. පෙරට වඩා වුවමනාවෙන් මෙවර එතනා සෝමපාලගේ දෙපා දෙස බැලුවාය.

හෝර්ටන් තැන්නේ සද්දන්ත කොටියකු තරමට සද්දන්ත යැයි ප්‍රචලිතව සිටි සෝමපාල රාත්‍රියේ දුටු සිහිනයක් සමඟින් ඉඟටියෙන් පහළ පණ නැති රෝගියෙකු බවට පත්වූයේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. ඊට තවත් දින දෙකකට පසුව වම් අතද පණ නැති වූ අතර කට ඇදවී ගොස් කතාකරන වචන ඉතා අපැහැදිලිද විය. බාහිරට වචන අපැහැදිලි වුවද දවස පුරා ම ඔහු දොඩවන්නට වූයෙන් කුමක් හෝ ශබ්දයක් නිවස පුරා නිරන්තරයෙන් ම නැගෙන්නට විය.

“සෝමපාලයට පටිසන් දීල…”

“මොකක්ද?”

“ගමේ උන්ගෙ සත්තු මරාගෙන කාපුව. වේසකමේ ගිය ඒව. නන්දාවතියටයි අර නාකි ගෑනිටයි දීපු දස වද” ගමේ කතන්දරකාරිය වූ එලිසෙබෙත් ආරංචිය ගම පුරා ම පැතිරෙව්වේ හොඳට ලුණු ඇඹුල්ද එකතු කරමිනි. ඉපිලී ගිය සතුටිනි.

කතාව එතනාට මැංගි ආච්චිගෙන්ද එතනාගෙන් නන්දාවතීටද අසන්නට ලැබුණි. කතාවෙන් දෙදෙනා ම කෝප නොගත්තාහ.

“කතාව ඇත්ත. අපිවත් පව් නොකියන එක ගමේ උන් පව් කියයිද බං…” එතනා කීවේ සතුටකින්වත්, කෝපයකින්වත් නොවේ. නන්දාවතීගේ සිත වේගයෙන් අතීතයට ඉගිලුණි.

එය වෙසක් පෝය දිනයකි. නන්දාවතී සිල් සමාදන් වීමට පටන් ගත් කාලයයි. ගමේ අනෙක් කාන්තාවන් සේම නන්දාවතී ද සිල් සමාදන් වීමට සිතුවේ දියණිවරුන්ව ද දීගතල දී හන්දිපත් අමාරු ආදී ලෙඩ රෝග ජීවිතයට වේගයෙන් එකතු වන කාලයේදී විය. ඇගේ වාසනාවකට මෙන් ජීවත්වෙන ඔහිය ප්‍රදේශයේ පවතින අධික දුෂ්කර බව නිසා දීග ගිය දියණිවරු ස්වාමිවරුන්ගේ නිවෙස්වල ම ස්ථිරව පදිංචි වූයෙන් ජීවිතයේ අවසාන කාලයේදී හෝ මුනුපුරු මිනිපිරියන් රැකබලාගෙන ඉගැන්වීමේ කටයුතුවලින් නිදහස් වීමට ලැබුණි. එතනා ද තනි නොතනියටත්, උදව්වටත් සිටියෙන් ද දෙදෙනා අතර කිසිදු දිනයක විරසක වීමක් සිදු නොවූයෙන් ද නන්දාවතීට විශාල පහසුවක් සැලසී තිබුණි. සෝමපාලගේ නොනවතින කරදර හා පීඩාවන් පිළිබඳ ඈ සිතුවේ පෙර කරුමයක් කියාය.

එදත් නන්දාවතී හා එතනා සිල් සමාදන් වී හවස ගෙදර එන්නට පිටත්වූයේ පවතින අධික සීතල නිසා ගමේ කවුරුත් බණ මඩුවේ නොනවතින නිසාම පමණක් නොව එක රාත්‍රියක් හෝ පන්සලේ නවතිනවාට සෝමපාල කිසිසේත්ම කැමති නොවන බවද දන්නා නිසාවෙනි. වෙනදා සිල් පවාරණය කොට පැමිණෙන කාන්තාවෝ එදා සිල් පවාරණය නොකොට ආවේ වෙසක් පෝය නිසාවෙනි.

