සිංහල සාහිත්‍යයේ විද්‍යමාන වන පැරණි ම උපදේශ කාව්‍යය ‘දහම් ගැට’ නමින් හැඳින්වෙන ගී කාව්‍යය යි. මෙය තුන්වන සියවසට අයත් කෘතියකි. ගුප්ත රචනා විලාසයකින් යුක්ත ප්‍රහේලිකා ස්වරූපයෙන් ලියා ඇති මෙහි එන ගීත, මතුපිටින් විහිළු වශයෙන් පෙනුනත් හැම කවියකින් ම ගැඹුරු ධර්මයක් හෝ උපදේශයක් විදහා දක්වයි.

දහම් ගැටය ‘ධර්මසේන’ නම් යතිවරයන් වහන්සේනමකගේ කෘතියකි. මේ ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලිය කර්තෘ වූ ධර්මසේන හිමි යයි අනුමාන කෙරේ. එම හිමියන්ගේ දහම් ගැට කෘතියට අමතරව තවත් දහම් ගැට පොත් දෙකක් කෞතුකාගාරයේ තිබෙන බව සඳහන් ය. ධර්මය කියවීමේ රුචිය දියුණු කිරීමට දහම් ගැට රචනා කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. එමගින් උගත්, නූගත් හැම දෙනා ම ධර්ම මාර්ගයට යොමු කිරීමට පහසු ය. දහම් ගැට ගීවලින් නැගෙන අර්ථ රසය ශබ්ද රසයට වඩා ඉතා තියුණු ය.

සසර සයුරෙන් එතෙර වීම සඳහා අනුගමනය කළ යුතු දහම් මග දහම් ගැටයෙන් විවරණය කරයි. කවියා ගීයෙන් රසවත් ව පෙන්වා දෙන මග අනෙකක් නොව බුදු මග ම ය. සිංහල සාහිත්‍යයේ පළමුවන උපදේශ කාව්‍යය වන දහම් ගැටය බෞද්ධ පරමාර්ථය පසක් කර ගැනීම සඳහා විමුක්තිකාමීන්ට කදිම අත්වැලකි. සාහිත්‍ය ලෝලීන්ට නොඅඩුව ම රස කුළුගන්වන දහම් ගැටය සංස්කෘත සාහිත්‍ය විචාරයට අනුව අර්ථ, ධර්ම, මෝක්ෂය යන සම්පත් සම්පූර්ණ කර ගත හැකි උසස් සාහිත්‍ය නිර්මාණයකි.

මෙම කාව්‍ය ග්‍රන්ථයේ එන කාව්‍ය කීපයක් ඔබ වෙත ගෙන ඒමට අදහස් කරමි. එම කාව්‍යයන් රස විඳ මෙම දහම් ගැටය නම් වූ පැරණි සාහිත්‍ය කෘතිය හඳුනාගැනීමටත්, උතුම් දහම් රසය ලබා ගැනීමටත් එමගින් හැකිවේවි යැයි අදහස් කරමි. මෙම කාව්‍යයන් ඔබට හඳුන්වා දීමට ආචාර්ය පැලවත්තේ ධම්මතිලක හිමියන් සංස්කරණය කරන ලද දහම් ගැටය නම් ග්‍රන්ථය උපකාර කර ගතිමි.

එම කාව්‍යයන් මෙසේ ඇරඹෙයි.

1. සෙන සෙන නොවියතුන් – වියතුන් ඉස් සල සලා
සොයෙනෙව් අරුත් තෙපුල් – සවන් මිණෙව් දහම් ගැට.

පද අර්ථය :- නොවියතුන් – වියත් නැති ජනයා/ සෙන ලෙස – සිනහ ගන්වන ලෙස/ වියතුන් – උගතුන්/ ඉස් සල සලා – හිස් සොලවමින්/ අරුත් තෙපුල් – අර්ථවත් වදන් /සොයනෙව් – විමසමින්/ සවන් මිණෙව් – කනෙහි පලඳින ආභරණයක් බඳු වූ/ දහම් ගැට – දහම් ගැටලු

භාවාර්ථය :- නූගත් ජනයාගේ මුවට සිනහා උපදවන, උගත් ජනයා හිස් සොලවමින්, ධර්ම අර්ථ සොයන්නා වූ කන සරසන ආභරණයක් හා සම වූ දහම් ගැට නම් ප්‍රබන්ධය කරමි.

