නිදියන මෙට්ටයේ රහස් කුහරයක සඟවා තිබූ කරමාලය අතට ගත් නන්දනී සැලකිය යුතු වේලාවක් ඒ දෙස බලා සිටියා ය. අනතුරුව එය ගෙලෙහි බැඳගෙන කණ්ණාඩියට එබී බැලූ ඇගේ සිත සතුටින් පිරී ගියේ ය. ළමැද පුරා පැතිරුණ විචිත්‍ර කරමාලය දකිත් ම තමාට වඩා වයසින් වැඩි වීම පිළිබඳව සිය ස්වාමියා ගැන හැමදාමත් සිතෙහි පවතින නොරිස්සුම ද ඇගේ සිතින් පහ විය. අතීතාවර්ජනයන් තුළ ඇගේ සිත නතර වූයේ මොහොතකිනි.

“ගෑනුන්ගේ පින කුණු මුල්ලෙ කියන්නේ ඕක තමයි.” මඟුල්දා අම්මා කිව්වේ නන්දනීගේ ගෙල බැඳි කරමාලය අත ගාමිනි. “පවුම් පහක්වත් ඇති මයෙ හිතේ.” ලොකු අම්මා කීවේ සතුටින් ද ඉරිසියාවෙන් ද යන්න නන්දනීට නොතේරුනි.

“බෙල්ල රිදෙන්නැද්ද බං ඕක බැඳගෙන ඉඳලා.” ලොකු අක්කා ඇහුවේ විහිළුවට මෙනි. “මාලෙට වඩා අක්කා කොච්චර ලස්සන ද? ඒ ගැන කතා කරන්නේ නෑ කවුරුත්.” වැඩිය කතා නොකරන මල්ලිත් එසේ කීවේ ය.

කෙසේ වෙතත් නන්දනීගේ අකමැත්ත පිට කෙරුන ඇගේ කසාදයේ ඈට සතුටු වීමට තිබූ එකම කාරණය වූයේ මංගල පෝරුවේ දී ස්වාමියා බැඳි කරමාලය පමණි.

සිතුවිලිවලින් මිදුන නන්දනී මාලය ගලවා පෙට්ටියේ දමා තම කරබෑගය ගෙන එහි පතුලේ ම හොඳ පරිස්සමට තැබුවා ය. වැඩි පරිස්සමට යැයි සිතා කුඩා තුවායක් ද ගෙන බෑගයට එබුවා ය. හැඳුනුම්පතත් මුදල් පසුම්බියේ දමා ගත් ඕ කාමරයේ දොර වසා අගුළු දැම්මා ය. අනතුරුව නිවසේ දොර ජනෙල් හොඳින් වසා ඇද්දැයි පරීක්ෂා කර බලා නිවසේ දොරත් වසා අසල්වැසි නිවසට එබී බලා, “නැන්දේ මං ගාලු යනවා.” යි කීවා ය.

“ගාලු යන්න හදිසියේම?” සෝමාවතී නැන්දා ඇසුවේ පුරුද්දට මෙනි.

“මාලෙ උගස් කරන්න කියලා නැන්දේ.. ටයිල් බාස් හෙට එනවා ගෙයි ටයිල් අල්ලන්න.”

“ඇයි මහත්තය සල්ලි එවුවෙ නැතැයි?”

“සල්ලි නැති නිසා නෙවෙයි නැන්දෙ. කෙල්ලට ශිෂ්‍යත්වෙ නිසා මට එයත් එක්ක පන්ති යන්න වෙනවනේ. මාලෙ තියෙද්දි පිට මිනිහෙකුට ගේ අතෑරලා යන්න හිතට බයයි.” නන්දනී කීවේ වටපිට ද බලමිනි.

”ඒකත් ඇත්ත තමයි. අද කාලේ කාවවත් විශ්වාස කරන්න බෑ.” සෝමාවතී නැන්දා අවසානයට කීවා ය.

