highlights of the week
Home » NEW ARTICLES » ශාක්‍ය කුලේ සියුමැලි කුමරාණෝ….

ශාක්‍ය කුලේ සියුමැලි කුමරාණෝ….

පිපාසයෙන් පීඩිත ව නිරුදක කතරේ ගමන් කරනා පුරුෂයෙකුට අතුපතර විහිද ගිය රුක් සෙවණක ගිමන් හරින්නට ලද සුළු කලෙක මෙන් සසර දුකින් පීඩිත අපගේ දිවිමඟට මනුලොව උපත සුළු කලෙකට ලැබීම සසරේ අත් විඳි පුණ්‍ය විපාකයකි. මනුලොව ලද උපත වඩාත් ආලෝකවත් වීම ඇරඹෙන්නේ සැබැවින් ම, කෙනෙකුගේ ජීවිතයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ ප්‍රභාෂ්වර සූර්ය මණ්ඩලයේ ප්‍රඥා හිරු කිරණ ලද විටයි. සැබැවින් ම ඔබත් මමත් පුණ්‍යවන්තයි. බුදුවරු සිව් දෙනෙකුගේ පහළ වීම සිදුවූ මෙම සොඳුරු කල්පයේ සිව්වෙනි වරට තිලොව සැපය පිණිස පහළ වූ ශාක්‍ය කුලයේ ගෞතම මුනිරජාණන් හද පුරා සරණ යන්නට අපට භාග්‍ය උදා විය.

“ඒකපුග්ගලෝ භික්ඛවේ, ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්ඡරිය මනුස්සෝ. කතමෝ ඒක පුග්ගලෝ. තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. අයං ඛෝ භික්ඛවේ, ඒක පුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්ඡරියමනුස්සෝ”

“පින්වත් මහණෙනි, ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම පුද්ගලයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහී ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයා ය.”

(ඒකක නිපාතය, අං. නි.)

සැබැවින් ම, ඒ බුදුරජාණන් වහන්සේගේ දිවිමග මුළුමනින් ම අසිරිමත් ය. උන්වහන්සේගේ ජීවිතය මෙලොව පරලොව කිසිවෙකුගේ හෝ ජීවිතය හා සම කළ නො හැකි තවත් එවැනි ම, බුදුවරයෙකු හා සමඟ පමණක් සම කළ හැකි අසමසම දෙයක් විය. සීලයෙන් මහපොළොව මෙන් වූ, සමාධියෙන් හිමවත් පව්ව සේ වූ, අනන්ත නුබ ගැබ වැනි ප්‍රඥා මහිමයකින් හෙබි ඒ භාග්‍යවතාණන්ගේ රූප ශෝභාව ද දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මහත් පුණ්‍ය ලක්ෂණයන්ගෙන් පිරී ගොස් තිබිණි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන කොසොල් දනව්වේ චාරිකාවේ වැඩම කරමින් සිටිද්දී, කොසොල් ජනපදයට අයත් වේනාගපුර නම් බ්‍රාහ්මණ ගමෙහි වැඩ සිටි සේක. එසමයෙහි, වේනාගපුරවාසී බ්‍රාහ්මණ ගෘහපතීන් හට මේ විදිහට අසන්නට ලැබිණි. “භවත්නි, ශාක්‍ය පුත්‍ර වූ, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි බවට පත් වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේනාගපුරට වැඩම කර සිටිනවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොස් තිබෙනවා. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක! අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. උන්වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු වූ මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝ සතුන් හට දේශනා කරනවා. ආරම්භය කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය ද කල්‍යාණ වූ, අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූ මුළුමනින් ම පිරිසිදු නිවන් මඟ දේශනා කරනවා. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොතරම් යහපත් ද?’ කියලා.”

