සඳ සොළොස් කලාවෙන් ම පිරෙනා දිනය පුර පසළොස්වක පොහොය දිනයයි. සෑම මාසයක ම සෙයින් ඇසළ මාසයේත් එසේ සොළොස් කලාවෙන් ම සඳ පිරෙනා දිනයක් උදා වේ. ඒ ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනය යි.

ඇසළ සඳ පිරෙනා දිනයට අසිරිමත් ඉතිහාසයක් තිබේ. එය පූජනීය ඉතිහාසයකි. වන්දනීය ඉතිහාසයකි. සිහි කළත් පින් වැඩෙනා ඉතිහාසයකි. සැබැවින් ම එය වර්ණනාවකි. මේ දිගහැරෙන්නේ ඒ ඇසළ පුර පසළොස්වක පොහොය වර්ණනාවයි.

දෙවියන්ගේ ඇරයුම ලැබ…

“කාලෝ’යං තේ මහාවීර
-උප්පජ්ජ මාතුකුච්ඡියං,
සදේවකං තාරයන්තෝ
-බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයාණෙනි, දැන් ඔබහට කාලය පැමිණ තිබේ. මිනිස් ලොව මව්කුසේ පිළිසිඳ ගන්නා සේක්වා! දෙවියන් සහිත වූ මේ ලෝ සතුන් දුක් සහිත සසර ගමනින් එතෙර කරවාලනු වස් අමෘතපදය වූ නිර්වාණය අවබෝධ කරනා සේක්වා!”

මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව සම්මා සම්බුදුරජුන් බවට පත් වීම පිණිස සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතාවෝ සපුරා සන්තුසිත දෙව්රජ ලෙසින් තුසිත දෙව් භවනේ වැඩසිටි මහබෝසතුන් හට දෙව්බඹුන් ඇරයුම් කළේ එලෙසිනි.

මහා නුවණැති බෝසතාණෝ ඒ ඇරයුම් අසා පඤ්ච විලෝකන (පස්මහා බැලුමන්) කරනා කල්හී කාලය, දීපය, දේශය, කුලය සහ පින්වන්ත මව් තොමෝ මැනැවින් දුටුවෝය. ඒ පින් ඇති මව්න් වූ මහාමායා බිසොවුන්ගේ කුස පිළිසිඳ ගැනීමට තීරණය කළෝය.

සුපින්බර ඇසළ සඳ…

මින් වසර 2645කට පෙර ඇසළ සඳ සොළොස් කලාවෙන් ම පිරී අහසේ මෝදු වූ රාත්‍රිය උදා වී තිබුණි. බෝසත් පුතෙකු දරා ගැනුමට පූරිත පාරමිතා ඇති කපිලවස්තුවේ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා බිසවුන් ඒ මොහොතේ සුවනින්දේ පසු වූවාය.

ඒ සුවනින්දේ ඇය සුව සිහිනයක් දුටුවාය. සතරවරම් රජදරුවෝ සර්වාභරණයෙන් සැරසී විත් ඇය සැතපී සිටිනා යහන ඔසවාගෙන හිමාලයට පැමිණියෝය. අනෝතප්ත නම් රමණීය විල් තෙරේ යහන තැබුවෝය. සුරඟනෝ සතර දෙනෙක් විත් බිසවුන් වහන්සේ විල් දියට කැඳවාගෙන ගියෝය. ඈලා බිසවුන් සිහිල් දියෙන් නහවා, සුවඳ ආලේප ගල්වා, දිව්‍ය සළුවෙන් දිව්‍ය අබරණින් සැරසුවෝය. යළි යහනේ ම බිසවුන්ව සැතපුවෝය. එවිට, රිදී පැහැයෙන් බැබළෙන හුරුබුහුටි ඇත් පැටවෙක් සුදු නෙළුමක් සොඬින් ගෙන ඇය කරා පැමිණියේය. ඉතා ගෞරවයෙන් ඇය වටා පැදකුණු කළේය. දකුණු ඇලයෙන් කුස තුළට පිවිසියේය.

ඇය තනිව ම මේ සිහිනය දකිද්දී, ලෝකය පුරා අනේකප්‍රකාර අද්භූත අසිරිමත් දෑ සිදු විය. දසදහසක් ලෝ ධාතුව ම කම්පිත විය. දේවානුභාවය ඉක්මවූ උදාර ආලෝකයක් ලෝකයේ පැතිර ගියේය. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ අපගේ මහබෝසතාණෝ මව්කුස පිළිසිඳ ගත් සේක.

