“ඒයි! ආං… බලාපල්ලා… අයියෝ…! අපේ දූපත අන්ධකාරයෙන් වැහිලා යනවෝ…” ඒ වන විටත් ඒ දෙස බලා සිටි බොහෝ දෙනෙක් දිගු සුසුමක් හෙළුවේ “අප්පේ… අනූනවයයි දශම නවයෙන්නෙ අපි බේරුනේ.” කියා තම තමන්ට ම කියා ගනිමිනි.

උපතින් ම තමන්ට උරුම වූ සියලු සැප සපිරි ඒ සොඳුරු දූපත කළු දුමාරයකින් වැසී යන බවට අනතුරු ඇඟවීම් ලැබුණේ මීට වසර කීපයකට පෙර ය. නමුත්, මෙතරම් ඉක්මනට ඒ අඳුරු දිනය තම සොඳුරු දිවයිනට ළඟා වේවි යැයි කියා කිසිවෙක් නොසිතූහ.

එදින, ඒ වන විටත් බොහෝ නෞකා දූපත වටා නැංගුරම්ලා තිබුණේ දූපතෙන් පැන යන්නට අවැසි අයව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑම පිණිස ය.

“උඹල මේ… මුහුද හත් ගව්වක් තියාගෙන කැසපට ගහනවා. ඔන්න ඔය මුහුදේ ගිහිං නැහෙන්නැතිව මේ පොළොවෙ පයගහල ඉඳපල්ලා.” ඔහු තලත්තෑනි පුද්ගලයෙකි.

“හහ්…. උඹල එහෙනං ගිහිං අජරාමර වෙයල්ලකෝ… මැරෙන්නත් කවුරු හරි ඉන්න එපැයි…”

හණමිටි අදහස් කරපින්නාගත්, උද්දච්ච පුද්ගලයින් බොහෝ පිරිසක් දූපතේ නතර වූයේ පිටව යන අයට නොසෑහෙන තරමේ අපහාස, උපහාස කරමිනි.

ජීවත් වීම ගැන යම් කිසි අපේක්ෂාවක් හදේ රුවාගෙන නැව් නැගි හැම දෙනාම තමන්ගේ හෙට දවස බාර කර තිබුණේ නැව් නායකවරුන් වෙතට ය. මන්ද, ඔවුන් යන්නේ කවදාවත් නොගිය ගමනක් නිසාවෙනි. මේ වන විට ඒ ඒ දිශාවන්ට මුහුණලා තිබූ සියලූ නෞකා ගමන් අරඹා තිබුණි.

කෙසේ වෙතත් නැගෙනහිර දියඹට යාත්‍රා කරමින් තිබූ නෞකාවලට සුව සේ යා ගත හැකි වූයේ අට දිනක් පමණි.

“ඕ… ආකාසේ අඳුරු වලාකුළුවලින් බර වෙනවා. සුළඟේ වේගයත් ටික ටික වැඩි වෙනවා. ඉදිරියේ මුහුදු රැලත් ටිකක් කලබලයි වගේ…” තම තීක්ෂණ දෙනෙත නොසොල්වා ඉදිරියේ ඇති දියඹ දෙසට යොමු කර සිටි නාවිකතුමා එකවරම අනතුරු ඇඟවීමේ නළාව නාද කරවී ය.

“ඉක්මනට රුවල් අකුළලා නැවේ වේගය පාලනය කරන්න.” විධානය දෙන පමාව පමණි. සියල්ල අකුරටම සිදු විය.“හණිකට ඇතුළට යමල්ලා බොලා මොකද කරන්නේ? මතක නැද්ද නැව් නගිනකොට නායකතුමා කීවා නළාව නාද කළොත් එළියේ ඉන්න එපා, අනිවාර්යයෙන් ඇතුළට යන්න කියලා.”

“අනේ… සේතුං නිකං ඉදින්. ඔය කාටහරි වැරදිල වෙන්න ඇති… අර අපූරුවට අනිත් නැව් යන්නේ මුහුදේ. මේ නැවට විතරක් මොකද්ද අමුතු අනතුරක්…?”

