කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනා සේ අහඹු ලෙස අප ලද මේ මිනිස් ජීවිතය පෙර කරන ලද අපූරු පින් මහිමයක ප්‍රතිඵලයකි. අප මව් කුස තුළ දස මසක් තුළ වැඩෙමින් ප්‍රකෘති ස්වභාවයෙන් මිදී මෙලොව එළිය දකී. අප රැගෙන එන පින් මහිමය අනුව එහි නිසි හෝ අනිසි ඉරණම්වලට මුහුණ පෑමට සිදුවේ. ලොව එළිය දැකීමට පෙර ම මව් කුස තුළ ම මිය යන, ලොව එළිය දුටුවද දින කිහිපයකින් හෝ මාස කිහිපයකින් හෝ සුළු කාලයකින් මිය යන ජීවිත උරුම කරගත් පිරිස් අතර අපි වාසනාවන්ත වෙමු.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති විවිධ දේශනා ඇතුලත් පොත් පත් අපට කියවන්නට ලැබේ. ඒවා පරිශීලනය තුළින් ද විශද වන්නේ අප ලද මේ මිනිස් ජීවිතය තුළ ළඟා කරගත යුතු අත්‍යන්ත අවශ්‍යතාව සසර ගමනින් මිදීම බවයි. නමුත් පෙර පින් බලයෙන් මෙලොවදී යහපත් ආත්ම භාවයක් ලැබීමට අප වාසනාවන්ත වුව ද, කෙමෙන් කෙමෙන් අප සමාජගත වීම ඔස්සේ අනිෂ්ට ක්‍රියාදාමයන්ට හවුල් වීමට මඟ හසර විවර වන අතර අපගේ මෙලොව ආගමනයේ මුඛ්‍ය පරමාර්ථය වූ සංසාර ගමනේ කෙළවර දැකීම යන අරමුණ අප තුළින් ඈත්ව විකෘති මනසින් යුත් සමාජයට හසුවීමට මඟ විවර වේ.

කුඩා අවදියේ ඉතා අල්ප වූ ලෝභ, දෝස, මෝහයන්ගෙන් යුත් ගතිගුණ වැරදි මගකට ප්‍රවිෂ්ට වූවන්ට මඟ හැරී යයි. ඒ වෙනුවට දුර්වල වූ පුද්ගලයන් ලෙස ලෝභ, දෝස, මෝහවලින් පිරි ජීවිතයක් ආරම්භ කරන්නට තරම් ඔවුන් පාපී වේ. ලද මනුෂ්‍ය දිවියේ අයහපත් ක්‍රියාවන්හී නියැලීම මතු ආත්මයට ද සැනසීමක් නොවේ. කුමන සමාජ තලයක අප උපත ලැබුව ද වංචාවෙන් වන සාර්ථකත්වයක් නොමැත. වංචාවෙන් අප කුමන හෝ ජයක් ලැබුවද එය ජයක් වූ නමුදු එය අප හිතට අසහනයක් වනු ඇත.

මෙලොව අප ලද මේ සම්පත් පින් මහිමයේ ප්‍රතිඵලයකි. තම ශරීර අංග නිවැරදිව නොතිබී දුක් විඳින අනේක ජනයා අතර ඇතැමුන් තම අත් පා රිසිසේ තිබියදී අනිසි ක්‍රියාවන්හි නියැලෙන්නේ ඔවුන් සසර ගමන, බුද්ධ ධර්මය නොදන්නා නිසා ද යන්න සංදේහයකි. අප රැස් කළ යුත්තේ ධනය නොව උතුම් වූ ධර්මයයි. එතුළින් ලැබෙන කුසලයයි. අප ඉවත් කළ යුත්තේ යහපත් වූ දේ නොව අයහපත් වූ පවිටු අදහස් ය. අප පාලනය කළ යුත්තේ තවකෙකුගේ භාවයන් නොව අපගේ භාවයන් ය. අප ලබාගත යුත්තේ මිනිස් දිවියක ලද හැකි සොඳුරු ඵලයක් මිස මිථ්‍යා ඵලයක් නොවේ. අනෙකා පරයා යන පුහු මාන්නයක් ද නොවේ. එනම් උතුම් නිර්වාණ සැපතයි.

තෙරුවන් සරණයි!

සටහන – ඕෂිනි පවිත්රා නෙත්මි