කාලය ගෙවී යයි…

අප මහබෝසතුන් දසමසක් ඇවෑමෙන් මව්කුසින් බිහි වී, නොයෙක් අසිරිමත් සිදුවීම් සමඟින් අනුපිළිවෙළින් දහසය හැවිරිදි වියට එළඹියේය. රූ සිරින් පින්සිරින් බබළන යශෝධරාවන් හා සිද්ධාර්ථ බෝසත් කුමරුන්ගේ සරණ මංගල්‍යය සිදු විය. කාලය ගෙවී ගියේය. සරසන ලද අස් රියෙන් උයන් කෙළියට යමින් සිටිය දී සිද්ධාර්ථ කුමරුන්හට මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් සහ සන්සුන් පියොවින් වඩිනා පැවිදි රුවක් දැකගන්නට ලැබුණි. ඒ දැක්මෙන් සිද්ධාර්ථ කුමරුන්හට ගෘහ බන්ධනය කෙරෙහි කලකිරීම ඇති විය.

අබිනික්මන් මඟට ආලෝක සැපයූ ඇසළ සඳ…

මින් වර්ෂ 2616කට පෙර ඇසළ මාසයේ සඳ පිරෙනා දිනය පැමිණියේය. එදා යශෝධරාවගේ කුසින් සිඟිති රාහුල කුමරුන් උපත ලැබීය. රහල් කුමරුන් උපන් ඒ ඇසළ පොහෝ දිනයේ රාත්‍රියේ අප සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ රාජ මාළිගා අතහැර මහාභිනිෂ්ක්‍රමණය කළ සේක……..

මහබිනික්මන් කළ බෝසතුන් අනෝමා නදී තෙරේ දී, ස්වකීය කෙස් කළඹ අසිපතින් කපා අහස් ගැබට දැමීය. බෝසතුන්ගේ කෙස් කළඹ බිම පතිත නොවී නීල පලසක් මෙන් අහසේ ම පිහිටියේය. දෙදෙව් ලෝකාධිපති සක්දෙව් රජුන් ඒ උතුම් කෙස් කළඹ රන් කරඬුවකින් ගෙන, එය තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් ‘සිළුමිණි’ මහා සෑ රජුන් කරවීය.

අනෝමා නදී තෙර සිට බෝසතාණන් වහන්සේ ගිහි වස්ත්‍ර ඉවත් කරනා කල්හී, බෝසතුන්ගේ ගත සැරසූ උතුම් වස්ත්‍ර ගෙන ගොස් ඝටීකාර මහා බඹු විසින් බඹලොවේ ‘සළුමිණි’ මහා සෑ රජුන් කරවීය.

තුන්ලොව දිනූ ගෞතම සම්මා සම්බුදුරජාණෝ…

අබිනික්මන් කළ මහබෝසතාණන් වහන්සේ සය වසකට පසු එළැඹි වෙසක් පුන් පොහෝ දිනයේ නේරංජරාවේ ඇසතු රුක් සෙවණේ වැඩ හිඳ තුන්ලොව ම ජයගෙන ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සේක.

ඇසතු රුක් සෙවණට නුදුරින් පිහිටි කිරිපලු නුගරුක් සෙවණේ සමවත් සුවයෙන් වැඩ සිටි බුදුරජුන් සමීපයට තපුස්ස – භල්ලික වෙළඳ දෙබෑයෝ පැමිණියෝය. සම්බුදුරජුන් හට ප්‍රණීත අත්සුණු හා මී පිඬු පූජා කළ ඔවුන් “ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේව ද ශ්‍රී සද්ධර්මය ද සරණ යන්නෙමු.

ඔබ වහන්සේ අද පටන් අපව ද උපාසකයන් වශයෙන් පිළිගන්නා සේක්වා!” යි පැවසූහ. මෙසේ සරණ යෑමක් මේ බුදු සසුනේ වෙනත් නැත. තපුස්ස භල්ලික යනු මේ ගෞතම බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඔවුන්ට බුදුරජුන් හමු වන අවස්ථාව වන විට සඟරුවන ලොව පහළ වී නොතිබිණි.