කොට්ටපොල් ඇහිරුවාක් මෙන් බස් රථය සෙනඟින් පිරී තිබුණි. ගමනේ දුර සැතපුම් පහක් පමණ වන නිසා නන්දනී බස් රථයට ගොඩ වුණත් පාපුවරුවෙන් ඇතුළට යන්නට ඇයට ඉඩක් නොලැබුණි. ගාල්ලෙන් බසිද්දී මුළු ඇඟ ම රිදුනත් නන්දනී බැස්ස ගමන් සිතුවේ කරමාලය ගැන ය. ඈ බෑගය තදින් මිරිකා බැලුවා ය. බෑගය මිරිකී යටින් සිදුව තිබූ විශාල කැපුමෙන් තුවායෙන් කොටසක් එළියට පැමිණුනි. නන්දනීගේ පපුවට මහා ගින්නක් දැනුණි. මොහොතකට පමණක් ගොළුව ගිය ඇගේ විලාපය ගාල්ල බස් නැවතුම සිසාරා බොල් සුළඟේ ගසාගෙන යන්නට විය.

“අයියෝ මගේ මාලෙ දීපල්ලා…” ඈ කීවේ කාටදැයි නන්දනීටවත් තේරුමක් නැත. තමා සතුව තිබූ වටිනා ම වස්තුව අහිමි කර ගත් නන්දනී නොමැරී නිවසට පැමිණියේ දියණිය නිසාවෙන් මිස ජීවත් වීමේ ඵලක් ඇතැයි සිතා නොවේ.

“ඕක ගත්ත එකාට නම් හෙණ ගහන්න ඕන.” සෝමාවතී නැන්දා කීවේ කේන්තියෙනි.

“මොනව කළත් වැඩක් නැති වෙයි නැන්දේ. කුඩුකාරයෙක් තමයි ඕක ගන්න ඇත්තේ. මෙලහටත් විකුණලා කුඩු බිබී ඇති.”

“ඒ උනාට?”

“ඒක පස්සේ ගිහිල්ලා වෙන්නේ අතේ තියෙන කීය හරි වියදම් වෙන එක විතරයි. සමන්ත කන්න එවන සල්ලිවලින් පිරිමහගෙන මාලයක් හදාගන්නවා.” නන්දනී කීවේ දැඩි තීරණයකට පැමිණීමෙනි. සෝමාවතී නැන්දා ඊට වඩා කිසිවක් නොකීවා ය..

“නන්දනී අක්කා තවත් වියදම අඩු කළොත් ඉතින් බඩගින්නෙ මැරිල යයි.” නන්දනී ගිය පසුව සෝමාවතී නැන්දාගේ ලොකු දුව කීවේ අවඥාවෙනි.

“ගෑනු උනාම ලෝභ වෙන්නෝන. එහෙම තමයි පවුලක් දියුණු වෙන්නේ.” සෝමාවතී දියණියට සැර කරමින් කීවා ය. නන්දනී පිළිබඳ ඈ තුළ ඉපද තිබුණේ බලවත් සංවේගයකි.

දින තුනක් ම නන්දනීගේ කුසට හරි කෑමක් නොවිණි. පපුවේ ඇවිළෙන ගින්දරක් වැනි තැවීමකින් බත්ගුලි පපුවේ හිරවෙන්නට විය.

විදේශගතව සිටින සැමියා අලුත් මාලයක් ගැනීමට මුදල් එවන බව පැවසුව ද නන්දනී ඊට අකැමැති වූයේ වරද තමා අත නිසා තමා විසින් ම කෙසේ හෝ මාලයක් හදා ගන්නා බව පවසමිනි. අවසන මාලය සඳහා වියදමින් බාගයක් ගැනීමට පමණක් ඕ කැමති වූවා ය.

නන්දනී මංගල දින ගත් ඡායාරූප එකතුව ගෙන මංගල මාලය හොඳින් පෙනෙන ඡායාරූපයක් ගලවා ගත්තා ය. මාලයේ ඡායාරූපය දකිත් ම නිවෙමින් තිබූ ගින්දර ආයෙ ම ඇවිළී එන්නට වුව ද කෙසේ හෝ මාස හයක් ඇතුළත තමා මාලය සාදා ගන්නා බව සිතා ඕ සිත හදා ගත්තා ය. “බාස් උන්නැහේ ටයිල් ටික ඇල්ලුවම ඇති. ග්‍රවුට් ගාන එක මං කර ගන්නම්. ඔක්කොම කරන්න හිටියේ මාලෙ උකස් කරලා. දැන් ඉතින් හිතන් හිටිය විදිහට මොකුත් කර ගන්න බෑ.”

