අප ඉපදුණු මේ මිනිස් ලෝකය, සැප දුක මිශ්‍ර ලෝකයක්. පුංචි ආශ්වාදයක් තියෙන, බොහෝ ආදීනව තියෙන කාමයන් අත්පත් කර ගැනීමේ අඛණ්ඩ ගමනක් තමයි මේ මිනිස් ජීවිතයේ තිබෙන්නේ. ඒ වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙනවා. වෙහෙස මහන්සි වන තරමට ප්‍රතිඵල ලැබෙයි ද කියන එකත් බොහොම අවිනිශ්චිතයි… මිනිස් ජීවිතවලට පොදු මේ දුක් පීඩා අතරේ ම අපට වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නෙත් බොහොම කටුක, අමිහිරි දේවල් ම තමයි.

සමාජය පිරිහිලා…

මිනීමැරුම්, අපචාර, අපරාධ හද කම්පා කරවන ආකාරයෙන් දවස ගානේ අහන්න දකින්න ලැබෙන එක අපේ හිත්වල ඇති කරන්නේ සුළුපටු සසැලීමක් නෙමෙයි. රුපියල් සියයකට මිනී මරන, ආදරේ කරන කෙනාගේ ගෙල සිඳින, තම ලෙයින් උපන් දරුවන් නසන, සහලේ ඥාතීන් මරාගෙන මැරෙන සමාජ වටපිටාව අපට ඇති කරන්නේ පහසුවකුත් නෙමෙයි. මේ සියල්ලේ සාරාංශය තමයි ‘සමාජය පිරිහිලා’ කියන එක.

ඔව්… ආයුෂය අඩු වෙවී යද්දි මිනිස් හිත්වල අකුසල් බලවත් වීම ධර්මතාවයක්. ඒ නිසා, කාලයත් සමඟ කුසල් දහම් දියුණු වීමේ අඩු බවත් – අකුසල් බලවත් ව වැඩී යන බවත් මිනිස් ලෝකයේ ප්‍රකට වෙනවා. හැබැයි…, අපි මේ ගෙවන අවුරුදු හැට හැත්තෑව ඒ ලෝක ධර්මතාවය පැහැදිලි ව වෙන් කර දකින්නට ඉඩ ලැබෙන කාල සීමාවක් ද කියන එක සැක සහිතයි. මොකද, ආයුෂය අසංඛෙය්‍යයේ ඉඳලා අවුරුදු දහයට අඩු වෙන්න ගත වන කාලය අවුරුදුවලින් මෙපමණකැයි කියා දක්වන්නට බැරි තරමේ අති දීර්ඝ කාලයක්… එහෙම නම්, අප කොහොමද මේක තේරුම් ගන්නේ?

එදා වුණු අපරාධ…

භාග්‍යවතුන් වහන්සේගේ අභිරූපී බව හමුවේ සරාගයට පත් මාගන්දියා ගැන අප අසා තිබෙනවා. රාගයෙන් මැඩී ගිය සිත් ඇති ව – අන්ධ වූ නුවණැස ඇති ව හුන් ඇයට සම්බුදුරජාණන් වහන්සේ කයේ ඇත්ත ස්වභාවය ගැන වදහළ දහම වැටහුනේ නැතුවා පමණක් නොවෙයි; ‘මට ගැරහුවා’ කියා වැරදි කෝණයකින් ඇය එය නිර්වචනය ද කර ගත්තා. ඒ දහම ම ඇසූ ඇගේ මාපියන් මග ඵල ලබා නිවන් මගේ පිහිටද්දී ඇය සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරී සිතකින් යුතු වුණා.

ඒ වෛරී සිත නිසයි ඇය, ඇය සමඟින් උදේනි රජුට සම බිසවක වූ – සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය සාමාවතිය ප්‍රමුඛ පන්සියයක් කතුන් ඔවුන්ගේ මාලිගාවේ සිර කරවා ගිනි තබා මරා දැමුවේ. කාන්තාවක විසින් මෙහෙයවූ මෙවැනි සාපරාධී අන් ක්‍රියාවක් ගැන මා නම් අසා නැහැ… එසේ කුරිරු වූ මාගන්දියාට උදේනි රජු පැනවූ දඬුවම ඔබ දන්නවා ද?