2. සාවක සඳින් ගෙන – පාදමි අටක් ගැටලා
සතර පා හිසලා එම – පාදමින් බැඳ පවිම් අද

පද අර්ථය :- සාවක – ශ්‍රාවකයන්ගේ/ සඳින් – සිතින්/ ගෙන – ඇරගෙන /පාදම් – පෙළ දහම්/ අටක් – මුතුමාලයක්/ ගැටලා -( බෙල්ලෙහි ) පැලඳ/ එම පාදමින් – ඒ පෙළ දහමින් (ධර්මයෙන් ) /බැඳ – කවි කර/ අද – දැන්/ පවිමි – ප්‍රකාශ කරමි.

භාවාර්ථය :- ශ්‍රාවකයන්ගේ සිතින් ධාරණය කරගෙන ත්‍රිපිටක ධර්මය නමැති මුතු මාලය ගෙල පැලඳ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි හිස පිහිටුවා උන්වහන්සේ දෙසූ ධර්මය කවියෙන් කියමි.

3. සඳුන් සුනු පල්ලේ – හිය මී අඹ කකාරා
කිරි දී මෝරු ගෙන නැගි – වදුරු දැරියන් සරණේ

පද අර්ථය :- මී අඹ – මිහිකත/ කකාරා – කම්පාකර/ සඳුන් – අඟනන්/ සුනු – පුතුන්/ පල් – මස්/ ලේ – රුධිරය/ හිය – යාන වාහන/ කිරි – ඇතුන්/ දී – දීලා/ මෝරු ගෙන- ගිරිමේඛලා නම් ඇතු පිට නැගී ආ මාරයා පරදා/ වදුරු නැගි – විදුරසුනට වැඩි/ දැරියන් – ධීර තෙමේ (බුදුරජුන්)/සරණේ – සරණ යන්න.

භාවාර්ථය :- මහ පොළොව කම්පා කර අඟනන්, පුතුන්, මස්, ලේ, යාන-වාහන, අලි – ඇතුන් දන් දී, ගිරිමේඛලා ඇතු පිට නැග පැමිණි මාරයා පරදා විදුරසුනේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සරණ යන්න.

4. තපසීවරිනි දැන් – සහසා තණ මරන්නේ
දෙ කෙත හෙළි කොට ගෙනලා – සෑ බෝ මතු කොටන්නේ

පද අර්ථය :- තපසීවරුනි – තවුසනි/දැන් – ධ්‍යානයෙන්/ සහසා -සාහසිකව/ තණ මරන්නේ – තෘෂ්ණාව නැති කරන්නේ/ දෙකෙත – දේහ නමැති කෙත/ හෙළි කොට ගෙනලා – පිරිසිදු කරගෙන/ සෑ – චෛත්‍යයන් හා / බෝ – බෝධිය/ මතු – අනාගත කාලයේ/ කොටන්නේ – පිහිට කරගන්න.

භාවාර්ථය :- තවුසනි, ධ්‍යානයෙන් නැගී තෘෂ්ණාව දුරු කොට ශරීරය නමැති කෙත පවිත්‍ර කරගෙන චේතිය හා බෝධි මතු උපකාර කරගන්න.

5. ඉස්සන් සොයා ගොස් – සෑසි දුලදින්
දළ පිය පනු පොවා මග – දිරා කළයෙන් හැරපු

පද අර්ථය :- සෑසි – ශාක්‍යසිංහ තෙමේ/ ඉස්සන් – ඉසිවරයන්/ සොයා -විමසමින් / ගොස් – ගොසින්/ දුලදින් -දුර්ලබ්ධීන් / දළ – ජටා දැරූ අය/ පිය – ප්‍රතික්ෂේප කර/ පනු පොවා – ප්‍රඥාව දී/ මග දී – මාර්ග ඥානය උපදවා/ කළයෙන් – කයින් හා සිතින් / රා – රාගාදී කෙලෙසුන් / හැරපු – ප්‍රහාණය කළහ.