ටයිල් බාස් ඊට කැමැති වූයේ නන්දනීගේ වචනය විශ්වාස කරමිනි. ඔහු පොරොන්දු වූ මුදලටත් වඩා අඩු ගණනකි තම කුලිය වශයෙන් ගත්තේ.

ටයිල් බාස් වෙතින් ග්‍රවුට් ගාන ආකාරය ඉගෙනගත් නන්දනීට ග්‍රවුට් ගෑම සඳහා සතියක් පමණ ගත විය. සතිය අවසාන වෙත්දී ඇගේ සියුමැලි ඇඟිලි තැනින් තැන හම ගැලවී ගියේ විය. අත්ල තරමක් ගොරහැඩි ද විය. අන්තිම දවසේ පැමිණි ටයිල් බාස්, “පින් සිද්ධ වෙයි, කවුරු හරි ටයිල් ඇල්ලුවේ කවුද කියලා ඇහුවොත් මම ග්‍රවුට් ගෑවේ නෑ කියලා විතරක් කියන්න.” යි නන්දනීට බැගෑපත් වූයේ ය.

“ඇයි බාස් උන්නැහෙ?”

“මට කිසි කෙනෙක් වැඩක් බාර දෙන එකක් නැහැ. නෝනා වැඩේ කාගෙන.” නන්දනීගේ සිතෙහි කිසිදු වෙනසක් ඇති නොවිණි. ඈ මාලය සෑදීමට එයින් ඉතිරි කර ගත් මුදල රුපියල් දහ අටදහසකි.

නන්දනී ඊළඟට කළේ මෑ කරල්, බණ්ඩක්කා, දඹල ආදී එළවළු බීජ ගෙනවිත් ගේ වටේට ඉන්දවීමයි. පළා කොළ ආදිය පහළ දෙනිය දෙසින් පහසුවෙන්ම සොයාගත හැක. පොදු නාන ළිඳ ළඟ කොහිල වළේ හැම දලුවක් ම ඉනික්බිති නන්දනීගේ නෙත ගැටුණේ විය.

කරමාලය නැති වූ මුල් සතියේ සිට ම ගෙදරට බඩු ගේන ලැයිස්තුවෙන් මස් මාළු හා බිත්තර ඉවත්ව තිබුණි. සතියට ම ගෙනාවේ හාල්මැස්සන් පන්සීයක් පමණි. කිරිපිටි ගෙනාවෙ දියණිය පිණිස පමණි. එය ද උදේට පමණක් සීමා ව පැවැතිණි.

“හොඳට කුණු අතුල්ලලා නාපන්. සබන් කෑල්ල වැඩිය දිය නොකර.” දිය නාන වෙලාවට හැමදාම නන්දනී දියණියට බැණ වැදුණා ය. දියණිය නෑමෙන් පසු සබන් කෑල්ල පරීක්ෂා කිරීමට ද ඕ කිසි දිනෙක අමතක නොකළා ය.

“බලපන් සබන් කෑල්ල හොඳටම ගෙවිලා. උඹත් අපිව නැති කරන්න ම උපන් එකියක්.” සමහරදාට නන්දනී දියණියට එසේත් බැණ වැදුණා ය.

නන්දනී වේගයෙන් නෑදෑයන්ගෙන් ඈත් වූයේ ඔවුන්ගේ මඟුල් ගෙවල්, දාන ගෙවල් ආදිය මඟහැර සිටීම සඳහා ය. නොගිහින් බැරි ම දේකට ගියත් ඈ දුන්නේ සොච්චම් මුදලකි. “පුළුවන්කමකට නෙවෙයි, නෑවිත් බැරිකමටයි මේ ආවෙ.” එබඳු තැන්වල දී ඈ නොපැකිළව කීවා ය.