“ඕනෑම දෙයකට ඕනවට වඩා බය වෙන්න ඕන නෑ. අනිත් නැව්වලට මොනවහරි උනොත් අපිත් එන්නම් ඇතුළට…”

සේතුංට අන්තිමයා කියූ දේ නෑසුණේ ඒ වෙන විටත් ඔහු ඇතුළට ගොස් හිටි නිසා ය. පැන යන්නට කාලයක් නොවීය. වියරු රළ ගෙඩි මතින් එහාට මෙහාට පැද්දෙන නෞකාව තුළට ඇතැම් රළගෙඩි කඩා පැන්නේ මුහුදු රකුසන් මෙනි. අනිත් නැව්වලට තබා තමන්ට වෙන්නේ කුමක්දැයි කියාවත් පුරසාරම් දොඩවමින් සිටියවුන්ට සිතාගත නොහැකි විය.

ජීවත දහස් ගණනකගේ ප්‍රාණවායුව දෝත දරා සිටි නායකතුමා දෙනෙත් පියාගෙන යමක් මුමුණමින් සිටියේ මෙබඳු අනතුරක දී යෙදිය හැකි සෑම ආරක්ෂිත විධිවිධානයක් ම, අවවාදයක් ම තමන් විසින් සියලු දෙනාටම කල් තියාම ලබා දී තිබූ නිසා ය. දින කිහිපයක් යන විට සයුරු දිය නිසල වූයේ කිසිදු දෙයක් නොවූවා සේ ය.

ශ්වේත ධජ නෞකාව සහ එය අනුගමනය කරමින් රුවල් හැකිළූ නෞකා කිහිපයක් පමණක් යාත්‍රා කරනු පෙනුන ද බොහෝ නෞකාවල කුඹ ගස් හා ධජ පතාක සයුරු රළ අතර සැඟවෙමින් පැවතිණ. නාවිකතුමන්ගේ අණ පරිදි නැව තුළ වූ මුහුදු ජලය ඉසිමින් සිටි තරුණයන්ට ඒ වන විටත් මළ සිරුරු කිහිපයක් ම හමුවී තිබිණි.

“අපරාදේ නිකං මැරුම් කෑවා, තැම්බෙන්නැති මුං ඇට.” සේතුං කීවා නොව කියවුණි.

“තුල සිය දිවි පුරුදුව විසුවද නොමඳ
දුලගුණ සුදනන් ගෙ නොදනිතිදනෝ දඳ
විල වැඩි මැඬිහු නොදනිති පියුමෙහි සුවඳ
වල බිඟු එ මුවරඳ ගෙන මත්ව දෙති නඳ”

ඔහු නමින් සෝමදාස ය.

සැපතෙදිත්, විපතෙදිත් සුභාෂිතයේ එන කවියකින් සිත සැහැල්ලු කර ගැනීම ඔහුගේ පුරුද්දයි.

සයුර තුළ දින සති මාස ගෙවී යන්නට වූයේ එකම ආකාරයට ය. තොරතෝංචියක් නැති සද්ද බද්ද, ප්‍රිය සම්භාෂණ, නැටුම්, ගැයුම් කලකෝලාහල මැද්දේ හිතූ හිතූ දේ කරමින් හිටියවුන්ට ගොළු මුහුදේ නැවකට සීමා වී කල් ගෙවන්න වීම වෙහෙසක් විය. තමන් නැව් නැග්ගේ ස්වකැමැත්තෙන් පණ බේරා ගන්නට යන වග පවා ඇතැම් අයට ඒ වනවිට අමතක වී තිබිණ.

“අනේ මන්දා…..හිරේ වැටුන වගේ…”

“හිරේ…? හිරේ හොඳයි බං… මේ මොන දුකක් ද?” තවකෙකුගේ පිළිතුර විය.

“මට නං දැං තිත්ත වෙලා.. එගොඩකුත් නෑ… මෙගොඩකුත් නෑ..”

“මැරුණා නම් එකක් කියලත් හිතෙනවා.” තවකෙක් එයට මුක්කු ගැසීය.

“අන්න සංඛනාද කරනවා. නායකතුමාගේ පණිවිඩයක්…”

පැතිරී ගිය සංඛනාදයට අනුව සියල්ලෝම නැවේ තිබූ විශාල අංගනයට රැස් වූයේ හිතේ ඇති වූ චකිතයත්, නායකතුමා දැකීමේ ආශාවත් අතර දෝලනය වන සිතිවිල්ලත් සමඟ ය.

උපතින්ම ලද දිදුලන නෙත් සඟල තුළ තිබූ තීක්ෂණ බැල්ම නායකතුමන්ට ගෙන දුන්නේ මහත් තේජසකි. තමන් ගැන විශ්වාසය තබා නැව් නැගි පිරිස ක්ෂේම භූමිය කරා නිරුපද්‍රිතව රැගෙන යාමේ වගකීම හදවතේ දරා සිටින එතුමන්ගේ සිත තුළ සියලු දෙනා කෙරෙහි පැවතියේ අසීමිත වූ පීතෘ ස්නේහයකි.

