ජුලිස්ගේ ළමයි දෙදෙනා මවෙත දක්වනුයේ පුදුම සහගත කරුණාවකි. එවන් කරුණාවක් මා මිහිපිට සිටින කිසිම ප්‍රාණියෙකුගෙන් ලබා නැත. ඔවුන් නිවසේ රැඳී සිටින බොහෝ අවස්ථාවල ගත කරනුයේ මා අසල ය. පාසැලේ සිට පැමිණි සැණින් වහා දිව එනුයේ මා බැලීම සඳහා ය.

“බලාගෙන පුතේ, ඕකා අනියි. තිරිසනුන් විශ්වාස කරන්න බෑ…” දරුවන්ගේ අම්මා වන මැගිලින් උන්දෑ පවසනුයේ එලෙසට ය.

“ඔයගොල්ල වාගෙ තමා. මමත් ඒ දරුවන්ට ආදරෙයි.” මම ද එසැණින් පෙරලා පිළිතුරු දෙමි. නමුත් මාගේ හඬ ඔවුන්ට ඇසෙන්නේ නැත. වැටහෙන්නේ ද නැත.

මා ගැට ගසා සිටින කුඩා මඩුව වෙත දිව එන දරුවෝ මගේ ඇඟට වඩ වඩාත් තෙරපෙමින් මා අතපත ගාන්නෝ ය. මගේ අඟින් අල්ලා සොලවන්නෝ ය. හිස් මුදුන කසන්නෝ ය. එයින් මම බෙහෙවින් සුවපත් වෙමි.

“අනේ මන්දා….. කොයි වේලේ බැලුවත් මුං දෙන්නගේ වැඩේ හරක් මඩුවෙමයි. වෙන වැඩක් නැද්ද දරුවනේ උඹලට.. අද චක්කරේ පාඩම් කරන්න දුන්නේ නැද්ද?” මැගිලින්ගේ නුරුස්නා කතා විලාසයට අවනත වන දරුවන් ගෙට යනුයේ ඉන්පසුව ය.

“මගේ අම්මේ… මුං ළඟත් හරක් ගඳයි… පලයල්ලා.. පලයල්ලා.. සේරටම කලින් ගිහින් ඇඟපත හෝදගෙන වරෙල්ලා…” අනතුරුව ඇය යළිත් කෑ ගසන්නී ය.

මේ දවස්වල ජුලිස්ලාට වැඩ කටයුතු බොහෝ වැඩිය. උදේ රැයින් කරත්තයට බඳින මා එයින් නිදහස් වනුයේ හොඳටෝම හවස් වෙලා ය.

අතැම් දිනවල ජුලිස් මගේ ශක්ති ප්‍රමාණය පරයා කරත්තයට බඩු පටවයි. එවිට මා කරත්තය අදිනුයේ පමණ කළ නොහැකි වෙහෙසකිනි. මා වැඩට අලසව ඇතැයි සිතන ජුලිස් කෝපයෙන් යුතුව කෙවිටෙන් මාගේ පිටට පහර පිට පහර දෙයි. එම පහරින් සිරස රිදුම් දුන්න ද මට මගේ වේගය වැඩි කළ නොහැකි ය. මෙලෙස පමණ ඉක්මවා වෙහෙස වූ කල මට රෑට නින්ද යන්නේ නැත. උගුර කට වියැළුණ ස්වභාවයට පත් වන්නේ ය. පිපාසය දැඩි ලෙස දැනුන ද අවැසි විට වතුර ටිකක් පවා නොලැබෙයි.

දිනක් මට ජුලිස් හා මැගිලින් අතර පැවති සංවාදයක් අසන්නට ලැබිණි.

“හඳයා දැන් වයසට ගිහිං. වෙනදට වගේ බර අදින්නත් අමාරුයි. කොච්චර ගැහුවත් ඇති ඵලක් නෑ…” ජුලිස් පවසන්නේ කණස්සල්ලෙනි.

“දැන් ඉතිං වෙන හරකෙක් ගැන හිතන්න කාලෙ හරි…” මැගිලින් තවමත් නිහඬ ය. ඇය උළුවස්සට හේත්තු වී මා දෙස බලා සිටියා ය.

“වෙන හරකෙක් ගත්තොත් අපි හඳයාට මොකද කරන්නේ..? හරක් දෙන්නෙක් නඩත්තු කරන්න තරම් අපිට කෝ වත්කමක්?”

