‘විවේකය’ ගැන අපේ ජීවිතවල මුලින් ම අදහසක් ඇති වුණේ පාසල් කාලයේ දී. කාලසටහනේ තැනක අපට විවේක කාලයක් තිබුණා. ඒ විවේක කාලය තුළ තමයි අපි කෑම කෑවේ, සෙල්ලම් කළේ, අධ්‍යාපනික කටයුතුවලින් වෙන් වෙලා හිතුමනාප දෙයක් කර කර හිටියේ… පුංචි ම සන්ධියේ පටන් ම විවේක කාලයට අපේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා.

ටික ටික ලොකු වෙද්දි “කොයි වෙලාවෙ ද විවේක කාලය ලැබෙන්නේ” කියලා නොඉවසිලිමත් වන තරමට ම විවේකයට අපේ හිතේ තියෙන කැමැත්ත බලවත් වුණා…

අපි, ශිෂ්‍යත්වෙ කළා… සාමාන්‍ය පෙළ කළා… උසස් පෙළ කළා… විශ්වවිද්‍යාලයේ ගියා… නැති නම් උසස් අධ්‍යාපන කටයුත්තක යෙදුණා… රස්සා කරන්න පටන් ගත්තා… මුදල් හරිහම්බ කරන්න පටන් ගත්තා… විවාහ වුණා… දරුමල්ලො ජීවිතයට එකතු වුණා… යාන වාහන, මිල මුදල්, කනකර ආභරණ, දේපළ, වස්තුව රැස්කර ගත්තා… අපි ජීවිතයේ යම් අභිවෘද්ධියක් කරා ගමන් කළා.

හැබැයි… අදටත් අපේ හිත්වල විවේකයට බලවත් කැමැත්තක් තියෙනවා… මේ කාර්යබහුල ජීවිතවලින් අත්මිදිලා විවේකයක් ලබන්නේ මොන කාලයේ ද කියලා අපිට සිතුවිලි උපදිනවා. උදේ අවදි වුණ වෙලාවේ පටන් රාත්‍රි නින්දට යන තුරු එකක් පිට එකක් වශයෙන් අප විසින් නිම කළ යුතු ව තිබෙන වැඩ රාශිය අතරේ යාන්තමින් විවේකයක් අරන් අපි පුටුවකට හේත්තු වෙලා ඇස් පියා ගන්නවා. පහසුකමක් තියෙනවා නම් පොඞ්ඩක් ඇඳක හාන්සි වෙනවා. නිදා ගන්න බලනවා. පුටුවෙ ම ඉඳන් මේසයට හිස තියාගෙන හරි නිදා ගන්නයි බොහෝ දෙනෙක් බලන්නේ. එහෙමත් නැති නම් විවේකයක් හොයන් සින්දුවක් අහනවා, ලස්සන දෙයක් බලනවා, පොතක් කියවනවා, පරණ සිද්ධ වුණ දෙයක් ගැන හිත හිත ඉන්නවා, ‘ඉස්සරහට මෙහෙම මෙහෙම වේවි’ කියලත් හිත හිතා ඉන්නවා… එහෙම නේ ද?

ඔය සිතුවිලි අතරේ වෙලාවකට සිනහවක් මතු වෙනවා… තවත් වෙලාවකට බොහොම බැරෑරුම් මුහුණුවරක් උපදිනවා… තවත් වෙලාවකට මුහුණ නපුරු වෙනවා… එක ඉරියව්වේ ඉන්න බැරි තරම් අපහසුවක් දැනෙනවා. ඉතින් නිදන් උන්නු කෙනා නැගිටිනවා… ඉඳගෙන උන්නු කෙනා ඇවිදින්න ගන්නවා… ඉරියව් වෙනස් වෙවී යනවා.

