උරුමයක් සේ පරපුරෙන් පරපුරට ගෙන යන දෙයට ව්‍යවහාරයේ දී ‘දායාදය’ යන වචනය යෙදේ. මීමුතු මාපිය පරම්පරාවන්ගෙන් දරුවන්ට ලැබෙන දේපළ ආදී වස්තු සම්භාරයන් පමණක් නොව පාරම්පරිකව පවත්වාගෙන එනු ලබන සිරිත්විරිත් ආදිය ද දායාද ගණයටම ගැනේ.

දායාදයන් යනු හුදු යහපත පමණක්ම සලසනා දේවල් නොවේ. ඇතැම් ම්ලේච්ඡ චාරිත්‍ර වාරිත්‍ර පවා ඒ ඒ ජන සමාජයන්ගේ දායාදයන් ලෙස සැලකෙන අයුරු අප අසා තිබේ. එවැනි නීච දෑ ද දායාදයන් ලෙස ආරක්ෂා කර ගනිමින් පැමිණෙනා මානව ශිෂ්ටාචාරයක් තුළ හුදෙක් යහපත ම සලසන, ශ්‍රේෂ්ඨත්වයට ම පමුණුවන, නිවීමට සැනසීමට ම හේතු වන යම් දායාදයක් වේ නම් එය අසිරිමත් කරුණක් නොවේ ද? සියලු ගුණයන්ගේ පිරිපුන් බවට පැමිණෙමින් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා ව ඒ අසිරිමත් දායාදයේ උරුමකරුවන් බවට පත් කොට වදාළ සේක.

සත්‍යාවබෝධය උපදවා ගත් සම්බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කරන ලද්දේ සත්‍යාවබෝධය උපදවා ගැනීමට උපකාරක වන සිරි සදහම් දේශනා කරමිනි. භාණක පරම්පරාවන් විසින් සුරක්නා ලද ඒ ධර්ම පර්යායන් සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් සංගායනා කොට ඒකරාශී කරලන ලදී. කලින් කල එළඹි ශාසන පරිහානීන් ඉක්මවාලමින් නිර්මල ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ එලෙස සිදු කළ ධර්ම සංගායනාවන් නිසා ය.

ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ප්‍රත්‍යන්ත දේශයන් කරා ධර්මදූතයන් වහන්සේලා පිටත් කර හරිනු ලැබුවේ බොහෝ ජනයාට නිර්මල ධර්ම දායාදය උරුම කර දෙමිනි. එයිනිදු, ලක්දිවට සදහම් සාම සන්දේශය රැගෙන වැඩම කරලූ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය ලෝක ඉතිහාසයේ අමරණීය සන්ධිස්ථානයක් බවට පත් විය. ඊට හේතුපාදක වූයේ මහින්දාගමනයෙන් පසු ලක්දිව ථේරවාදී බුදු දහමේ භාණ්ඩාගාරය බවට පත් වීම පමණක් නොවේ; ශාස්තෘන් වහන්සේ විසින්මත් මේ භූමිය මතු ශ්‍රී සද්ධර්මය පිහිටනා පුණ්‍යභූමිය ලෙස සීමා මායිම් දක්වා තිබීම ය. අන් කිසිදු ඉතිහාස පුවතක මෙවැනි දායාද පැවරීමක් ගැන අසන්නට, දකින්නට නැත.

සත්‍යයේ පණිවිඩය රැගෙන මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කර්ම – කර්ම ඵල විශ්වාසයෙන් යුතුව කුසල්දහම් සම්පාදනයෙහි යෙදෙනා ශිෂ්ට සම්පන්න ජන සමාජයක් බිහි කොට වදාළෝ ය. ලක්වැසියන් දේවත්වය, බ්‍රහ්මත්වය කෙරෙහි පවා අපේක්ෂා නොතබමින් නිර්වාණාවබෝධය ම ඉලක්ක කොට ගනිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නවුන් බවට පත් වුණේ එහෙයිනි. දැනුදු යථාවබෝධය උපදවා ගැනීමේ අරමුණින් දහමෙහි හැසිරෙනා සදාචාරවත් භාවයන් අප සමාජයේ විද්‍යමාන වන්නේ අනුබුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දායාදය රැගෙන වැඩම කළ නිසා ය.

කෙලෙස් නසන ස්වභාවයෙන් යුතු මේ ධර්මය එය අනුගමනය කරන්නා වූ කවරෙකුදු වුව ද ශ්‍රේෂ්ඨත්වයට පමුණුවයි. එනිසා, ලෝකානුකම්පාව ඇත්තවුන් විසින් කළ යුත්තේ ඒ ධර්මය නිර්මල ව කියා දීම ය. ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරන සත්පුරුෂ ගුණැති බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේලා නිමල දහම් පවසමින් දැනුදු ඉටු කරලන්නේ ඒ යුග මෙහෙවරයි.

දුගතියේ දොරටු වසන, සුගතියේ දොරටු විවර කරන, සියලු ආශ්‍රව ක්ෂය කොට ජරා මරණ දුක් නැති අමා මහ නිවනට පමුණුවන ප්‍රතිපදාව අපගේ ජීවිත දායාදය ලෙසින් උරුම වුණ මේ ජීවිතය පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයකි. එය ඇත්තේ “දායාද ලද්දෝ වෙමු” කියා සතුටු වන්නට නොවේ; තමා තුළට පමුණුවා ගැනීමෙන් නුවණැස විවර කර ගන්නට ය. ශාස්තෘන් වහන්සේටත්, අනුබුදුරජාණන් වහන්සේටත්, කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාටත් කළ හැකි උත්තම ගුරු පූජාව එය ම වන්නේ ය.