“වල්පොල පේදුරු අයියා ළඟ ඉන්නවා හොඳ නාඹර වස්සෙක්. අයියලාට සල්ලි හදිස්සියක් නෑ. මට ඌව අරන් එන්න පුළුවන්… පස්සෙන් පහු ගනුදෙනු පියවන්න බැරුවයැ…”

“ඒ වුණාට කවදාහරි ණය මුදල බේරන්න එපායැ…”

“අපි හඳයව විකුණලා අයියලාට සල්ලි දෙමු. ඉවරනේ..”

“දරු පැටව් දෙන්නා නම් හඳයාට හරිම ආදරෙයි. මට දුක උන් ගැන. උන්ට හඳයා නැතුව සාංකාව හැදෙන තරම්…”

“නෑ අලුත් හරකා ගෙනාවම ඌටත් ආදරේ වෙයි. පොඩි එවුන්ගෙ හැටි එහෙම නෙව.”

තවත් දින කීපයක් ගෙවීමෙන් අනතුරුව ජුලිස් විසින් අලුත් හරකෙක් නිවස වෙත ගෙන එන ලදී. ඒ හරකා මා මෙන් නොව හැඩිදැඩි ය. ජව සම්පන්න ය. මා දුටු මුල් ම අවස්ථාවේ ඌ මා දෙස බැලුවේ රවලා වගේ ය. මම එය නුදුටුවා සේ ඉවත බලා ගතිමි.

ජුලිස්ලා ඌ ව අමතන ලද්දේ “රත්තා” කියලා ය. මැගිලින් හා ජුලිස් මට වඩා රත්තාට බෙහෙවින් ළෙංගතුකම් පෑහ. ජුලිස් හැම වෙලාවේම රත්තාගේ නළල අත ගෑවේ ය. ඇඟ පිරිමැද්දේ ය. ඇටමැස්සන් කඩා පාගා දැම්මේ ය. මේ තාක් මගේ කරේ බැඳ තිබූ ගෙජ්ජි වැල ලෙහා රත්තාගේ කරේ බැන්දේ ය.

නමුත් දරුවන් දෙදෙනා රත්තා වෙත ගියේ නැත. දෙමව්පියන් විසින් රත්තා වෙත යෑම ඔවුනට තහනම් කරන ලදී. ඒ තවම රත්තාගේ කල්කිරියාව ගැන ජුලිස්ලාට අවබෝධයක් නැති නිසා වන්නට පුළුවන.

මා මෙන් නොව රත්තා පිදුරු කෑමට වැඩි මනාපයක් නොදක්වයි. අප පදිංචිව සිටින කුඩා ඉඩම් කැබැල්ලේ හිතන තරම් තණකොළ නැති බැවින් මම කල් තියාම පිදුරු ආහාරයට ගැනීමට පුරුදු වුණෙමි.

එක්තරා හවසක ජුලිස් වෙලට ගොස් තණකොළ ගෝනියක් කපාගෙන ආවේ ය. පිදුරු මෙන් නොව ඒවා කොළ පැහැයෙන් යුක්ත ය. මුලින්ම තණකොළ ලැබුණේ රත්තාට ය. ඒ දුටු මාගේ මුවට කෙළ ඉනුවේ ය. තොල කට ලෙවකමින් මම හාන්සි වී සිටි තැනින් නැගිට්ටෙමි. නොබෝ වේලාවකින් මාගේ කොටස ද ලැබෙනු ඇත. නමුත් ජුලිස් තණකොළ ගෝනිය ම හැලුවේ රත්තා ළඟට ය. මට ආහාරයට තණකොළ ලැබුණේ නැත.

“පව් තාත්තේ… හඳයා බලාගෙන ඉද්දි රත්තාට විතරක් තණකොළ දුන්න එක කොච්චර නරක ද.. අර ඌ මේ පැත්ත බලාගෙන ඉන්නවා ඌටත් දෙනකන්.” ලොකු ළමයා කියනවා මට ඇසුණි.

“ඌට මොකටද බං තණකොළ. ඒකා කවදත් බඩ කට පුරා පිදුරු කන හරකා. රත්තාට තවම පිදුරු හුරු මදි.” ජුලිස් වහා දරුවන්ට පිළිතුරු බැන්දේ එලෙස ය. තවත් එදෙස ආසාවෙන් බලා සිටීමේ තේරුමක් නැත. මම නැවතත් බිම හාන්සි වී වමාරා කෑවෙමි.

ළමෝ මවෙත දිවැවිත් ඇඟෑලුම්කම් පෑහ. ඒ හුරතලය මට තණකොළවලට වඩා වටින්නේ ය.