මෙහෙමත් දඬුවම්…

උදේනි රජුගේ අණින් පොළොවේ වළවල් හාරා, හිස පමණක් උඩට සිටින සේ මාගන්දියා ඇතුළු ඇයගේ ඥාති පිරිස පණ පිටින් ම වළලා දමනු ලැබුවා. ඔවුන් පණ පිටින් සිටිද්දී ම යි හරකුන් යෙදූ යකඩ නගුල්වලින් ඒ භූමිය සී සානු ලැබූයේ. හරකුන්ගේ සී සෑමෙන් පණ පිටින් කැබලි වූ ඒ හිස් මොළ මතු පිට පිදුරු හෙළා ගිනි තැබීමෙනුයි රජුගේ දඬුවම කෙළවර වුණේ…

ඒ එක්ක බලද්දි අද කාලේ දඬුවම් තව හොඳයි කියලත් හිතෙන්න බැරිකමක් නැහැ.

මේ සිදුවීමත් කියවා බලන්න…

“පින්වත් බ්‍රාහ්මණය, මේ සැවැත්නුවර ම එක්තරා කාන්තාවක් ඥාති කුලයකට ගියා. එහි දී ඒ ඤාතීන් ඇය ව ස්වාමියා කෙරෙන් වෙන් කොට වෙන තැනැත්තෙකුට දෙන්නට සූදානම් වුණා. ඇය එයට කැමති වුණේ නෑ. ඉතින් ඒ ස්ත්‍රිය තම ස්වාමියාට මෙය පැවසුවා. ‘ආර්ය පුත්‍රය, මේ ඥාතීන් ඔබ කෙරෙන් මාව ඉවත් කොට වෙන කෙනෙකුට දෙන්නට හදනවා. මං එයට කැමති නැහැ.’ කියලා. එතකොට ඒ පුරුෂයා, ‘එහෙම නම් අපි දෙන්නා පරලොව දී එක් වෙමු.’ කියා අර ස්ත්‍රිය කඩුවෙන් දෙකඩ කොට කැපුවා. තමාත් දිවි නසා ගත්තා.”

(පියජාතික සූත්‍රය – ම. නි. 2)

එහෙම නම්, ඒ කාලයේත් මෙවැනි දේ සිදු වුණා…

එදයි, අදයි වෙනස…

හැබැයි, ඒ කාලයේ අද වගේ ඉක්මනින් හෝ අද තරම් ම නාටකානුරූපී ව හෝ මේ සිදුවීම් සමාජගත වුණේ නෑ. අද වගේ සන්නිවේදන පහසුකම් නොතිබුණු නිසා ඒවාට පුළුල් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ප්‍රචාරය නොවුණා ය කියන එකේ තේරුම ඒවා සිදු නොවුණා කියන එක නොවන බව අප තේරුම් ගත යුතු වනවා. අද වගේ ම එදත් ලෝකය අපරාධවලින් හිස් වුණේ නැහැ…

ඒ විතරක් නෙමෙයි; හොඳ යැයි සම්මත, යහපත් යැයි සම්මත, කුසල් යැයි සාධුසම්මත දේවලින් ලෝකය අදත් හිස් නැහැ. හැබැයි, අද සන්නිවේදන මාධ්‍යය තුළින් ඒ යහපත් දේට නොලැබෙන පුළුල් ප්‍රචාරයක් සහ විශාල මාධ්‍ය ආවරණයක් අයහපත් දේට ලැබෙනවා.

යහපත අනුමෝදන් වෙමු

අදත් සිල්ගුණ දම් රකින, පිනට දහමට ලැදි විශාල පිරිසක් මේ භූමියේ සිටිනවා. පාසල් නිවාඩුවක් ලැබෙද්දී ස්වර්ණමාලී මහ සෑ භූමිය, උඩමළුව, ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථාන දහස් සංඛ්‍යාත උවසු උවැසියන්ගෙන් පිරී යන්නේ ඒ නිසයි. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ශ්‍රී අරහන්තක ධාතූන් වහන්සේලා පුද දෙන්නට පැය ගණන් අව්වැසි නොතකමින් ජනයා රොද බඳින්නේ ද ඒ නිසයි. කල්‍යාණ ගුණ ශෝභාවෙන් යුතුව වැඩ වෙසෙන සංඝයා වහන්සේලා මේ භූමියේ සිටිනවා. සත්‍යවාදී බුදු සමිඳුන්ගේ බුද්ධ භාෂිතය පිරිසිදු ව, නිර්මල ව තවමත් ඇසෙන්නේ ඒ නිසයි. අනුන්ගේ දුකෙහි දී හිත කම්පා වන ගුණයෙන් යුතු ළතෙත් මිනිසුන් මේ භූමියේ සිටිනවා. ස්වභාවික විපත් එළඹෙනා කල්හි ආහාරපාන, ඇඳුම් පැලඳුම්, බෙහෙත් ඖෂධ ආදිය දන් දෙමින් විපත්පත් පිරිසට උපකාරයට මිනිසුන් පෙළ ගැසෙන්නේ ඒ නිසයි.

