දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර, කුලවත් ගෙදරක ඉපිද වැඩිවිය පැමිණි සිටු පුත්‍රයෙක් විය. එතුමා සිරිත් පරිදි මහජනයා සමඟ විහාරයට ගොස් බණ අසන විට, දිනක් ශාස්තෘන් වහන්සේ එක් භික්ෂුවක් සෙනසුන් පනවන්නවුන් අතර අග්‍ර තනතුරෙහි තබනු දැක ඒ සඳහා මහා පින්කම් කරමින් එම තනතුර ම ප්‍රාර්ථනා කළේ ය. ශාස්තෘන් වහන්සේ වෙතින් ඊට නියත විවරණ ලබා දිවි ඇති තාක් කුසල් දහම් සිදු කොට ඉන් චුත වී දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරී ය. අනතුරුව කාශ්‍යප සම්බුදුන්ගේ කාලයෙහි ඉපිද සසුන පිරිහී යමින් සිටි කාලයෙහි පැවිදි විය.

ඒ කාලේ ඔහු සමග තවත් සය දෙනෙක් එකම සිතින් පැවිදි වූහ. එම භික්ෂූන් සත්දෙනා සෙසු පැවිද්දන් විසින් බුදු සසුනට කරන අගෞරව දැක, “මෙහි වාසය කරන්නේ කුමට ද? ඒකාන්තයෙන් ම මහණ දම් කොට දුක් කෙළවර කරන්නෙමු” යි කතිකා කර ගත්හ. ඉන්පසු හිණිමඟක් බඳවාගෙන ඉතා උස් කඳු මුදුනකට නැංගාහ. තමන්ගේ චිත්ත බලයන් දන්නා වූ උන්වහන්සේලා “හිණිමඟ බිම දමත්වා. ජීවත් වීමට ආශා ඇත්තෝ බසිත්වා. පසුව පසු නොතැවී අප්‍රමාදී වන්නෝ සිටිත්වා” යනුවෙන් සියල්ලෝ ම එකම සිතක් ඇත්තෝ වූවාහු හිණිමග බිමට දැමූහ.

“ඇවැත්නි, අප්‍රමාදී වව්” යි ඔවුනොවුන්ට අවවාද දී තම තමන්ට කැමති කැමති තැන්වල හිඳ මහණ දම් පිරීමට පටන් ගත්හ. ඔවුන්ගෙන් එක් භික්ෂුවක් භාවනාව අරඹා දින පහකින් රහත් විය. “මාගේ කටයුතු නිමා විය. මම මෙතැන හිඳ කුමක් කරන්නේ ද?” සිතා ඍද්ධියෙන් උතුරුකුරු දිවයිනට වැඩ පිණ්ඩපාතය කරගෙන පැමිණ, “ඇවැත්නි මේ පිණ්ඩපාතය වළඳව්. පිඬුසිඟා යාම මා හට ම වේවා. නුඹලා මහණදම් පුරව්” යැයි උන්වහන්සේ සෙසු භික්ෂූන්ට පැවසූහ. එවිට අනෙක් භික්ෂු පිරිස, “ඇවැත්නි, අපි හිණිමග පහත දමන විට මෙසේ කතා කර ගත්තෙමු ද? යමෙක් පළමුව ධර්මය සාක්ෂාත් කර ගනී ද ඔහු ආහාර ගෙනේවා. ඔහු ගෙනා දෙය සෙසු අය අනුභව කොට මහණ දම් කරන්නෝ ය යනුවෙන් සාකච්ඡා කරන ලද්දේද?” යැයි රහතන් වහන්සේගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ “එබඳු සම්මුතියක් නොවීය” යි වදාළහ. එවිට එම භික්ෂූහු “නුඹ වහන්සේ පෙර පින් බලයෙන් හේතු සම්පත් අනුව රහත් වූහ. අපි ද කෙසේ හෝ උත්සාහ කර දුක් කෙළවර කරන්නෙමු. නුඹ වහන්සේ දැන් පිටත්ව යන්න.” යි පැවසූහ. රහතන් වහන්සේ පහසු තැනක හිඳ දන් වළඳා පිටතට වැඩියහ.