පන්සල් වත්තෙන් එළියට පැමිණි දෙදෙනා ප්‍රධාන මාර්ගයෙන් නොගොස් අතුරු මාර්ගයකට පිවිසියේ ඉක්මනින් නිවසට යාමේ අදහසිනි. ඒ වනවිටත් අධික සුළඟ නිසා ඇතිවුණ දැඩි සීතල පරිසරය තදින් වෙලා ගනිමින්ද පැවතිණි.

අතුරු මාර්ගය දිගේ එද්දී දුම්රිය නිවාසවල එක යායට පිපී තිබෙන නොයෙක් මල් දකිද්දී නන්දාවතීගේ සිතේ උපන්නේ බලවත් සතුටකි. ‘බුදු හාමුදුරුවන්ට මල් ටිකක් පූජා කරගන්න ඕන.’ ඇගේ සිත ඈට කියන්නට විය. නන්දාවතී එතනා දෙස බැලුවේ සිතේ උපන් ආශාවෙනි.

“මල් නේද” යි එතනාද ඇසුවාය.

“ඒක තමයි මමත් බැලුවෙ.”

“ටිකක් කඩාගමු.”

මල් ටිකක් කඩාගන්න සිතුවද දෙදෙනා එකතුව අත්දඬු පිරෙන තරමට ම මල් කඩා ගත්තාහ. ගැහැනුකමට වඩා පෙරට ආවේ සිතේ සතුට හා පැහැදීම බවද කිව යුතුමය.

“යමං. අර වසවර්තිය මෙලහකටත් පුපුර පුපුර ඇති…”

එතනා පාරට ගොඩ වෙමින් කීවාය. නන්දාවතී මල් මිටිය දෝතින්ම තුරුලු කරගෙන එතනා පසුපසින් වැටුණාය.

නිවසට එද්දී හවස හයට ආසන්නව පැවතියද මීදුම සහිත අඳුර විසින් ගිලගත් පරිසරය මූසල රාත්‍රියක සෙවණැලි මතු කරමින් සිය මුග්ධ සළුව හාත්පස එලා තිබුණි.

“උඹල උදේ ඉඳල ම පන්සලේ ලැගල තව මලුත් නෙළන්න ගියාද. මිනිහව බඩගින්නෙ තියල රකින සිල්…”

ගෙට ගොඩ වන්නටත් පෙරම සෝමපාල නන්දාවතී වෙත කඩා පැන මල් මිටිය ම උදුරා ගත්තේය. ඊළඟට මල් ටික බිම දමා දෙපයින් පාගන්නට වූ සෝමපාලගේ කුණුහරුප සීතල වියළි සුළඟට මුසුව පරිසරය පුරා පැතිරෙන්නට විය. නන්දාවතී සැණෙකින් ගෙට පැනගත්තේ තමාට පහර දෙතැයි යන බිය නිසාවෙනි.

සෝමපාල එතනාට ගෙට ඇතුල් වන්නට නොහැකි ලෙස උළුවස්ස හරස්කොට සිට ගත්තේ නන්දාවතී කොතනකදැයි නොදැනමය.

“තොපි පන්සලේ ම නැවතියව්. අද මෙහෙ බැහැ.” යි ඔහු ගුගුළේ එතනාටය.

“පලයං පැත්තකට. මේක මගෙත් ගෙදර.” එතනා කීවේ කෝපයෙනි. දවස පුරාවට රැකගත් සිත ගෙදර ආ සැටියේ ම විනාශ වූයේ එලෙසිනි. සෝමපාල සෙලවුණේවත් නැත. එතනා තරහ වැඩිකමට සෝමපාලට මල් මිටියෙන් ම දමා ගැසුවාය. එයින් ඔහු තුළ උපන්නේ විශාල කාලකන්නි සතුටකි. හේ සිනාසී එතනාට ඉඩදී උළුවස්සෙන් මෑත් විය.