මේ හැම දෙයක් තුළ ම අප දැකිය යුත්තේ මේ භූමිය තවමත් යහපත මුල් බැස ගන්නා ස්වභාවයෙන් යුතු භූමියක් කියන එකයි…!

මාධ්‍ය රාමුවෙන් ඔබ්බට…

ඒ නිසා, මාධ්‍යකරණයට සීමා වී ඔබ මේ භූමිය මැන බලන්නට එපා. පිරිහුනු, නීච භාවයන් සෑම කල්හි ම ලෝකයේ විද්‍යමාන වන එක සසර කලකිරෙන්නට හේතුවක් මිස දුර්ලභ ව ලද මේ මිනිස් ජීවිතය ගැන හෝ සම්බුදු දහමේ ධර්ම භාණ්ඩාගාරය බවට පත් වුණු මේ රට ගැන හෝ කලකිරෙන්නට හේතුවක් කර ගන්න එපා.

ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ සුගන්ධ කුටිය වුණු ස්වරණමාලී සෑ රජුන් වැඩ වෙසෙන බිම, දිවමන් මුනිඳු වන් වූ මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන බිම, මහා බෝධීන් වහන්සේට ද දළදා වහන්සේට ද පූජා කෙරුණු බිම, දළදා වහන්සේලා, ලලාට ධාතූන් වහන්සේ, වම් අකු ධාතූන් වහන්සේ, ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ, අභිනීල කේශ ධාතූන් වහන්සේලා, මුක්තක ධාතූන් වහන්සේ ඇතුළු බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන බිම… අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන බිම… සාසන භාරධාරී මහා කස්සප මහරහත් මුනිඳුගේ එක ම ශාරීරික ධාතූන් වහන්සේ වැඩ වෙසෙන බිම… බොහෝ අරහන්තක ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන බිම…

ගෞතම සම්බුදු සසුනේ ධාතු මංජුසාව වැනි වූ පින්බිම තමයි මේ රට. දන් දෙන්නට නැඹුරු වුණු සිත් අපමණ ඇති පින්බිම තමයි මේ රට. මේ රටේ ඉපදුණු එක භාග්‍යයක් ම යි. දුක්ඛිත සසර ගමනේ නිසැකව ම මුහුණපාන්නට සිදු වන කර්කශ භාවයන් හමුවේ මේ භාග්‍යය විවේචනයට ලක් කරන්නට එපා…

කල්‍යාණ වැට නොසිඳ එතෙර වෙමු

කලණ දහම් පවසන සත්පුරුෂයන් වහන්සේලා යම් තැනක වැඩ වෙසෙනවා ද එතැන නිවනට මග සැදෙනවා. යමෙක් කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව නිවනට දිවි පුදා දහමේ හැසිරෙනවා ද එතැන නිවන් මග වැඩෙනවා. ඒක සත්‍යයක්…!

ඒ සත්‍යයට අපි සංවේදී වෙමු. මේ තමයි භූමිය. සසර දෝෂයෙන් නිදහස් වන්නට මේ සා උපකාර ලැබෙන අන් භූමියක් මිහිමත නැහැ. මේ බිම්කඩේ අප හිස තබන යම් තැනක් වේ ද ඒ සෑම තැන්හි ම දහමට දිවි පුදා නිවනට වැඩි අරහත් මුනිවරුන්ගේ සටහන් තිබෙනවා. ඒ පිය සටහන් වෙන් කරගෙන අපිත් දහම් මාවතේ ඉදිරියට යමු. මේ උතුම් කල්‍යාණ වැට නොසිඳ අපිත් එතෙර වෙමු…!

සටහන – උදුලා පද්මාවතී