ජැක් මා නු ලෝකය තුල රැඩිකල් වෙනසක් කළ දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල දැවැන්ත අලිබාබා ව්‍යාපාර ජාලයේ හිමිකරු ය. ඔහු දැනට ආසියාවේ ධනවත් ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු ජැක් මා තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි.

ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර 40ක් පදිමින් නතර වුයේ Hangzhou හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේ ම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වූවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරනු ලැබුවා.

ජැක් මා ජීවිතය තුල බොහෝ පරාජයන් ලැබූ මිනිසෙකි. අවසානයේදී මෙම පරාජයන් නිසා ම මහා පන්නරයක් ලැබූ අයෙකි. ඔහු රැකියා සම්මුඛ පරීක්ෂණ 30 කින් ප්‍රතික්ෂේප වූ අයෙකි. වරෙක KFC ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ 23 දෙනෙකු අතරින් අසමත් වූයේ ජැක් මා පමණි. එමෙන්ම හාවර්ඞ් සරසවියට ඔහු යොමුකළ අයදුම්පත 10 වතාවක් ප්‍රතික්ෂේප වූ බව ඔහු වරෙක ප්‍රකාශ කලේ හාවර්ඞ් සරසවියට ආරාධිතයෙකු ලෙස දේශනයකට පැමිණි අවස්ථාවකදී ය.

කෙසේ නමුත් ඔහු 1994 දී අන්තර්ජාලය ගැන හැදෑරීමක් කළ අතර එවිට ඔහුගේ වයස අවුරුදු 30කි. 1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයට ම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහා ම සිදුවෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. පසුව Alibaba Group ලෙස තවත් සමාගම් එකතු කර ගනිමින් ඔහු ව්‍යාපරය වර්ධනය කරගන්නා ලදී.

මෙම සමාගමට “අලිබාබා” යන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන් ම මෙසේය.

“දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ‘ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. ‘නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා.

ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා ‘දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’ වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා ‘අලිමාමා’ කියන නමත් ලියාපදිංචි කළා.”

2012 වසරේදී අලිබාබා සමාගම විසින් ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙන ය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ වෝල්මාර්ට් (Walmart) ද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය. 2012 නොවැම්බර් මාසය තුලදී මෙම ව්‍යාපාරය තුල online ගනුදෙනු ප්‍රමාණය චීන යුආන් ටි්‍රලියනය ඉක්මවනු ලැබුවා. මේ නිසාම අද වනවිට ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපතිවරයාගේ සිට සෑම ධනවතෙකුම ජැක් මා ගේ සමීපතමයන් ය.

1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ‘ජැක් මා’ ගේ සැබෑ නම වන්නේ ‘මා යුන්’ ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.

2008 වසරේදී ඔහු ලොව හොඳම ආයතන ප්‍රධානීන් 30 අතරට පත්වූ අතර 2014 දී චීනයේ බලගතු ව්‍යවසායකයන් අතර ඉදිරියෙන්ම පසුවූවා. පුංචි තැනකින් ජීවිතය අරඹා ස්වෝත්සාහයෙන් ඉදිරියටම ගිය ජැක් මා දියුණුවට කැමති සැමදෙනෙකු විසින්ම කියවිය යුතු, හැදෑරිය යුතු අපුරු චරිතයකි.

උපුටා ගැනීම – www.aluth.com වෙබ් අඩවියෙනි.