‘ආදරය’ ලෝකයේ පවත්නා මානුෂීය හැඟීමක් ලෙසයි සැලකෙන්නේ. ආදරය අත් නොවිඳි අයෙක් අප අතර නැහැ. මාපියන්ගේ, ගුරුවර වැඩිහිටියන්ගේ, ලේ ඤාතීන්ගේ, හිතමිතුරන්ගේ ආදරයෙන් නොහිස් අපේ ජීවිත තුළ යම් කාල පරාසයක දී ප්‍රේම සම්බන්ධතාවයක් ලෙසින් ගොඩනැගෙන ආදරයන් ද යෝජිත විවාහයන් තුළ ගොඩනැගෙන ආදරයන් ද හදවතට වඩාත් සමීප වනවා. “මේ වයසේ දී එය සිදු වනවා” කියා නිශ්චිත ව කියන්නට පුළුවන්කමක් නැහැ. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තුළ ඒ ආදරයට නියමිත කාල රාමුවක් නැහැ. නමුත්… අප කොයි කවුරුනුත් එවැනි ආදර සබඳතාවල කොටස්කරුවන් වූවා සහ වනවා කියන එක සත්‍යයක්.

ආදරය හුදු හැඟීමක් ද?

සදාචාර සම්පන්න සමාජය තුළ සම්මත යැයි සැලකෙන ආදර සබඳතා වගේ ම අසම්මත යැයි සැලකෙන ආදර සබඳතා ද අප ජීවත් වන වටපිටාවේ තිබෙනවා. ඒ වගේ ම විඳින ආදර සබඳතාත්, විඳවන ආදර සබඳතාත් තිබෙනවා. සාර්ථක විවාහයක් සහිත පවුල් ඒකකයක් ගොඩනගන ආදර සබඳතා වගේ ම සසරට ම අර්බුදයක් කොටගෙන එකිනෙකා කෙරෙහි වෛරී සිත් බලවත් කර ගන්නා ආදර සබඳතා ද අප දකිනවා. ආදරය යනු මානුෂීය හැඟීමක් යැයි සලකන්නේ නම් මේ විෂම ස්වභාවයන් අප පුදුම විය යුතු කාරණයන් නොවෙයි. අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් බැට කමින් පිරිහෙන සමාජ ක්‍රමයක හුදු චිත්තාවේගයක්; විශේෂයෙන් සෑම මොහොතක ම වෙනස් වන සැලෙන සිතක උපදින හැඟීමක් හුදෙක් සැපය, සුවය, පහසුව පිණිස පවතී යැයි කිසිසේත් ම නොසිතිය යුතු යි.

ඔබත් ආදරය විඳි හෝ විඳින කෙනෙකු වන්නට පුළුවනි. ඇතැම් විට ඔබ ආදරය කළවුන් අද සිටින්නේ කොහේද කියාවත් ඔබ නොදන්නවා වගේ ම ඔබ සිටිනවා ද නැද්ද යන වග ඔවුන් ද නොදන්නවා වන්නට ද පුළුවනි. ඔබ හිමි වුණු ආදරය නිසා දුක ද සැප ද විඳින හෝ අහිමි වී බිඳී ගිය ආදරය නිසා පීඩා විඳින සිතක උරුමකරුවෙක් වන්නට ද පුළුවන්. එහෙමත් නැති නම්, හිමි වුණු ආදරයට වඩා අහිමි වුණු ආදරයේ වටිනාකම් දකින කෙනෙකු වන්නට පුළුවන්. ප්‍රීතිමත් හෙට දවසක් ගැන බොහෝ ප්‍රාර්ථනාවන් සිත්හි දරාගෙන ආදරයේ අරුණෝදයේ ප්‍රබෝධවත් සිතින් ඉන්නා අයෙකු වන්නටත් පුළුවනි. ඒ කා හටත් සසර යහපත පිණිස උපකාරක වන සොඳුරු ධර්ම පර්යායන් කිහිපයක් පාදක කරගෙන ආදරය ගැන සටහනක් තබන්නට මේ සුදුසු කාලය යි කියා සිතුණා… එහෙම සිතුවේ වැලන්ටයින් නිසා නොවෙයි; ආදරවන්තයන්ට විවාහ වෙන්න උපකාර කළ වැලන්ටයින් සිටි කාලයට කල්ප ගණනක් එපිට දුරාතීතයේ හිඳ ‘ආදරය යනු හැඟීමක් නොව ගුණධර්මයකි’ කියා අපට පණිවිඩ එවූ උතුම් මිනිසුන් ගැන අසන්නට ලැබුණු නිස යි…

මිහි මඬල සසල කළ ආදරේ…

අද කාලයේ ආදර සබඳතාවල දී සසල වන්නේ ආදරවන්තයන් දෙදෙනා. එහෙම නැති නම් ඔවුන්ගේ පවුල්වල උදවිය සහ සමීපතමයින්. එහෙම සසල වන්නේත් නොගැළපීම්, අර්බුද, පීඩා ආදිය නිස යි. ඒ දේවල් බොහෝ දුරදිග ගියොත් ලෝකය ම සසල වන ඛේදවාචකයකින් කරුණු කාරණා අවසන් වන්නට ද පුළුවනි. එහෙම නැති ව, සිත්හි උපන් ආදරයක ආනුභාවය නිසා ලෝකය සසල වූ තැනක් අප නූතන ලෝකයේ අසා නැහැ. හැඟීම්වලට අවනත ව තීරණ ගන්නා ලෞකික කටයුත්තක් බවට ආදරය පත් වුණා ම ලෝකය සසල කරන ආනුභාවයක් එයට හිමි වන්නේ නැහැ.