පසුදින රත්තාට තණකොළ කැපීම සඳහා ජුලිස් වෙලට යෑමට දෑකැත්ත සහ ගෝනිය අතට ගත්තේ ය. එවිට දරුවන් දෙදෙනා ද දෑකැත්තක් සහ ගෝනියක් ගෙන ජුලිස් සමග වෙලට යාමට සැරසුණි.

“උඹලා මේ කොහෙ යන්න ද?” ජුලිස් ඇසුවේ ය.

“තාත්තා රත්තාට තණකොළ කපාගෙන එද්දි අපි තණකොළ කපාගෙන එනවා හඳයාට.” වැඩිමහල් දරුවා පිළිතුරු දුන්නේ ය. ජුලිස් ඊට කිසිවක් කීවේ නැත. මඳක් එදෙස බලා සිටි මැගිලින් පමණක් කටහඬ අවදි කළා ය.

“හැබැයි දරුවනේ ප්‍රවේශමෙන්. අත කපා ගන්නවා හෙම නෙවෙයි. උඹලට තවම දෑකැත්ත හුරු නෑ.”

ඉන්පසු දරුවන් ජුලිස් පසුපස යන අයුරු මම බලා සිටියෙමි. ජුලිස් විසින් කපාගෙන එන ලද තණකොළ රත්තාට ලැබුණ අතර දරුවන් විසින් කපාගෙන එන ලද තණකොළ මට ලැබුණි. එම තණකොළ වඩාත් ප්‍රණීත ය. කිරි රසින් යුක්ත ය. එදින මම තණකොළ කන අයුරු දරුවන් බලා සිටියේ ආසාවෙනි.

ඉන්පසු දින චරියාවක් ලෙස අප දෙගොල්ලනට තණකොළ ලැබුණේ එලෙසට ය.

වැහි කාලය උදා වූයේ උන් හිටි ගමන් වාගේ ය. එක දිගට නොනවත්වා අනෝරා වැසි ඇද හැළෙන්නට විය. මා වාසය කරන ලද මඩුව රත්තාට අයිති විය. ඒ කුඩා මඩුව තුළ දෙදෙනෙකුට වාසය කිරීමට ඉඩ නැත. එබැවින් මට මඩුව හැරපියා ඉවතට යෑමට සිදු විය. රැය පුරා වැසි පායන තුරු මම පැළ පොල් ගස පාමුල සිටගෙන සිටියෙමි.

යහපත පමණක් සැමදා උරුමව පවතින්නේ නැත. නරක කාලයන්ට සතා සීපාවාට පවා මුහුණ පෑමට සිදු වෙයි.

දිනක් මා බැලීමට මිනිසුන් දෙදෙනෙකු පැමිණියෝ ය. ඔවුන් සෑහෙන වෙලාවක් මා දෙස බලා සිටියහ. ඒ මුහුණුවල කිසිදු ප්‍රසාදයක් නොවීය.

“ජුලිස් අයියගේ ගානට මූව වටින්නේ නෑ. මුගේ ඇඟේ මස් කලඳක් නෑනේ. ඇට ගොඩ විතරයි.” එක් මිනිසෙක් පැවසුවේ ය.

“හරි ඉතිං ඔහෙලාගේ ගාණ කීය ද කියනවකෝ.”

ජුලිස් ඇසුවේ හැබෑටම ඔය කියන තරම් මුගෙ ඇඟේ මස් නැතිදැයි සැකයෙන් මෙන් මදෙස බලාගෙන ය.

“වැඩිම වුණොත් දාහක් වටී. ඒකත් තමුසෙට හින්දා… මොකද දන්න දා ඉඳන් තමුසෙ අපි ළඟට අවිත් සතියකට වතාවක් දෙකක් හරක් මස් රාත්තලක් අරං යනවනේ.”

“ඒ ගානට නම් අමාරුයි හුසේන්. මං තව ටිකක් කල්පනා කරලා උදේට පණිවිඩේ දෙන්නම්.” ජුලිස් සුසුමක් හෙළා පැවසුවේ ය.

“ඇත්තම කියනවා නම් මං මේකව ගත්තෙත් එක්දාස් දෙසීයකට.”

ඔවුනොවුන් මොනවාදෝ කතාබස් කරමින් කඩුල්ල දෙසට පිය නගන අයුරු මම බලා සිටියෙමි. තව වැඩි කාලයක් මෙහෙ ඉන්නට නොලැබෙනු ඇතැයි මට සිතිණි.