භාවාර්ථය :- ශාක්‍ය වංශයට සිංහයෙකු බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉසිවරුන් සොයා ගොස් ඔවුන්ගේ වෙනත් දුර්ලබ්ධීන් සමඟ ජටා බිඳ නැණවත් කර මාර්ග ඥානයට පමුණුවා ඔවුන්ගේ සිත්හි පැවති රාගාදී කෙලෙසුන් දුරු කළහ.

6. තණ දාවලට ගොස් – අඹරා ගනුව පාදම්
කුණු අමුඩු ගලවා මෝ – රපු දැරියනි නිවන් යව්.

පද අර්ථය :- තණ දා – තෘෂ්ණාව සිඳ දමා/ වලට ගොස් – ආරණ්‍යයට ගොස්/ අඹරා ගනුව පාදම් – පෙළ දහම දැනගෙන / කුණු අමුඩු ගලවා – උකුණන් සහිත කෙස් වැටිය සිඳ/ මෝරපු – මෝහය හා රාගය ප්‍රහීණ කර කුසලය වඩා/ දැරියනි නිවන් යව් – ධෛර්යවන්තයෙනි, නිවනට පැමිණෙන්න.

භාවාර්ථය :- ධෛර්යවන්තයෙනි, තෘෂ්ණාව සිඳ දමා ආරණ්‍යයට පිවිස පෙළ දහම දැන, උකුණන් සහිත කෙස් වැටිය කපා, කුසල් වඩා නිවනට පැමිණෙන්න.

7. රා කළයෙන් ගෙනා – ඉස්සන් ඇතිලියේ ලා
ඇම රා පිසදී නොයිදා – වල් ගොස් සාවුන් ගන්නේ

පද අර්ථය :- ඇම – සියලු / රා පිසදී – සියලු කෙලෙසුන් ප්‍රහීණ කර / කළයෙන් – කයින් හා සිතින් / ගෙන – ග්‍රහණය කර /ඉස්සන් – ඉසිවරයන්/ ඇතිලියේ ලා – තපස ආධ්‍යාත්මයට ගෙන/ නොයිඳ – නො සිට/ වල් ගොස් – වනයට ගොස්/සාවුන් – ශ්‍රාවකයන්/ ගන්නේ – ජය ගන්නේ ය.

භාවාර්ථය :- සියලු රාගාදී කෙලෙසුන් ප්‍රහීණ කර කය, සිත දෙකින් ඍෂි බව සිතෙහි තබාගෙන නො සිට වනයට ගොස් ශ්‍රාවකයෝ ජය ගත්හ.

8. ලුණු ලා දියත ඉස – පල්ලේ සඳුන් සුනු හෙළ
කිරි කකාරා මී දී – මුදවාපු බුදු ගත්තෝ

පද අර්ථය :- දියත – ලෝකයේ/ ලුණු ලා – කරුණාව පතුරුවා/ ඉස – හිස්/ පල් – මස්/ ලේ – රුධිරය/සඳුන් – ප්‍රිය අඟනන්/ සුනු – පුතුන්/ හෙළකිරි – සුදු ඇතුන්/ මී දී කකාරා – මහ පොළොව කම්පා කර / බුදු ගත්තෝ – බුදු බව අවබෝධ කරගෙන/ මුදවාපු – සසරින් මිදුනාහ.

භාවාර්ථය :- සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීම සඳහා කරුණාවෙන් හිස්, මස්, ලේ, අඹුවන්, පුතුන්, සුදු ඇතුන්, මහ පොළොව කම්පා කරමින් දන් දී සසරින් මිදුනාහ.