කවුරු හරි කෙනෙක් ඔය දේවල් බලන් හිටියොත් මේ වගේ නොයෙක් දේවල් අහනවා… “ඇයි තනියම හිනා වෙන්නේ?”, “මොකද මූඞ් ගහලා?”, “ඇයි කේන්තියෙන් වගේ?”, “ඔයා ඉන්නේ දුකෙන් වගෙයි… මොකක්ද වුණේ?”…

ඇත්තටම බලද්දි, අපි වැඩපළවලින් ටිකක් අත්මිදිලා ලබන්න උත්සාහ කරපු විවේකය තුළ අපි ඉඳලා තියෙන්නේ ඒ තරම් පහසුවකින් නෙමෙයි… ඒ වගේ ම, අපි ඒ ලබපු විවේකය තුළ උපදවපු විතර්ක අති බහුතරයක් අප ව සසරේ ගෙන යන, අප ව අනතුරට පත් කරවන විතර්ක ම යි.

එක්කෝ ඉෂ්ට, කාන්ත, ප්‍රියමනාප, කැමැත්ත ඇති කරවන, කෙලෙස් උපදවන සුලු ආස්වාදනීය රූපයක් ගැන, ශබ්දයක් ගැන, ගන්ධයක් ගැන, රසයක් ගැන, පහසක් ගැන තමයි අපි ඒ වෙලාවේ හිත පිහිටුවාගෙන ඉඳලා තියෙන්නේ. ඒ කාම අරමුණු ඔස්සේ ම යි කාලය ගෙවී ගිහින් තියෙන්නේ. ඒකට ධර්මයේ කියන්නේ ‘කාමච්ඡන්දය’ කියලා…

ඊ ළඟට කාගෙන් හෝ වුණ නුගුණක්, දෝෂයක් , වරදක් ගැන මෙනෙහි කරමින් උපදවාලූ අමනාපයක්, ගැටීමක්, තරහවක් තුළයි අපේ කාලය ගෙවී යන්නේ. ඉතින් මූණු නරක් වෙනවා. ඔරවා ගත් මුහුණින්, අපහසුවෙන් කාලය ගෙවනවා. ධර්මයේ මේ ගැන සඳහන් කෙරෙන්නේ ‘ව්‍යාපාදය’ නමින්…

එක්කෝ අපි කරන්නෙ පුටුවට හේත්තු වෙලා හරි, මේසෙට ඔළුව තියාගෙන හරි, ඇඳක හාන්සි වෙලා හරි, හිටගෙන ම හරි ඇස් දෙක පියාගෙන ඉන්න එක. දන්නෙ ම නැතිව ටිකකින් නින්ද යනවා. ඔය ගැනත් ධර්මයේ දැක්වෙනවා. ඒ ගැන කියන්නේ ‘ථීනමිද්ධය’ කියල යි.

තවත් වෙලාවකට අපි විවේකයෙන් ඉද්දි නොයෙක් අරමුණු ඔස්සේ හිත එහෙ මෙහෙ දුවන්න පටන් ගන්නවා. එකක් ඉවර වෙන්න කලින් තව අරමුණක් ඉපදිලා ඉවරයි. බොහොම වේගවත් සිතුවිලි රටාවක් අප ව වෙලා ගන්නවා. ඇතැම් ඇතැම් දේවල් සිහි කිරීමෙන් ‘අපරාදේ එහෙම වුණේ… ඇයි එහෙම වුණේ…’ කියන පසුතැවීම හිතේ උපදිනවා. ඉතින් නිරායාසයෙන් ම විවේක කාලය තුළ පීඩාවට පත්, වෙහෙසකර, බැරෑරුම් මුහුණු දකින්න ලැබෙනවා. ධර්මයේ ඒ ගැන කියන්නේ ‘උද්ධච්ච කුක්කුච්චය’ කියල යි.

