අපට තිබෙන්නේ සුමට ව, මෘදු ව ගලා යන ජීවිත නොවේ. අපේ ජීවිත කාලය ගෙවී යන්නේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ය. ඒ වනාහී උපන්නා වූ සියලු සත්වයන්ගේ පොදු ඉරණම යි. ඇලීම්, ගැටීම්, මුළා වීම් අතරක් නොමැතිව දායාද කර ගත් මේ සසර ගමන තරම් දුෂ්කර වූ අන් ගමනක් වේ ද…

කොතරම් සිතා බැලුව ද මේ ගමන පරෙස්සම් වෙමින් යා හැක්කක් ද නො වේ. ඒ සා ඛේදනීය වූ සසර ගමන ඉක්මවාලන අවබෝධයක් මිනිස් සිතක උපන්නා ය යන්න අතිශයින් ම අසිරිමත් ධර්මතාවයක් වන්නේ ද එනිසා ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූයේ අසාමාන්‍ය පුරුෂ වීර්යයකින් යුතු ව, දුක් පිරි සසර කතරින් එතෙර වන්නට මහත් සේ උත්සාහවත් වීම තුළිනි. මේ ඇසළ මාසය, අවසන ලොව පහළ වූ ඒ මහා පුරුෂ වීරයාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා වෙත පතළ මෙත් සිතින් ඒ සදහම් සන්දේශය පතුරුවා හළ සුපින්බර මාසය යි…!

එදා ඉසිපතනයේ මිගදායෙන් දම් සිහනද විහිද පැතිර යද්දී දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය උදාර වූ ආලෝකයක් දසදහසක් ලෝකධාතූන් පුරා නැගුණේ අවිදු අඳුර දුරලන ප්‍රඥාලෝකය ලොව පහළ වුණු බව කියාපාමිනි. මේ බුද්ධ රාජ්‍යයේ යම්තාක් දෙවිමිනිසුන්ගේ මහා දුක් ගිනි වියැළී ගියේ ද ඒ ශ්‍රී සද්ධර්මයේ තේජසිනි. මතුදු ලෝසතගේ දුක් වියැළී යන්නේ ඒ අමා දම් ඔසුවෙනි.

ජීවිතය කොතරම් දුෂ්කර දැයි සිතෙනා අවස්ථා අප කරා එමට එළඹෙනු ඇත. සමාජ ආර්ථික දේශපාලනික අර්බුද, ඤාති ව්‍යසන, භෝග ව්‍යසන ආදී කිසිදු විපතකට පත් නොවී සර්වාකාරයෙන් ම සුඛිත මුදිත වූ ජීවිත ලෝකයේ ලැබිය නොහැකි ය. එනිසාවෙන් ම, අර්බුද අප කරා එළඹීම යනු කිසිසේත් ම පුදුම විය යුතු කරුණක් ද නොවේ. සැබැවින් ම පුදුම විය යුත්තේ ඒ පීඩා අර්බුද හමුවේ පොදු මිනිසා ඒවාට ප්‍රතිචාර දක්වන ස්වභාවයන්ගෙන් ඉඳුරා ම වෙනස් වූ චරණ ධර්මයන්ගෙන් යුතු මිනිසුන් මිහිමත බිහි කළ උත්තම අවබෝධය ගැන ය.

අප මැනැවින් දන්නා සාමාන්‍ය, පොදු මනුෂ්‍ය ස්වභාවය නම් ඇසින් දක්නා රූපයන් හමුවේ ඇලීම, ගැටීම හෝ මුළා වීම ය. ශබ්ද, ගන්ධ, රස, පහස යන දේවල් සම්බන්ධයෙන් ද එකරුණ එසේ ම ය. සංකල්පීය වශයෙන් උපදනා රාග, ද්වේෂ, මෝහ සහිත වීමෙන් නිතර ඇවිළී ගත්, ඇවිස්සී ගිය, නොසන්සිඳුනු ජීවිතයක් අපමණ පීඩා සහිත ව ගෙවා දැමීම සාමාන්‍යකරණය වූ ලෝකයක අද වන් ඇසළ පුන්පොහෝ දිනයක අසන්නට ලැබුණු අමා දම් සන්දෙසෙන් නිවී ගිය, සන්සිඳී ගිය, පීඩාවලින් විනිර්මුක්ත ජීවිත බිහි කරලීම තරම් මානව වංශකථාවේ ආශ්චර්යවත් අන් කවර පරිවර්තනයක් සිදු වී ද…!

“කෙලෙස් නසන වීතරාගි – අමා නිවන යුතු
යම් දහමක් දෙසුවේ නම් – මුනිඳු සමාහිත
ඒ දහමට සම කළ හැකි – කිසිවක් ලොව නැත
එය සදහම් තුළ පවතින – උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!”

ඒ දහම් මඟ වැඩූ, එහි පරතෙරට පත් මුනිවරුනගේ ආනුභාවය ද අති මහත් ය. ධර්මයෙන් නිපන් ශ්‍රේෂ්ඨ ජීවිත සහිත ඒ උත්තම සඟ පිරිස හා ශ්‍රේෂ්ඨ වූ අන් පිරිසක් ද ලොව නැත්තේ ය.

“පුද්ගලයෝ අට දෙනෙක් ය – හොඳ අය පසසන
සතරදෙනෙකි මේ උතුමන් – යුගල විලස ගෙන
මේ අය බුදු සව්වෝ වෙති – දනට සුදුසු වන
මහත් ඵලය ලැබ දෙයි – මෙතුමන්ට පුදන දන
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!”

නිවෙනු රිසි වූවෝ, අල්ප වූ ආස්වාදයක් ඇති – අති මහත් වූ ආදීනවයන් ඇති කාමයන් ම ජීවිත අර්ථය කර ගනිමින්, කම්සැපෙන් මුසපත් ව, සැපය යැයි කියා දුක ම සතුටින් පිළිගනිමින් විපරීත දැක්මෙන් යුතු ව සුගති – දුගති සැරිසරා දුක් විඳිමින් යන සසර ගමනේ කෙළවර දෙව්මිනිස් ලෝකයාට විවෘත කළ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව ද, පරම සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය ද, අමනිවන් වැඩි අරහත් සඟ පරපුර ද ආදරයෙන් සරණ යත්වා!