එතනා දොර උළුවස්ස අසල ම හිඳගෙන කල්පනා කරන්නට වූයේ කම්මුලක අතක් ද තබාගෙනය. ‘මූ නම් අපේ තාත්තගෙ එකෙක් නෙවෙයි..’ ඈට සිතුණි.

ගෙයි ඇතුළට ගිය සෝමපාල ඉක්මනින් ම කුමක් හෝ තමාට වසන් කරගෙන එළියට පැමිණි බව දුටු එතනා මඳක් විමසිලිමත්ව ඔහු දෙස බැලීය. සෝමපාල අතේ ගෙදර වඳින පුදන පිත්තල බුදු පිළිමය තිබෙනු දුටු එතනා මඳක් කලබල වූවාය.

“සෝමපාල උඹ කොහෙද ඔය පිළිමෙ අරගෙන යන්නේ?” යි ඈ ඇසුවේ සෝමපාල පිළිමයත් රැගෙන දුම්රිය ස්ථානයට වැටී ඇති කෙටි පාර දෙසට වේගයෙන් යන බව දුටු නිසාවෙනි. එතනා ඔහු පසුපස දිව යන්නට වුවද ඔහු අඩියට දෙකට වේගයෙන් පල්ලම බැස දිව ගියේ තරුණයෙකු මෙනි. එතනා මඳ දුරක් ගොස් නැවතී හති අරින්නට වූවාය.

සෝමපාල ගෙදර එනවිට රාත්‍රී නමයත් පසුවී තිබුණි. ඊට පෙර ඔහු විසින් හයේ කෝච්චියට තබා තලා දමන ලද බුදු පිළිමය ගෙදර එවා තිබුණේ පාරේ ගිය දෙමළ කොල්ලෙකු අතේය. තැලී ගිය පිළිමය දුටු එතනා සෝමපාලට ශාප කරන්නට වූවාය. නන්දාවතී කළේ සුසුම් හෙළීම පමණකි.
ගම පුරා ම ආරංචිය පැතිරුණි. සෝමපාල එයින් වඩාත් සතුටට පත්විය. තමාගේ නරුමකම ගම්මු දැන ගැනීම ඔහුට සතුටකි. එය තම කටයුතුවලට වාසියක් වශයෙන් ඔහු සැලකුවේය.

සිද්ධියෙන් ලැජ්ජාවට පත් වූයේ එතනා හා නන්දාවතීය. ඒ නිසා ඔවුන් පොසොන් පෝයට පන්සල් ගියේ නැත. එහෙත් එය විශාල පාඩුවක් ලෙසින් ඔවුනට දැනෙන්නට විය.

“පන්සල් ගිහින් බුදුන් වැඳල එමු.” එතනාගේ යෝජනාවට නන්දාවතී ද එකඟ වූයෙන් හවස දෙදෙනා පන්සල් ගියේ සෝමපාල නිවසින් පිටත්ව ගිය පසුය.

“ලැයිමට රිංගුවට පස්සෙ ඕකා අද එන්නෙ නැහැ. බය නැතුව යමං..”

එතනා කීවේ අත්දැකීමෙනි.

සිතේ විශාල සතුටක් හෝ එකලස් බවක් නොතිබුණෙන් දෙදෙනා ම ඉක්මනින් බුදුන් වැඳ ගෙදර බලා පිටත් වූහ. නිවසට ළංවෙද්දී නන්දාවතීගේ පපුව තරමක් ගැහෙන්නට වූයේ බියෙනි. කුමක් කීවද එතනාගේ සිතේ ද පැවතියේ දෙගිඩියාවකි.