පසුදින අලුයම බයිසිකලයක නැගී ජුලිස් කොහේ හෝ යනවා මම දුටුවෙමි. ඔහු නැවත නිවසට පැමිණියේ සෑහෙන වේලාවකට පසුව ය.

“හනේ ඉතිං කාලයක් දරුවෙක් වාගේ අපි ළඟ හිටිය සතා නොවැ. ඒකයි මට දුක.” මැගිලින් පැවසුවේ විස්සෝපයෙනි.

“හරක් කොහොමද මැගිලින් දරුවො වාගෙ වෙන්නේ. නිසි කාලෙදි වැඩ අරන්, කල වයස ගියාම හරකව විකුණන්න ඕනෑ. ඒකයි රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රමය. නැතුව වයසට ගිහිං මළාම වළ දාන්න ද මට කියන්නේ. කවුද ඒ අලාබෙ අපිට දෙන්නෙ?”

“නෑ ඉතිං මොන හිතකින් ඌව මේ ගෙදරින් පිටමං කරනවා බලා ඉන්න ද?”

“බලං ඉන්න බැරි නම් කුස්සිය පැත්තට යන එක නොව ඇත්තේ. යකෝ මට මුන්දැවත් නළවන්න වුණා නෙව ඒ ගමන.” ජුලිස් මැගිලින්ගේ කතාව යළිත් ඉස්මතු වීමට ඉඩ නොදෙන තරම් වේගයෙන් කෑ ගැසුවේ ය. ඉන්පසු ඇය නිහඬ වූවා ය.

කලින් දින පැමිණි අමුත්තන් දෙදෙනා නැවතත් නිවසට පැමිණියේ මේ වෙලාවේ ය.

බඩ තඩි මහත මිනිසා යළිත් වතාවක් මවෙත පැමිණ මා නිරීක්ෂණය කළේ ය.

“හොඳයි අපි ජුලිස් අයියාට හින්දා ඔන්න තව රුපියල් පනහක් වැඩි කෙරුවා.” හෙතෙම මුදල් නෝට්ටු වගයක් එළියට අදිමින් පැවසුවේ ය. එතෙක් මා දෙස බලා සිටි මැගිලින් ආපසු හැරී නිවස තුළට වැදුනා ය. කීප විටක් ගණන් කළ මුදල අමුත්තා ජුලිස්ගේ අතෙහි තැබුවේ ය.

‘මේ තරම් දෙක පහට හරකාව දෙන්න වුණා නෙව හැබෑට… ඔය කියන තරම් මුගෙ ඇඟේ මස් ඇත්තෙම නැද්දැ?’ යි සිතන්නාක් මෙන් ජුලිස් ගණන් නොකොටම මුදල ඉණෙහි රුවා ගත්තේ ය.

ඉන්පසු ඔවුහු මා වෙත පැමිණියෝ ය. අමුත්තන්ගේ පහසුව තකා ජුලිස් විසින් තව කඹයක් මගේ නාස් ලණුවට දමන ලදී. එහි එක් කොණක් නාඳුනන මිනිසෙකු අතට පත් විය. අනිත් කඹය ලිහා ජුලිස් විසින් මා මුදල් ගෙවූ තැනැත්තා වෙත පවරන ලදී.

“හ්ම්… ජහ්.. ජහ්..” කියූ හෙතෙම රෝල් කොට ගත් කඹයෙන් රිදෙන නොරිදෙන තරමින් මගේ පිටට පාරක් ගැසුවේ ය. ඉදිරියෙන් කඹය අල්ලාගෙන සිටි තැනැත්තා මඩුවේ සිටි මා එළියට ඇද්දේ ය. මම ඔවුනට අවනතව ගමන ආරම්භ කළෙමි.

තව කුමක් අරබයා මා මෙහි රැඳී සිටින්නෙම් ද?

ඔවුන් මා ගුරු පාර දිගේ දක්කාගෙන ගියෝ ය. පාසැල ඇරී තිබුණ බැවින් ළමෝ ඉදිරියට ඇදෙමින් සිටියහ. ‘ජුලිස්ලාගේ දරුවන් දෙදෙනා සිටියොත් හොඳ ද… නොසිටියොත් හොඳද?’ යැයි සිතා මට මහා ලොකු බයක් දැනෙන්නට විය. මා සිතුවා නිවැරදි ය.

දරුවන් දෙදෙනා ඒ අතර විය. දෙනෙත කඳුළින් තෙත්ව ගොස් තිබූ බැවින් අවසන් වතාවට හෝ මට ඔවුන් දෙදෙනා දැක බලා ගත නොහැකි විය.

සුමතිපාල ජෝතිපාල