ඉතිරි භික්ෂූන් සය දෙනාගෙන් එක් භික්ෂුවක් සත්වන දිනයේ දී අනාගාමී ඵලයට පත්ව ඉන් චුත වී සුද්ධාවාස බඹලොව උපන්නේ ය. ඉතිරි තෙරවරු ඉන් චුත වූවාහු, ඒක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරා අප බුදුරදුන්ගේ කාලයෙහි ඒ ඒ කුලවල උපන්නාහ. එම පස්දෙනා දබ්බමල්ල, පුක්කුසාති, සභිය, බාහිය, කුමාර කස්සප නමින් හැඳින්වූහ. එක් අයෙක් ගාන්ධාර රටෙහි තක්ෂිලා නුවර රජ ගෙදර ද තව කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි ගෙදරක ද තව කෙනෙක් රජගහ නුවර සිටු පවුලක ද සිව්වැන්නා මජ්ඣත්තික රටෙහි පරිබ්‍රාජිකාවකගේ කුසෙහි ද පස්වැනි මේ දබ්බ තෙරණුවෝ මල්ල රටෙහි අනුපිය නම් නුවර එක මල්ල රජකුගේ බිසවකගේ කුසෙහි ද පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ මව් දරු ප්‍රසූතිය ළංව තිබිය දී කළුරිය කළා ය. නෑයෝ මළ සිරුර සොහොනට ගෙන ගොස් දරසෑයට නංවා ගිනි තැබූහ. ඇගේ උදර පටලය ගින්නෙන් ඉතා රත් වී දෙකට පැළුණි. දරුවා ඔහුගේ පුණ්‍ය බලය නිසා වාත වේගයෙන් එළියට විසි වී ගොස් කුසතණ පඳුරක් මතට වැටුණේ ය. සොහොන් ගිනිලන්නෝ එය දැක එම දරුවා සිටු මව් අතට දුන්හ. ඇය ඔහුට නම් තබන්නී, කුසතණ පඳුරේ වැටී දිවි රැකුණ බැවින් “දබ්බ” යන නම තැබුවා ය.

ඒ දබ්බ කුමරු සත් හැවිරිදි වියේ දී, අපගේ ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මල්ල රටෙහි චාරිකාවේ හැසිරෙමින් වැඩමකොට අනුපිය අඹ වනයෙහි විසූ සේක. දබ්බ කුමරු ශාස්තෘන් වහන්සේ දුටු පමණින් ම පැහැදී පැවිදි වනු කැමති ව “මම දසබලයන් වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමි” යි අත්තම්මාට කියා ඇයගේ අවසරය ලැබුවේය. ඇය කුමරා ගෙන ශාස්තෘන් වහන්සේ ළඟට ගොස් “ස්වාමීනි, මේ කුමරා පැවිදි කළ මැනව” යි කීවා ය. ශාස්තෘන් වහන්සේ එක්තරා භික්ෂුවකට “මහණ මේ දරුවා පැවිදි කරව” යි පැවරූ සේක. ඒ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගෙන දබ්බ කුමරු පැවිදි කරවමින් තචපඤ්චක කමටහන ලබා දුන්නේ ය. පෙර හේතු සම්පත් ඇති, කරන ලද ප්‍රාර්ථනා ඇති ඒ කුමරු පළමු කෙස්වැටිය කපද්දී ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. දෙවැනි කෙස්වැටිය කපන විට සකදාගාමී ඵලයේ ද තෙවැනි කෙස්වැටිය කපන විට අනාගාමී ඵලයේ ද පිහිටි ඒ කුමරුගේ සියලු කෙස් ගා දැමීමත් – රහත් බවට පත් වීමත් පෙර පසු නොවී එකවිට ම සිදු විය.

ශාස්තෘන් වහන්සේ මල්ල රටෙහි කැමැති තාක් කල් වාසය කොට නැවත රජගහ නුවරට වැඩමකොට වේළුවනාරාමයෙහි වාසය කළ සේක. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත තෙරණුවෝ හුදෙකලා වූ විටක සත් හැවිරිදි වියේදීම අරහත්වය සාක්ෂාත් කළ තමා, ශ්‍රාවකයෙකු විසින් කළ යුතු දෑ නිමවූ බව දැක සංඝයාට වතාවත් කිරීමෙහි සිය කය යොදවනු කැමති ව මෙසේ සිතූ සේක. ‘මම සංඝයාට සෙනසුන් පැනවීමෙහි ද සඟ බත් නියම කිරීමෙහි ද යෙදෙන්නේ නම් මැනවි’ යි යනුවෙනි. උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ සමීපයට ගොස් තමන්ගේ සිතුවිල්ල දැන්වූ සේක. බුදුපියාණන් වහන්සේ ඔහුට සාදුකාර දී සෙනසුන් පැනවීමෙහි ද සඟ බත් නියම කිරීමෙහි ද යෙදීමට පවරා දුන් සේක. “මේ දබ්බ ඉතා ළදරුවකු වුවත් මහත් වූ ස්ථානයක හිඳියි”. යනුවෙන් පැවසූ තථාගතයන් වහන්සේ දබ්බ තෙරණුවන් ව සත් හැවිරිදි වියෙහි දී ම උපසම්පදා කළ සේක. දබ්බ තෙරණුවෝ උපසම්පදා කළ දිනයේ සිටම රජගහ නුවර වසන සියලු භික්ෂූන්ට සේනාසන පනවන සේක. සඟබත් ද නියම කරන සේක. උන්වහන්සේ සෙනසුන් පනවන බව හැම දිසාවෙහි ම ප්‍රකට විය. දබ්බමල්ල පුත්ත තෙරණුවෝ සමාන අදහස් ඇති භික්ෂූන්ට එක තැන අසුන් පනවති. සමීපව ද දුරින් ද සෙනසුන් පනවති. යෑමට අසමත් භික්ෂූන් ඍද්ධියෙන් රැගෙන යති. මෙසේ උන්වහන්සේට භික්ෂූහු කල්හිත් නොකල්හිත් “ඇවැත්නි, අපට ජීවක අඹ වනයෙහි අසුන් පනවන්න. අපට මද්දකුච්ජි නම් වූ මිගදායෙහි අසුන් පනවන්න” ආදී වශයෙන් සෙනසුන් නියම කරවා ගෙන උන්වහන්සේගේ සෘද්ධිය දකිමින් යති. උන්වහන්සේ ද මනෝමය කායයන් මවා එක් එක් තෙරුන්ට තමා සමාන වූ භික්ෂුව බැගින් දී ඇඟිල්ලේ දැල්වෙන එළියෙන් ඔවුනට පෙරටුව ගොස් මේ “ඇඳකි, මේ පුටුවකි” ආදී වශයෙන් පවසා සෙනසුන් පනවා දී නැවත තමන් වහන්සේ වසන තැනට ම පැමිණෙති. මෙසේ පසු කාලයක දී ශාස්තෘන් වහන්සේ ආර්යයන් සමූහය මැද සිටි දබ්බමල්ලපුත්ත තෙරුන් ව සෙනසුන් පනවන භික්ෂූන් අතර අග තනතුරෙහි තැබූ සේක. “මහණෙනි, මාගේ ශ්‍රාවක පුත්‍ර වූ සෙනසුන් පනවන භික්ෂූන් අතරින් මේ දබ්බමල්ලපුත්ත තෙරණුවෝ ම අග්‍ර වෙති” යනුවෙනි.