ඔය සේරම පැත්තකින් තියලා තවත් වෙලාවකට අපි ධර්මය ගැන හිතන්න උත්සාහ කරනවා. එතකොට තැනින් තැන, එක එක විදිහට අහන්න ලැබුණු එකිනෙකට නොගැළපෙන විවරණ මතක් වෙනවා. සමහර වෙලාවට තර්කයට ගැළපිලා යනවා. සමහර වෙලාවට න්‍යායට ගැළපිලා යනවා. ඔය වගේ නොයෙක් දේවල් නොයෙක් විදිහට මතක් වෙද්දි අවසානේ අපට ම හිතෙනවා, ‘මේක ඇත්තක් ද දන්නේ නෑ… මේක මෙහෙම වෙන්නත් පුළුවන් නේ ද… මෙහෙම වෙන්න බැරි ද…’ යනාදි වශයෙන්. ඔය විදිහට උපදින සැකය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ‘විචිකිච්ඡාව’ යනුවෙනුයි…

ඔය දේවල් ඔස්සේ තමයි අපි වැඩපළ නවතා දැමීමෙන් පසුව උපයා ගන්නා කාලය ගෙවිලා යන්නේ… එහෙම නේ ද?

කවුරුහරි ඒ ගැන ඇහුවොත් අපි කියන්නේ මොකක්ද?

“ඔව්… පොඩි විවේකයක් ගත්තා…!!!”

ඉතින් ඒ කියන කථාව හරියට ම හරි ද? බලන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවන ධ්‍යානය ගැන මෙසේ වදාරනවා…

“කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විවේකයෙන් හට ගත්, ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඇති, විතක්ක විචාර සහිත පළමුවන ධ්‍යානය උපදවාගෙන වාසය කරයි…”

මේ කියන විවේකය, වැඩපළ නවතා දැමීමෙන් ම උපදවා ගත්තක් නෙවෙයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණයන්ගේ සන්සිඳීම ම යි මේ විවේකය. එකී පංච නීවරණයන් මැඩ පැවැත්වීම තුළයි විවේකය උපදින්නේ…!

එහෙම බලද්දි… ගෙවී ගිය ජීවිත කාලයේ අපට විවේකයක් ලැබුණා නම් ලැබුණේ මොන තරම් සුළු වෙලාවයි ද…! අපේ ජීවිත කාලය ම වගේ ගෙවී ගිහින් තියෙන්නේ අවිවේකයෙන්. මොනතරම් කැමති වුණත්, මොන තරම් උත්සාහ කළත් අපට ඒ සුන්දර විවේකය අහිමි වෙලා ගිහින්. අප විසින් ම ඒ විවේකය අහිමි කරගෙන කීවත් වරදක් නැහැ…

ඉතින්… විවේකයෙන් ඉන්නවා කියලා නීවරණ ධර්මයන්ට යට වෙලා නිවන අහුරා ගන්නවාට වඩා, වැඩපළ කරමින් ම මෛත්‍රී සහගත ව කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හසුරුවලා කුසල ධර්මයන්ගේ පිහිටමින් නිවනට ටික ටික සමීප වීම නේ ද හොඳ… නීවරණයන්ට යට නො වී ඒ අයුරින් සෑම මොහොතක ම කුසල ධර්මයන්ගේ පිහිටන්න පුළුවනි නම්, අතිශය කාර්යබහුල වූවත් සැබෑවට ම අපි ඉන්නේ විවේකයෙන්. ඒ සුන්දර විවේකය අප ව සමීප කරවන්නේ මේ ලෝකයේ පහළ වූ පරම සුන්දර, අනුත්තරීය, උත්තම විවේකයෙන් යුතුව ජීවිතය ගත කොට වදහළ මනුෂ්‍ය රත්නයට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට…!

අති දුර්ලභ සම්බුද්ධ ශාසනයත්, මනුසත් දිවියත් එක්ව මුණගැසී ක්ෂණ සම්පත්තිය හිමි වූ මේ මිනිස් ජීවිතයේ එදිනෙදා කටයුතු අතරේ ම, ඉතින් අපි විවේකයෙන් හිඳිමු… ඒ විවේකයට බලවත් කැමැත්තක් උපදවා ගනිමු…

සටහන – උදුලා පද්මාවතී