එවේලෙහි, වේනාගපුර බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි විය. ඇතැමෙක් පිළිසඳර කතාබහේ යෙදීමෙනුත්, ඇතැමෙක් ඇඳිලිබැඳ ගෞරව දක්වමිනුත්, ඇතැමෙක් නිශ්ශබ්දවත් එකත්පස්ව වාඩි විය. වේනාගපුරවාසී වච්ඡගොත්ත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසී ය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා ආශ්චර්යයි. පුදුම සහගතයි. භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදි ඉන්ද්‍රියයන් අතිශයින් ම පැහැපත්. සමේ පැහැයත් පාරිශුද්ධයි. හරියට සරත් කාලයෙහි හට ගත් ළපටි ඩෙබර ගෙඩිය පිරිසිදුව දිලිසෙනවා වගේ. නටුවෙන් ගිලිහී ගිය ගමන් වැටුණු තල් ගෙඩිය දිලිසෙනවා වගේ. දක්ෂ රන්කරුවෙක් ඉතා හොඳින් කෝවෙහි දමා තලා පෙලා සැකසූ, දඹරන් නිකක් රත් පළසක් මත තිබෙද්දී ලස්සනට බබළනවා වගේ. භවත් ගෞතමයන් වහන්සේ දිග හාන්සි පුටු, කචිච්චි, ලොකු පළස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි ආදි උසස් ආසන, මහා ආසන සුව සේ ම පරිහරණය කරනවා ඇති.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ පැවසූ උසස් ආසන, මහා ආසන පැවිද්දන් හට ලැබෙනවා නම් එය දුර්ලභයි. ලැබුණත් කැප නෑ.පින්වත් බ්‍රාහ්මණය, උසස් ආසන තුනක් තියෙනවා. අන්න ඒ ආසන මම කැමති අයුරින් නිදුකින් ම ලබනවා. ඒ ආසන තමයි, දිව්‍ය වූ උච්චාසයනමහාසයන, බ්‍රහ්ම වූ උච්චාසයනමහාසයන, ආර්ය වූ උච්චාසයනමහාසයන කියන්නේ.”

වච්ඡගොත්ත බ්‍රාහ්මණයා නැවත භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්සේ පරිහරණය කරන දිව්‍ය වූ උච්චාසයනය මහා සයනය කුමක් ද?”

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් බ්‍රාහ්මණය, මා යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාසය කරද්දී, උදෑසන දන් වළඳා අවසන් වී වනයට පිවිසෙනවා. පිවිස කොළ රොඩු එකතු කොට ඒ මත දෙපට සිවුර අතුරා ඒ මත පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා වාඩිවෙනවා.

එසේ වාඩි වී මා පළමුවෙනි ධ්‍යානය උපදවා වාසය කරනවා. එමෙන් ම, දෙවැනි ධ්‍යානය, තෙවැනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය උපදවා වාසය කරනවා. එබඳු විහරණයකින් මම සක්මන් කරනවා නම්, එය දිව්‍ය සක්මනයි. එබඳු විහරණයකින් මා හිඳගෙන ඉන්නවා නම් එය මාගේ දිව්‍ය වාඩි වීම යි. එබඳු විහරණයකින් සැතපී සිටී නම්, සිටගෙන සිටී නම් එය මගේ දිව්‍ය සැතපීම යි, දිව්‍ය සිටීම යි.”

“භවත් ගෞතමයන් වහන්ස, මෙය නම් ආශ්චර්යයි. අද්භූතයි. ඔබ වහන්සේ හැරුණු විට මෙවැනි උච්චාසයනමහාසයන කවරෙකු නම් ලබාවි ද?

භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ නිදුකින් සුවසේ ලබන බ්‍රහ්මාසනය කුමක් ද?”

“පින්වත් බ්‍රාහ්මණය, උදෑසන දානයෙන් පසු වනයට පිවිසෙන මා කොළ රොඩු එකතුකොට අසනයක් පනවාගෙන පළඟක් බැඳ ඒ මත වාඩි වී, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගන්නවා. එසේ මම වාඩි වී සියලු දිසාවල පැතිරී සිටින හැම සතුන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරුවා හරිමි. එමෙන් ම, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව සියලු සතුන් කෙරෙහි පතුරුවා හරිමි.

එබඳු විහරණයකින් මම සක්මන් කරනවා නම් එය මාගේ බ්‍රහ්ම සක්මනයි. වාඩි වී සිටිනවා නම් එය බ්‍රහ්ම වූ වාඩි වීම යි. සැතපී සිටී නම් එය බ්‍රහ්ම සැතපීම යි.”