“නෑනල දෙන්න පන්සල් ගියාද.. මං තක්කෙට ම හිතුවා” යි කී සෝමපාල යතුරුපැදිය පණ ගන්වාගෙන පිටත්ව ගියේ කාරා කෙළ ගසාගෙනය. එතනා ඔහුට වඩා කාරා කෙළ ගැසුවේ උපන් කෝපයෙනි.

“මං හිතුවෙ අදත් මෙතන යකා නටයි කියලා.”

නන්දාවතී සැනසුම් සුසුමක් හෙළමින් කීවාය. හෝරාව දෙක ගතවුණි. හීතල වෙනදාටත් වඩා වැඩිය. එතනාට තදින් කුසගිනි දැනෙන්නට විය.
“මං ඉක්මනට කාල නිදාගන්නවා.” යි ඕ නන්දාවතීට කීවේ ‘කමු’යි යන අදහසිනි.

“අක්ක කන්න. මං පස්සෙ කනවා.”

කුස්සියට ගිය එතනා මුට්ටිය වසා තිබූ නෑඹිලිය ඉවත් කොට මුට්ටියට එබුණාය. වඩාත් හොඳින් එබී බැලුවාය. බත් මුට්ටියේ වැලිය.
“නන්දාවතී” යි කියූ ඈ ඊළඟට වෑංජන ඇතිලි දෙක ඇර බැලුවාය. ඇතිලි පිරෙන්නට වතුරය.

“මොකද?”

“මේන්…”

එතනා කීවේ දෑතින් බත් මුට්ටිය හා වෑංජන ඇතිලියක් ඇල කර පෙන්වමිනි. ඇතිලියේ වතුර කුස්සිය පුරා ගලා ගියේය.
“මං උඹට ඒ කාලෙදි ම කිව්ව මේ තිරිසනාව දාල පල කියලා. කෝ උඹ ඇහුවද..”

නන්දාවතී කිසිත් කීවේ නැත. දෙදෙනා ම නිදාගත්තේ කුසගින්නේය. සෝමපාල එදා රාත්‍රියේ නිවසට පැමිණියේද නැත.

ඒ තවත් දවසකි. නන්දාවතී හවස බුදුන් වඳිමින් සිටියාය. සෝමපාල සිටියේ ඈට නුදුරෙනි. බුදුන් වඳින අතරේ ගෙදර බල්ලා පැමිණ නන්දාවතීගේ ඇඟේ දැවටෙන්නට වූයෙන් ඕ බල්ලාට තදින් පහරක් ගැසුවාය. සෝමපාල සිටියේ නන්දාවතීගේ කුමක් හෝ වරදක් අල්ලා ගන්නටය.
“තොගේ මහ ලොකු වැඳිල්ල. වැඳගෙන හිටිය අතින් නේද බල්ලට ගැහුවෙ?” යි කියූ සෝමපාල මැටියෙන් කර තිබූ කුඩා බුදු පිළිමය රැගෙන ගොස් වත්ත පහළ පාළු ළිඳට දැම්මේය. නන්දාවතී නිහඬතාවයේ ම ය. එතනා බැන්නාය. කුමක් කීවද කෙරුවද ඵලක් නැත. දවස් ගත වූයේ එලෙසිනි.

“මොකද උඹ ලොකු කල්පනාවක?” එතනාගේ කතාවෙන් නන්දාවතීගේ කල්පනාව බිඳුනි.

“මට මලය ගැන නම් දුකක් නැහැ. මට දුක උඹට තව වදේ වැඩිවෙච්ච එකයි. කෙල්ලො දෙන්නට ඇවිත් කරන්නත් බැහැ. කීයක් හරි දෙන එකවත් මදැයි.”

නන්දාවතී වටපිට බැලුවේ පරෙස්සමෙනි. ඈ එසේ කරන්නේ කිසියම් රහසක් කියන්නට බව දන්නා එතනාද වටපිට බැලුවාය.