බලාසිටියදීම නන්දනීගේ ශරීරය වැහැරී යන්නට විය. තිස්පස් වෙනි වියේ සිටි ඈ වෙතින් දැන් දැන් පෙනෙන්නේ පනස්පස් හැවිරිදි කාන්තාවකගේ පෙනුමකි. මෙයට මාස පහකට පමණ පෙර, එනම් කරමාලය නැති වූ දිනවල යුවතියන් සමඟ කරට කර සිටින පෙනුමක් තිබූ ඇගේ මේ වෙනස බාහිර පුද්ගලයන්ට මිස ඇයට නොදැනුණි. ඈට නොපෙනුණි. ඒ තරමටම කරමාලය නැවත හදා ගැනීමේ අපේක්ෂාව ඈ තුළ දැඩිව දැල්වෙමින් පැවතුණි.

සිංහල අලුත් අවුරුද්දට කඩෙන් ඇඳුම් මිලදී නොගත් නන්දනී ගෙදර තිබුණ රෙදි කෑලි පිරිමහගෙන තමාටත්, දියණියටත් ගවුම් දෙකක් මැසුවා ය. දියණියගේ ගවුමේ රැලි දෙක තුනක් හෝ තිබුණ ද නන්දනීගේ ගවුම තනිකරම කොට්ට උරයක ස්වභාවයක් ගත්තේ ය.

“නැන්දේ අල්මාරියේ තිබුණ රෙදි කෑල්ලකින් මැහුවේ. එච්චර කොටක් නැහැ නේද?” ගවුම ඇඳ සෝමාවතී නැන්දාට පෙන්වමින් නන්දනී ඇසුවා ය. “කොට වැඩියි දුවේ, ඉඳ ගන්නෙවත් කොහොමද?” සෝමාවතී නැන්දා ඇත්තම කීවා ය. නන්දනී කළේ පරණ ගවුමකින් ගලවාගත් අඟල් හතරක් පමණ උස රේන්දයක් ගවුමේ වාටියට අල්ලා ගවුම දිගු කර ගැනීම ය. “නැන්දෙ දැන් කොහොමද?”

“අපිට මොන හැඩවැඩ ද දුවේ? ඔන්න කෙල්ලට හොඳ ගවුමක් අරන් දීපන්. පොඩි එවුන්ටනේ අවුරුදු.” සෝමාවතී නැන්දා වෙනෙකක් කීවේ නන්දනීගේ ගවුම අනුමත කරන්නට ද නොකරන්නට ද නොහැකි නිසා ම ය.

“නැන්දේ මේ පාර ඉතින් අපේ ගෙදර කැවුම් මොකුත් හදන්නෙත් නෑ. වේළපු දෙල් කූරු ටිකක් තියෙනවා. ඒක කෙල්ලට බැදලා දෙනවා.”

සෝමාවතී නැන්දා කිසිවක් නොකීවා ය.

“අපි නම් මේ පාර කිසි නෑ ගෙදරක යන්නෙත් නෑ. අපේ ගෙදර කවුරුත් එන්න ඕනෙත් නෑ.” නන්දනී නැවතත් සෘජුවම කීවා ය. සෝමාවතී නැන්දා එවර ද කිසිත් නොකියා සෙමෙන් ගෙතුළට ගියා ය.

නන්දනී සිතූ ලෙසම කර මාලය නැති වී මාස හයක් ගත වෙද්දී ඒ මෝස්තරයේ ම අලුත් කරමාලයක් සාදවාගෙන ගෙදර ගෙනාවා ය. කාමරයේ දොර වැසූ නන්දනී හැඳ සිටි හැට්ටය ද ගලවා ඇඳ උඩට විසිකොට ඉක්මනින් අලුත් කරමාලය තම ගෙලෙහි බැඳ කණ්ණාඩියට එබී බැලුවා ය. මාලයෙහි කිසිදු වෙනසක් නැත. මෝස්තරයෙන් පමණක් නොව බරින් ද මාල දෙක ම සමාන ය. එහෙත් අලුත් මාලය පැලඳි ළැමෙහි ඇටකටු ඉපිලී මතුව ඇති වැහැරුණ බව මෙවෙලෙහිත් නන්දනීට නොපෙනුණි.

සුලෝචන ගම්ලත්.