සම්බුද්ධත්වය පසක් කොට නිවන් සුවයෙන් වැඩ සිටි බුදුරජුන්හට තමන් වහන්සේ අවබෝධ කළ සැනසීමේ මඟ දේශනා කිරීමට මන්දෝත්සාහී බවක් හටගත්තේය. ‘මා විසින් අවබෝධ කර ගත් මේ දහම ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දුෂ්කර ය. නමුත් ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් දැකිය හැක්කක් නොවෙයි. අතිශයින් සියුම් ය. නුවණැත්තන් විසින් ම දැක්ක යුතු දෙයකි. ආශාව තුළ, ආශාවට ඇලී, ආශාවෙන් ම සතුටු වෙමින් සිටින මේ සත්ව ප්‍රජාවට මේ දහම දැන අමා නිවන සාක්ෂාත් කිරීම ඉතා දුෂ්කර ය. එසේ තිබිය දී මා දහම් දෙසන්නට ගොස් අන් උදවිය දහම අවබෝධ නොකරත් නම්, එය මා හට මහන්සියක් වෙහෙසක් පමණක් ම වනු ඇත.’

අභිනව සම්මා සම්බුදුරජුන්ගේ මේ සිතුවිල්ල සහම්පතී නම් බ්‍රහ්මරාජයා දුටුවේය. සැණෙකින් බුදුරජුන් ඉදිරියේ පහළ විය. උතුරු සළුව එක් පැත්තකට කොට පොරවාගෙන, දණමඬලක් බිම තබා වන්දනා කොට බුදුරජාණන් වහන්සේට මෙසේ ආයාචනා කළේය.

බ්‍රහ්ම ආයාචනය…

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. දහම් අසන්න නොලැබුණොත් ඔවුන් පිරිහෙනවා. දහම් අසන්න ලැබුණොත් අවබෝධ කරන අය පහළ වෙනවා. මගධ දේශයේ කලින් පහළ වෙලා තිබුණෙ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසිදු මතවාද ගොඩක්.

එනිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝ ද අසත්වා!

ගල් පර්වතයක් මුදුනට නැග ගත් කෙනෙක්, හාත්පස බිම සිටින ජනතාව දකිනා සෙයින්, හැමදේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, සද්ධර්මයෙන් කරන ලද දහම් ප්‍රාසාදයට නැගී, දුකින් පෙළෙන – සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා!”

“උට්ඨේහි වීර විජිතසංගාම
– සත්ථවාහ අනණ විචර ලෝකේ
දේසස්සු භගවා ධම්මං
– අඤ්ඤාතාරෝ භවිස්සන්තීති.”

“මාර යුද්ධය ජය ගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල්කරුවාණෙනි ණය නැති මුනිදාණෙනි, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවා ම යි.” බඹුගෙන් ලද ඇරයුමින් පසු සම්බුදු මුව මඬලින් ගලා ආවේ සොඳුරු ගාථාවෙකි.

“අපාරුතා තේසං අමතස්සද්වාරා – යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං
විහිංසසඤ්ඤී පගුණං න භාසිං
– ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේති.”

“ලෝ සතුන්හට අමා නිවන්
දොර විවෘත කළා. සවන් යුග ඇත්තන්හට ශ්‍රද්ධාව
ඇති කර ගන්න කාලය යි. පින්වත්
බ්‍රහ්මය, මා හොඳින් ප්‍රගුණ කළ මේ ප්‍රණීත දහම මිනිසුන්ට නොකීවේ
එය වෙහෙසක් ය යන හැඟීම නිසයි.”

දහම් සකයි පෙරළන්නේ…

බුදුරජුන්ගෙන් පළමු දම්දෙසුම ඇසීම පිණිස ම පෙරුමන් පිරූව පින්වන්තයෝ පස්වග මහණුන් ඒ වන විට සිටියේ බරණැස ඉසිපතන මිගදායේ ය.

අප බුදුරජාණෝ ඔවුන් සොයා අමෘතය බෙදනු වස් බරණැස ඉසිපතන මිගදායට වැඩම කළ සේක. ඒ මින් වර්ෂ 2610කට පෙර ඇසළ සඳ සොළොස් කලාවෙන් ම පිරී ගිය දිනය යි. ඇසළ සඳ කිරණින් නැහැවුණු ඒ සොඳුරු රැයෙහ බරණැස මිගදායෙහි දී අප තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේ උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මුල් කොට දහම් දෙසීම ඇරඹූ සේක.

උතුම් නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයට විවර විය. චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව අවබෝධ කළ යුතු අයුරු පැහැදිලි විය. ධර්මචක්‍රය ඉතා සොඳුරු ලෙස ප්‍රවර්තනය විය.

ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ට ඒ මොහොතේ දහම් ඇස පහළ විය. මෙසේ පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන උතුම් තෙරුවන ම ලොව පහළ වූ සේක.