“අක්කෙ අරයට ගිලින්න අමාරු නිසා මං වෙන ම බත් එකක් ලිපේ තිබ්බ බෙරි කරල ගන්න.”

“ඉතිං?”

“බත් එක ඉදිල ලේ ම ලේ පාටයි.”

එතනාගේ ඇස් උඩ ගියේය.

“හාල්වල හැටිද දන්නෑ.”

“නෑ අක්කෙ අපිටත් ඉව්වෙ ඒ හාලෙන් ම තමයි.” එතනා වහා කුස්සියට ගොස් බත් එක පරික්ෂා කොට බලා ආයෙම ආවේ ශෝකයෙනි.

“ගති නිමිති කියන්නෙ මේවට බං. එක්කො මූ මැරිල අපායෙ යයි. නැත්නම් පෙරේත ලෝකෙ. කෝකටත් අපි නූලක් දාමු.”

සෝමපාලගේ කෙඳිරිලි හඬ උස්ව නැගුනි. එතනාගේ ශෝකය සැණෙකින් කෝපයකට හැරුණි.

“අන්න කෑ ගහනව. ගිහිං ගිල්ලපං ලේ ගුලි. නෑ ඕකට ගිල්ලවන්න ඕන වැලි. උඹට මතකද…”

එතනා අතීත සිදුවීම් මතක් කරමින් බැණ වදින්නට වූවාය.

“මට නම් බෑ හාමුදුරුවන්ට කියන්න. රෙමානියට කියල නූලක් දාමු…” එතනා අන්තිමට කීවාය.

රෙමානිස් ගුරාව සොයන්නට ගැහැනු දෙදෙනා ම උදේ ගෙදරින් පිටව යන අයුරු අල්ලපු ගෙදර එළිසෙබෙත් දුටුවාය. එළිසෙබෙත් සිටියේ මෙවැනි අවස්ථාවක් ලැබෙන තුරු ඇඟිලි ගනිමිනි. අඩියට දෙකට ඕ සෝමපාලගේ නිවසට ළං වූවාය. බල්ලා බුරාගෙන ආවත් ඕ ගණනකට නොගත්තාය. බල්ලාද නිහඬ වූයෙන් එළිසෙබෙත් සෝමපාල වැතිරී සිටින කාමරයට ඇතුළු වූවාය.

“මහ ලොකු කෙරුම මොකද මේ සෙම පෙරාගෙන ජරාව නාගෙන? තෝ හිතුවද බල්ලො තොට ඔහොම දවසක් දවසක් එයි කියල?” එළිසෙබෙත් කීවේ සෝමපාලගේ මූණට නැඹුරු වෙමිනි. සෙමවලින් නැගෙන අධික පිළී ගඳ නිසා ඕ වහා මූණ ඉවතට ගත්තාය.

“තොට දැන් මතක් වෙනවද තෝ කරපු දහජරාකම්…?”

එළිසෙබෙත් එකින් එක සෝමපාලට මතක් කර දෙන්නට වූයේ තරහෙනි. පළමුව සෝමපාල එළිසෙබෙත්ව හඳුනා නොගත් බවකි. පසුව හෙතෙම පණ තිබෙන අත ඔසවන්නට තැත් කළේය.

“තෝ තාමත් හයිරංකාරකම් කරන්නද?” යි කියූ එළිසෙබෙත් සෝමපාලගේ අත අල්ලා අඹරන්නට වූයේ කඩා දමන අදහසිනි.

“මට තෝව මරන්න තරම් තරහයි. මගේ සත්තු ටික ඔක්කොම මරාගෙන තෝ කෑවා. ඊට වඩා හොඳයි තෝ මේ විදිහට විඳවන එක.” යි කියූ එළිසෙබෙත් සෝමපාලගේ අත අත්හැර කාමරයෙන් පිට වූයේ සතුටෙනි. බල්ලා නගුට වනාගෙන ඈ වෙතට ආවේය.