සා පිපාසයෙන් පෙළෙන්නෙක් හට රසවත් මී පිඬු ගුලාවක් ලැබුණු විට, ඔහු ඉතා ලොල් බවින් එහි රස ම සොයයි ද අසිරිමත් භාග්‍යවතාණන්ගේ සොඳුරු විස්මිත ගුණ අසන වච්ඡගොත්ත බ්‍රාහ්මණයාගේ සිතිවිලි ධාරාව බුදුරජුන් පිළිබඳ දැනගැනීමේ නොනිමි ආශාවෙන් පිරී ගියේ ය.

“භවත් ගෞතමයන් වහන්සේ නිදුකින් බොහෝ සෙයින් ලබන ආර්ය උච්චාසයන මහා සයනය කුමක් ද?”

“පින්වත් බ්‍රාහ්මණය, උදෑසන දානයෙන් පසු වනයට පිවිසෙන මා කොළරොඩු එකතු කොට, ඒ මත දෙපට සිවුර අතුරා ඒ මත පළඟක් බැඳ වාඩි වී භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙනවා. මම මේ විදිහට දැන ගන්නවා. මාගේ රාගය ප්‍රහාණය වී තිබෙන්නේ. මුලින් ම උදුරා දමා තිබෙන්නේ. මාගේ ද්වේෂය, මෝහය මුලින් ම සිඳී ගොසිනි. කරටිය සිඳුනු තල් ගසක් මෙනි. යළි හට නොගන්නා ස්වභාවයෙන් යුතුවයි තියෙන්නේ.

පින්වත් බ්‍රාහ්මණය, එබඳු විහරණයකින් මා සක්මන් කරනවා නම් එය මාගේ ආර්ය සක්මන යි. යම් විදිහකට එලෙස සැතපෙයි ද එය මාගේ ආර්ය වූ සැතපීමයි. එබඳු විහරණයකින් සිටගෙන සිටින විට එය මාගේ ආර්ය වූ සිටගෙන සිටීමයි.”

“භවත් ගෞතමයන් වහන්ස ආශ්චර්යයි. අද්භූතයි. මෙවැනි ආර්ය වූ උච්චාසයනමහාසයනයක් ඔබ වහන්සේ හැර අන් කවරෙකු නම් මෙලෙසින් ලබන්න ද?”

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිත පිබිදී ගිය වච්ඡගොත්ත බ්‍රාහ්මණයා ශ්‍රී පාද පියුම් වැඳ වැටෙමින් තෙරුවන් සරණ සමාදන් විය.

“භවත් ගෞතමයාණෙනි, ඉතා සුන්දරයි. යටට හැරවූ දෙයක් උඩට හැරවූ සේ ය. වැසූ දෙයක් විවර කොට දැක්වූවා සේ ය. දෑස් ලද අයට රූප දැක්මට තෙල් පහන් දැරුවා සේ ය. අද පටන් මම දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යමි.”

සමාහිත සිත දරා සිටි අපගේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර ගැඹුරු සමාධියට සමවැදි සේක. උන්වහන්සේ තුළ සියලු සතුන් කෙරෙහි පැවති මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව පැවසීමට මෙලොව වදන් හමු නො වේ.

තම බලපරාක්‍රමය පතුරුවන අය අතරින් අග්‍ර වූ පාපී මරු, කෙලෙසුන්ට වසඟ වූ සත්වයන්ගේ ඤාතියා බුදුරජාණන් වහන්සේ පසුපස වර්ෂ හතක් සෙවණැල්ල සේ ලුහුබැන්දේ ක්ලේෂමාත්‍රයක් බුදුරජුන්ගේ සිත කය වචනය තුළින් හසුකර ගැනීමට යි. තමන් වහන්සේගේ චිත්ත සන්තානය තුළ පැවති හැම කෙලෙස් දොවා හළ සම්බුදුරජුන්ගේ පවිත්‍ර දිවිය තුළ කාට නම් වැරදි සෙවිය හැකි ද? නෙළුම්පතේ දිය නොරඳින්නා සේ කෙලෙස් නොතැවරෙන ඒ සම්බුදු හද මල ඒකාන්තයෙන් සදා පිවිතුරුයි.

මෙවැනි සොඳුරු ගුණැති අනුත්තර ධර්මරාජයාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් සරණ යන්නට ලැබීම අපගේ ජීවිතයට ඇති උතුම් ම පිළිසරණ ම ය.

(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.