“ඒතං ඛෝ සරණං ඛේමං
– ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම
– සබ්බ දුක්ඛා පමුච්චතී”

“ඔය තෙරුවන් සරණ තමයි බිය රහිත වූ සරණ. ඔය තෙරුවන් සරණ තමයි උතුම් ම සරණ. ඔය තෙරුවන් සරණට පැමිණීමෙන් තමයි සියලු දුකින් නිදහස් වෙන්නේ.”

යමා මහ පෙළහර…

වසර හතක් ගෙවී ගියේය. යළිත් ඇසළ සඳ පිරෙනා දිනය උදා විය. අන්‍ය තීර්ථකයන්ගේ මදමාන බිඳහෙළනු පිණිස සැවැත් නුවර ගණ්ඩබ්බ රුක් සෙවණේ දී බුදුරජාණෝ අතිශයින් ම අසිරිමත් වූත්, අද්භූත වූත්, ශාස්තෘ සාධාරණ වූත්, ශ්‍රාවක අසාධාරණ වූත් යමක මහා ප්‍රාතිහාර්යය සිදු කොට වදාළ සේක. පෙළහරින් අනතුරුව තව්තිසා දෙව්ලොව වැඩම කළ බුදුරජාණෝ සම්බුදු දිවියේ සත්වැනි වස ලෙස තව්තිසාවේ වස් එළඹ මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්හට දහම් දෙසූ සේක.

ධර්මය සංගායනා කරන්නේ…

සතලිස් පස් වසරක් ලෝ සතට සෙත සලසා මහාකාරුණික බුදුරජාණෝ කුසිනාරාවේ දී පිරිනිවන් වැඩි සේක. ඒ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු, මින් වර්ෂ 2565කට පෙර ඇසළ සඳ පිරී ගිය දිනයේ, ගෞතම බුදු සසුනේ අග්‍ර ධුතාංගධාරී, ශාසන භාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම පිණිස අජාසත් මහරජු ඇතුළු පිරිස කටයුතු සංවිධානය ආරම්භ කළෝය.

සිත් තව තවත් පැහැදේවා!

මෙබඳු මූලික සිදුවීම් ගණනාවකින් සුපූජනීය වූ ඇසළ පුර පසළොස්වක දිනය පිළිබඳ තව තවත් සිත් පහන් වීම පිණිස මින් පසු සංක්ෂේපයෙන් කියැවෙන ලක්දිව සිදු වූ සිදුවීම් පෙළ උපකාර වනු ඇත.

■ බුද්ධ වර්ෂ 236 වැන්නේ ලංකාද්වීපයට දහම් අමාව රැගෙන වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝයා විසින් ලක්බිමේ සම්මත කළ සීමාව තුළ ‘ප්‍රථම ඛණ්ඩ සීමාව’ සම්මත කිරීම ද ඇසළ පුර පොහොයක සිදු විය.

■ ලක්දිව තුම්බුරු සීමා මාලකයේ දී අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහල කුමාරවරුන්ගේ පැවිදි උපසම්පදාව සිදු වූයේ ද ඇසළ පොහොය දිනයේ ය.

■ දෙවනපෑතිස් රජු විසින් මිහින්තලාවේ කණ්ඨක චේතිය වටා ඉදිකළ සැටඅටක් වූ ලෙන් සඟසතු කොට පූජා කිරීමත්, සංඝයා වහන්සේලා ප්‍රථම වරට ලංකාභූමියේ වස් එළඹීමත් ඇසළ පොහොයක ම සිදු විය.

■ ලක්දිව රජ පැමිණි ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහා නරේන්ද්‍රයා විසින් රුවන්වැලි මහා සෑ රදුන් තැනීමේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම උත්සවශ්‍රීයෙන් සිදු කරනු ලැබූයේ ද ඇසළ පුන් පොහෝ දිනක ය..

■ බුද්ධ වර්ෂ 847 වැන්නේ ලක්රජුන් වූ කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් කළිඟු රටින් වඩමවාගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේට උපහාර පිණිස කෙරෙන දළදා පෙරහැර ආරම්භ වූයේත් ඇසළ පුන් පොහෝ දිනයක යි. එය වත්මන දක්වා ම අඛණ්ඩව මහා උත්සවශ්‍රීයෙන් සිදු කෙරෙමින් පවතී.

සොළොස් කලාවෙන් ම ඇසළ සඳ පිරෙනා දිනයක් දැන් එළඹ තිබෙන්නේ. මේ පොහොය වර්ණනාව දැන සිත පහදාගෙන එළැඹුණු ඇසළ පුන් පොහෝ දිනයේ පිළිවෙතින් සරුව පින් පුරන්නට ඔබ සැමට වාසනාව ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.