“මම මේ කියන දේ හැමෝම හොඳට හිතට ගන්න. අපි මේ යන ගමන කාගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේක මහ මුහුද. මතක තියාගන්න, මහ මුහුදේ අස්ප රේස් යන්න බෑ. යුද්දෙට යන සෙබළුන්ටත් සමහර කාලවලට අණ ලැබෙනවා පසුබසින්න කියලා. ඒ අණ ලැබෙන වෙලාවේ පසුබැස්සොත් බේරෙනවා.

බලන්න අපිත් එක්ක ආව නැව්වලින් කීයද දැන් මුහුදේ තියෙන්නේ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ගමන ගොඩක් ඉවසීමෙන්, පරිස්සමෙන් යන්න ඕන ගමනක්. එක අම්මාගේ දරුවෝ ටිකක් වගේ සමඟියෙන් හිටියොත් ඕන අනතුරක් ජය ගන්න පුළුවන්…”

ඒ තිරසාර වදන් තුළ ගැබ්වී තිබූ කරුණාව බොහෝ දෙනාගේ හදවත් තුළට කිඳා බැස්සේ නායකතුමන් ගැන ඇති වූ අසීමිත ආදර ගෞරවයක් ද සමඟ ය.

බොහෝ දෙනා තම උදේ ආහාර වේලෙන් පසු නැව වටේ ඇති අංගනයට එකතු වන්නේ දූපතක් දකින ආශාවෙනි.

“ඒයි… බං…. ආං…. අර… අර…. ආං දූපතක්.. තව ටිකයි…. තව ටිකයි… යුරේකා… යුරේකා…”

නැව් අංගනයේ සිටි තරුණයින් පිරිසක් අත්පොළසන් දෙමින් උරුවම් බාමින්, නටන්නට වූයේ බොහෝ දෙනාගේ අවධානය තමන් දෙසට යොමු කර ගනිමිනි.

ඒ වන විටත් නෞකා කිහිපයක් ම ඒ දූපත වෙතට සේන්දු වෙමින් තිබුණි.

හැමෝගෙම අවධානය දූපත වෙතට යොමු වූවත් නායකතුමන්ගේ අවධානය ඒ වන විටත් යොමුව තිබුණේ ඈත සයුරේ අසාමාන්‍ය ලෙස කැළඹෙන මුහුදු රළ දෙසට ය.

“ඉක්මනින් නැව දකුණු පැත්තට හරවන්න. ඉක්මන් කරන්න.”

නොහිතූ ලෙසට දිය කපාගෙන හැරවෙන නෞකාව සුදෝසුදු අර්ධකවාකාර රටාවක් සයුරු දිය මත මැව්වේ දූපත දෙසට නෙත් යොමා සිටි අය තුළ දැඩි නොසන්සුන් බවක් හා කුතුහලයක් උපදවමිනි.

“අයියෝ! දූපත පෙනි පෙනී මොන මෝඩ වැඩක් ද මේ කළේ?” කොළුවෙක් කෑ ගැසීය.

“අපරාදේ… ඒක ස්වර්ණ භූමියක් ද කොහෙද? වටේ මුහුදු වතුරත් රත්තරං පාටයි.”

“නෑ බොල ඔය අර කියපු ජාතියේ ප්‍රේත අඩවියක් වෙන්න ඇති. මතක නැද්ද? නායකතුමා කීවා මුහුද මැද්දෙ යද්දි විමාන ප්‍රේත අඩවි තියෙනවා, රැවටෙන්න එපා කියල?”

“අනේ සේතුං මේ… මගේ කට අවුස්ස ගන්න එපා…! මහලොකු නායකතුමා උඹගේ…”

දැඩි ආවේගයට පත්වූ තරුණයෙක් ඉතිරි වචන ගිල දැමුවේ නැවේ ආරක්ෂිත වැට තදින් මිරිකා ගනිමිනි.

“මේ උඹල ඕන දිහාක පලයල්ලා මම නම් පීනල හරි අර දූපතට යනවා. මට ගඟේ පීනල හොඳට පුරුදුයි. කැමති එකෙක් ඉන්නව නම් වරෙල්ලා.” එක වරම නැවේ සිටි තරුණයෙක් සයුරට පැන්නේ දිය නෑමට ගඟට පනින්නාක් මෙනි.

“අපිත් යනවෝ..”