“මහ එකාගෙ රැස් බහිනකොට තොගෙත් රැස් බැස්ස ද?”

එළිසෙබෙත් බල්ලාට ද පහරක් ගැසුවාය.

හෝරා භාගයකින් රෙමානිස් ගුරා මැතිරිල්ල අවසන් කළේය. ගැහැනු දෙදෙනා ම ඔහුගේ මූණට එබී බැලුවේ කුමක් හෝ දැනගැනීමේ අදහසිනි.

“වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. පරම්පරාව ම වට කරගෙන ඉන්නෙ.”

“කවුද මැරුණ උන්ද…?” එතනා ඇසුවේ කලබලයෙනි.

“ඔව්.”

රෙමානිස්ගේ පිළිතුරෙන් එතනාගේ සිතටද පිවිසියේ තදබල බියකි. ‘මගේ ළඟටත් ඒවිදැ’යි ඈට සිතුණි.

“හැදෙනව නම් මේව කාටත් හොඳ පාඩම්. අතේ පයේ හයිය තියෙන කාලේ නොසන්ඩාලකම් කරල ඇඳට වැටුණ ම ඔක්කොම ඉවරයි. වැඩේ කියන්නෙ එකෙකුටවත් සිහියක් නැහැනෙ ලෙඩ වෙනව මැරෙනව කියල…”

රෙමානිස් නූල ගැටගසා ගාස්තුව නොගෙන කීවේය.

“තියාගනිල්ල. වැඩි කලක් ඉන්න එකක් නැහැ කොහොමත්.”

ගැහැනු දෙදෙනා ම ප්‍රාර්ථනා කළේ සෝමපාලගේ මරණයයි. ඒ තරමට ඔහු විඳවන්නට විය. එහෙත් මරණය සිතූ තරම් ඉක්මනින් සෝමපාල සොයා ආවේ නැත.

“ඉස්සර කාපුවයෙ හයිය ඇති…” නන්දාවතී කීවාය.

“උඹට පිස්සු. කරුමෙ විඳවන්න තියෙනවා. අප්පත් ඔය වගේ තමයි මළේ.” එතනා කීවේ සෝමපාලගේ පියා තමාගේ පියා නොවන තරමේ සැහැල්ලුවෙනි. නොසැලකිල්ලෙනි.

සෝමපාල මිය ගියේ අසනීපව මාස එකොළහකට පසුවය. කවුරුත් හිතුවේ කරදරය අවසන් බවකි. ඒ හත් දවසේ දානය තෙක් පමණක් විය. එදිනෙන් පසු හැම රාත්‍රියක ම ඔහිය පසුකර දුම්රියක් ගමන් ගන්නා සෑම අවස්ථාවක ම සෝමපාල කාමරයේ ඇඳේ සිට හීනෙන් බයවී නැගූ විලාප හඬ නන්දාවතීට ඇසෙන්නට විය.

“පෙරේත ලෝකෙ ඉපදිල දුක් විඳිනවා ඇති.”

එතනාගේ සැකය වැරදි එකක් නොවීය.

“මං පෙරේත ලෝකෙ ඉපදුණේ. හැමදාම රෑට මගේ ඇඟ උඩින් කෝච්චිය යනව. බුදු පිළිමයක් පූජා කරලවත් බලපල්ලා.”

රාත්‍රී සිහිනයකදී සෝමපාල නන්දාවතීට කීවේය. ගැහැනු දෙදෙනා එක්ව කුඩා පිළිමයක් පන්සලට පූජා කළත් සෝමපාලගේ විලාපය නැවතුණේ නැත. අදටත් ඒ විලාපය එසේ ම ය.

පසුවදන – පව්කරන තැනැත්තා මරණය ඉදිරියේ අසරණය. ඒකාන්තයෙන් ම පරලොවදී අන්ත අසරණය. තමා කළ කී දෑ තමා පසුපස එන්නේය.

චන්දන එස්. කුමාර