මෙය අපදාන පාලියෙහි විස්තර වශයෙන් දැක්වේ. දබ්බ තෙරුන් වහන්සේගේ ථේරාපදානයෙහි එන විස්තර කෙටියෙන් මෙසේ දැක්වේ.

“මම මල්ල රට කුසිනාරා නුවර උපන්නෙමි. මා ගැබින් බිහිවන සමයෙහි මව් මළා ය. ඇගේ දේහය ආදාහනය කරන කල්හි ගින්නේ වේගය නිසා කුස පැළී ගියෙන් කුස තුළ සිටි මම වාත වේගයෙන් එළියට විසි වී ගොස් කුසතණ පඳුරක් මතට වැටුණු බැවින් දබ්බ යැයි ප්‍රකට වීමි. පෙර භවයේ බ්‍රහ්මචාරීව විසූ හෙයින් මම සත් හැවිරිදි වියේ දී ම රහත් වුණෙමි. මම කිරි බත් පූජා කළ පිනෙන් ආයු වර්ණ ආදී පංච බලයෙන් ආඪ්‍ය වූයෙමි. විපස්සී බුදුරදුන් කල රහතන් වහන්සේනමකට නින්දා කළ පාපයේ විපාක ලෙස මේ ආත්මභාවයේ දී බෙහෙවින් නින්දා අපහාස ලැබුවෙමි. එසේ වුවත් දැන් මම ආශ්‍රව රහිත වූවෙමි. පරම ශාන්තිය වූ නිවනට පැමිණ වසන්නෙමි. යහපත් තෙරවරු සතුටු කරවමින් සෙනසුන් පැනවීමි. ඒ ගුණයෙහි පැහැදුණ බුදුරජාණෝ මා සෙනසුන් පනවන භික්ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූ සේක. මා විසින් සියලු කෙලෙසුන් දවන ලදී. ආශ්‍රව රහිතව වාසය කරමි. බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ම යහපත් විය. ත්‍රිවිද්‍යාවට පත් වූයෙමි. සිව්පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කළෙමි. බුදුරජුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.”

මෙසේ උන්වහන්සේ වදාළ පරිදිම පෙර එක් රහතන් වහන්සේනමකට අවමන් කිරීම් වශයෙන් ඇති වූ පාප කර්මය නිසා බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයේ පැසුණාහ. ඒ පාප කර්මයේ කිලිටි බවින් චෝදනා කරන මෙත්තිය, භුම්මජක භික්ෂූහු අමූලික වූ සීල විපත්ති පාරාජිකාවෙන් දබ්බමල්ලපුත්ත තෙරණුවන්ට චෝදනා කළහ. එම චෝදනා සංඝයා විසින් සංසිඳවූ කල උන්වහන්සේ ලොවට අනුකම්පා පිණිස තමන් වහන්සේ පිළිබඳව මෙසේ වදාළ සේක.

“දමනය කිරීමට දුෂ්කර වූ යමෙක් ආර්ය මාර්ගයෙන් හෝ පුරිසදම්ම සාරථීන් වහන්සේ විසින් දමනය කරන ලද සේක් ද, දුරු කළ සැක ඇති, දිනූ කෙලෙස් ඇති, පහ වූ බිය ඇති, අචල ස්වභාවයට පැමිණි ඒ දබ්බ පැවිදි තෙම කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවියේ ය.”

සටහන – මානෙල් පොඩිමැණිකේ.