දෙවෙනි වර කොලු රෑනක් ඔහු අනුකරණය කරමින් සයුරට පැන්නාහ. ඒ වන විටත් ශ්වේත ධජ නෞකාව එම දූපත පහුකොට බොහෝ දුරට ගොස් තිබුණි.

කුමක් සිදු වේ ද කියා හිතන්නට ඉඩක් නොතබාම එක් වරම සයුරු දිය දෙබෑ වී ගියේ ය. මතු වූයේ මහා මත්ස්‍ය රාජයෙකි. විවර වූ කට තුළින් දූපතට සේන්දු වෙමින් තුබූ නෞකාවක් ඔහුගේ කුස තුළට යන්නට නිමේෂයක් ගත වූයේ නැත. දෙබෑ වූ ජල කඳට යට වූ ඉතිරි නෞකාවලට ද වූයේ කුමක්ද කියා සලකුණක් නොවී ය.

“මම අන්ධයෙක් වගේ මේ ගමන පටන් ගත්තා නෙවෙයි සේතුං. මම මෝඩයෙක් නෙවෙයි. මම ඉලක්කයක් ඇතිව මේ ගමන යන්නේ. මට මුහුද ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම කියන දේ පිළිගන්න නිහතමානී නැති අය ගැන මම මොනව කරන්න ද?” සිදුවූ විපත ගැන අසා සිටි නායකතුමන්ගේ මුවගින් එම වදන් පිට වූයේ නිරායාසයෙනි.

දිවා ආහාර වේලාවේ දී ලද විවේකයේ දී නායකතුමන්ගෙන් අසන්නට ලැබුණු වදන් පෙළ සේතුන් බෙදාහදා ගත්තේ සෝමදාස සමඟ පමණි. නිසල සයුර දෙස බලා සාවධානව සියල්ල අසා සිටි සෝමදාස නිහඬව ඇස් පියා ගත්තෙ සුභාෂිතයේ පිටු පෙරළීමට බව සේතුං හොඳින් දනී.

“මුදුවට සිනිදු වෙඬරු ද සුදනන් හදද
සරිකොට කීවත් කිවි දන නොම වෙයි එ ලෙද
පරනට තැවුල් වත උණුවෙයි සුදන හද
එලෙසට උණු නොවේ එබැවින් වෙඬරු තද”

දැන් දැන් නම් ගෙවී යන දින සති මාස ගැන මතකයේ පවතින කෙනෙක් සිටියොත් ඒ නායකතුමා පමණි. අනිත් කිසිවෙකුට ඒ ගැන කිසිම අවධානයක් නොවී ය.

“බලාපල්ලා බං අපිට කන්න බොන්න අඩුවක් ද? කාටවත් වෙනසක් නෑ. කොච්චර අනතුරුවලින් අපව ගලව ගත්ත ද?

මට නං දැන් කිසි සැකයක් නෑ, නායකතුමා අපිව ආරක්ෂිත තැනකට එක්කගෙන යනවා ම යි.”

“අපරාදේ කලින් එවුන් කලබල වෙලා විනාශ වුණේ.”

“ඒකනේ බං. අපේ අත්තල මුත්තල කිව්වේ ‘පනින්න පෙර සිතා බලනු’ කියලා, කට කහනවට යැයි…”

මාසයකට වතාවක් හැම දෙනාටම ලැබෙන උණුසුම් කිරි කෝප්පයේ රස විඳිමින් බොහෝ දෙනෙක් දොඩමළු වූහ.

මෙතෙක් මුහුණ දුන් අනතුරුවලින් යන්තම් බේරීගත් එක් නෞකාවක් පමණක් තවමත් ශ්වේත ධජ නෞකාව පසුපසින් ඉදිරියට ඇදෙමින් තිබිණි.

“සමන්… වේගෙ අඩු කරල මේ පැත්තට හරවන්න.”

බොහෝ සෙයින් නිහඬ චරිතයක් වූ නායකතුමන්ගේ කාරුණික ස්වරය අවධි වන්නේ කුමක් හෝ අනතුරක ඉව වැටීමෙන් බව හැම දෙනාම හොඳින් ම දනී. ඈත පෙනෙන හිමකඳු මුදුන් සයුරේ දිස්වන ප්‍රමාණයට වඩා සයුරු දිය යට බොහෝ දුරට පැතිරී ඇති බව නායකතුමන් හොඳින් දනී. කිසිම උවදුරක් නැතිව ශ්වේත ධජ නෞකාව හිම කඳු වැටිය මග හැර සුවසේ යාත්‍රා කරන්නට විය.