9. දිවියා නොයන තුරු – වල් පත ගනුව ඉඳුරා
පලාගිය නමුත් දිවි – සම වර දී බවා තරවා

පද අර්ථය :- දිවියා නොයන තුරු – දිවි පැවැත්ම අවසන් නොවන තෙක්/ වල්පත – වනයට පිවිස /ඉඳුරා ගනුව – ඉන්ද්‍රියන් රැකගෙන/ දිවි – ජීවිතය/ පලා ගිය නමුත් – ජීවිතය අවසන් වුවත්/ සම වරදී – කම්සැප අහිතකර ය/ බවා – භාවනාවෙන්/ තරවා – තහවුරු කර ගන්න.

භාවාර්ථය :- දුර්ලභ වූ මිනිසත් බව ඉක්මවා නොයන තුරු වනයට පිවිස ඉඳුරන් රැකගන්න. ජීවිතය ගියත් කම්සැප හැර දමා භාවනාවෙන් සිත සමාධිගත කරගන්න.

10. පල් පල දෙන්නේ – සකසා සා බත් බලාලා
එදා අග නැංගේ – මෙදා සදා මරුන් බුන්නේ

පද අර්ථය :- සා – සාවෙකුව උපන් සමයෙහි/ සක – සක් දෙවිඳුගේ/ සා බත් බලා – කුසගින්න දැක/ පල් පල දෙන්නේ – ඇඟ මස් පුළුස්සා දීමට / එදා – සස ජාතියෙහි/ අග නැංගේ – ගිනි ගොඩ මුදුනට පැන්නාහ/ මෙදා – මේ ජාතියෙහි /මරුන් සදා – මාර පරාජය කර / බුන්නේ -සියලු කෙලෙසුන් බිඳ හළහ.

භාවාර්ථය :- (මහ බෝසත්) සාවෙකු ව උපන් සමයෙහි සක් දෙවිගේ කුසගින්න දැක, තම ශරීර මාංශය පුළුස්සා දීමට ගිනි ගොඩට පැන්නාහ. මෙකල සියලු මරුන් පරදා ජයගෙන සියලු කෙලෙසුන් නසා දැමූහ.

11. තණගේ විදාහැර – බෝපා අඩවියේදී
සද්දා මුළුල්ලේ – එදැරි දවසැරි පලා කාලා

පද අර්ථය :- එදැරි – ඒ ධීර තෙමේ / තණගේ විදාහැර – තෘෂ්ණා නමැති ගෙය බිඳ දමා / බෝපා අඩවියේ – බෝ සෙවනෙහි / සද්දා මුළුල්ලේ – සත්දිනක් තුළ /පලා කාලා – නිවන් සුව අනුභව කරමින් / දවසැරි – කල්ගත කළේය.
භාවාර්ථය :- ඒ බෝසත් උතුමා තෘෂ්ණා නමැති ගෙය බිඳ දමා බෝධි මූලයේදි කෙලෙසුන් නසා බුදු වී සත් දිනක් නිවනු සුව විඳිමින් කල් ගත කළහ.

12. නොසලා එදා දුන් – පිටුයෙන් පු පිසුයෙන්
සයින් සිට සද්දා දී – දව හළ සතර මස්සක්

පද අර්ථය :- සතර – ශාස්තෘන් වහන්සේ / එදා – මාර යුද්ධය කළ දිනයෙහි / නොසලා – නිශ්චලව / දුන් පිටුයෙන් – දෙන ලද පිටිවහලින් / පු පිසුයෙන් – පෙර ජාතීන් අත්හළෙන් / සද්දා සයින් සිට – සත් දිනක් නිරාහාරව සිට / මස්සක් දී – මසැස දන් දී (අනිමින ලෝචනය කර)/ දවහළ – දින ගත කළහ.

භාවාර්ථය :- ශාස්තෘන් වහන්සේ මාර පරාජය කළ දින නොසෙල්වී ලබන ලද පිටිවහලින් පූර්ව ජාතීන් හැරදමා සත් දිනක් නිරාහාරව සිට දෙඇස දන් දෙමින් අනිමිස ලෝචන පූජාව කරමින් කාලය ගත කළහ.

ඇසුර – දහම් ගැට කාව්‍යය

සටහන – මානෙල් පොඩිමැණිකේ