පසුපසින් ආ නෞකාව ආ වේගයෙන් ම ඉදිරියට ඇදී ගියේ හිම කඳු ගැන තිබූ අනවබෝධය නිසාවෙනි. ඔවුන් ශ්වේත ධජ නෞකාව දෙස බැලුවේ ද අවඥාවෙනි.

“පුදුම බයක්නේ. ළඟට ගිහිං හරවන්න තියෙන එක, හත්ගව්වක් ඈත තියා වටේ කැරකෙනවා..”

පසුපසින් ගිය නැවේ නාවිකතුමාට කියා ගත හැකි වූයේ එපමණකි.

මහා සද්දයක් නගමින් සයුර යට තිබුණු අයිස් කඳුවල හැපුණු නෞකාවේ ඉදිරි කොටස කැඩී වෙන්වී ගියේ නොසිතූ විරූ ලෙසට ය. හෙට දින ගැන තිබූ සියලු අපේක්ෂා සිඳී බිඳී ගිය අහිංසක මිනිසුන්ගේ අඳෝනා හඬ ද සයුරු රළ අතර ම සැඟවී ගියේ ය.

පිටුපසින් ආ නෞකාවට වූ විපත ශ්වේත ධජ නෞකාවේ නායකතුමන් දැනගත්තේ නෞකාවේ පිටුපස අංගනයේ සිටිය අයගෙනි.

පිටවන්නට ආ කුමක්දෝ වදන් පෙළක් සිරකරගෙන සුසුමක් පිට කළ නායකතුමන් ඈත දියඹ දෙස බලා සිටියේ මහත් වූ වේදනාවෙනි.

“මහ මුහුද කියන්නේ පොළොව නෙමෙයිනේ. මහපාරේ බස් යනව වගේ මුහුදෙ යන්න පුළුවන් ද?”

නිරායාසයෙන් ම නායකතුමන්ගේ මුවින් පිටවූ ඒ වදන් පෙළ අසා සිටි සියලු දෙනාගේ හදවත් තුළ නායකතුමන් ගැන ආදර ගෞරවය තියුණු කරවූයේ නෙතු අගට කඳුළු කැට නංවමිනි.

තම නායකතුමන් මහ සයුර මැද තමන් ව ක්ෂේම භූමියට රැගෙන යාමට දරා සිටින වගකීමේ බර ඔවුන්ට හිතින් හිතා ගන්නට නොහැකි තරම් විය. ඔවුහු හැමදෙනාම එදා මුළු හදවතින් ම තම නායකතුමන්ට දිවි පිදූහ.

ඒ ඇති වූ නිහැඬියාව බිඳී ගියේ සෝමදාසගේ හඬ අවදි වූ නිසා ය.

“නඳන ගුණ නුවණ යුතු උතුමෝ මහත
නොගෙන කිසි කරුණු සත සුවපත් කරත
ලෙළෙන සා මඬුලු යුතු තුරු පෙළ දිමුත
යනෙන සත සතපමින් ගිමිදුර හරිත”

ඇත්තෙන්ම ශ්වේත ධජ නැංවූ මේ නෞකාව වනාහී ක්ෂේම භූමියක් සොයා යන නෞකාවක් නොව ක්ෂේම භූමිය කරා යන නෞකාවකි.

සවිමත් නැවකට නැග ගත් – කෙනෙක් රිට ද හබල ද ගෙන
උත්සාහයෙන් හා නුවණින් – උපායෙන් ද හසුරුවමින්
එතෙරට ගෙන යත් ම ය හේ – ලොවේ සිටින බොහෝ දෙනා.

ධම්ම නාවා සූත්‍රය – සුත්ත නිපාතය)

(පසු සටහන)

දිරීමෙන් ද මරණයෙන් ද
– මැඬෙමින් සිටිනා නිරතුරු
මහා බියක් නිති පවතින
– බලවත් සැඩ පහරින් යුතු
විලකට මැදි වී සිටිනා
– අසරණ වූ ලෝ සතුනට
‘දූපත’ නම් තිබෙන්නේ ය
– කප්පය, එය කියමි ඔබට

කෙලෙසුන් කිසිවක් නැති එහි
– සියලු බැඳීමෙන් තොර මය
එයමය කියනා ‘දූපත’
– වෙන දූපත් නැත්තේ ම ය
ජරා මරණ නොමැති එතන
– ‘නිවන’ කියා පවසමි මම

(කප්ප සූත්‍රය – සුත්ත නිපාතය)

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.