නමුත්, ආදරය සාංසාරික යහපත පිණිස පවත්නා ධර්මයක් ලෙසින් දියුණු කළ පුණ්‍යවන්තයින් ඒ ආදරයේ අනුහසින් මිහිමඬල සසල කළා. ඒ තමයි පිප්ඵලී කුමාරයාත්, භද්ද කාපිලානි කුමරියත් සසරේ අවසන් වරට බැඳි විවාහ ජීවිතය බ්‍රහ්මචාරී ව ගෙවා, ලොව පහළ වූ රහතන් වහන්සේලා උදෙසා තමන් විසින් ම සිවුරු දරාගෙන, ‘මේ පැවිද්දන් හට පැවිදි වීත් දෙදෙනා එක්ව සිටීම අත්හළ නොහැකි වී ඇත’ ය යන අපවාදය නගා ලෝකයා පාපයට වැටෙනු අකමැති ව දෙදෙනා දෙමඟක යනු පිණිස වෙන් වූ මොහොත. සසරේ ද බොහෝ කාලයක් විවාපත් ව බඹසර ආරක්ෂා කළ, උතුම් බඹසර සීලය පිණිස දෙදෙනා හට දෙදෙනා විසින් නොමඳ ව අනුග්‍රහ කළ, සසරේ යළි හමු වීමක් නොවන පරිද්දෙන් නිවනින් නිවී සැනසීම පිණිස උරුමය ඇති ව වෙන්ව යන ඒ පින්වත් යුවළගේ ආදරයේ මහිමයෙන් ඒ මොහොතේ පොළොව සැලී ගියා.

එසේ පොළොව සසැලීමෙන් ම තුන්ලෝකාග්‍ර සම්බුදුරජුන් මේ දෙදෙනා අමා මහ නිවන පිණිස පිළිපන් බව දැන පිප්ඵලී ශ්‍රමණයා වෙනුවෙන් පෙරමගට වැඩියා. ආදරය හුදෙක් හැඟීමක් වූවා නම් එය රාගයට, ද්වේෂයට, මෝහයට බැඳී යනවා. අකුසල චිත්තයක පොළොව සසල කරවනා ආනුභාවයක් නැහැ. නමුත්, මේ දෙදෙනාගේ ආදරය මෛත්‍රියෙන්, දියුණුව කැමැත්තෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන් වැඩී ගත්තක්. සිව් බඹ විහරණයෙන් පිරි එවැනි සබඳතාවයකට කිව යුත්තේ හැඟීමක් කියා නොවෙයි; ගුණධර්මයක් කියා යි. මිහිමඬල සසල වූයේ ඒ උතුම් ගුණය ඉදිරියේ යි…

නැසෙන පණ යළි නගන ආදරේ…

ආදරයේ නාමයෙන් නොහැඬූ, එනිසා දුක් පීඩා නොවිඳි අය සිටිනවා නම් ඒ බොහෝ ම සුළු පිරිසක්. එකක්, දෙකක්, තුනක් ආදී වශයෙන් සම්බන්ධතා කිහිපයක් දක්වා වුවත් දරුණු චිත්ත පීඩා ලබමින්, එහෙයින් ම කායික පීඩා ලබමින් සිටින්නවුන් අපට ඕනෑ තරම් සොයා ගන්නට පුළුවනි. ජීවිතයේ එක්ව හිඳීම පිණිස තෝරා ගත් පාර්ශවකරුවාට පීඩා උපදවන දරුණු, නපුරු, තියුණු වචන භාවිත කරන අයුර වගේ ම තවත් බොහෝ පීඩාකාරී චර්යාවන් ගැහැනු පිරිමි භේදයකින් තොරව අද සමාජයේ දකින්නට ලැබෙනවා. මේ සා පීඩා විඳින්නට කුමට නම් එක් වනවා ද කියා සිතෙන තරමට මේ බොහෝ සබඳතාවයන් වේදනාකාරී යි. නමුත් සැබෑ ම ආදරය ජීවත් වන්නවුන් නොමරා මරා දමන්නක් නොව මළවුන්ට වුව ජීවිතය දෙන්නක් බව යි බෝසත් චරිතය අපට පෙන්වා දෙන්නේ…

ඒ දුරාතීතයේ හිමාල වනයෙහි සඳගිරි පව්ව පාමුල කිඳුරු යුවළක් ව බෝසතාණන් වහන්සේත්, යශෝදරා දේවියත් දිවි ගෙව්වා. මනහර මල් ඇතිරිලි පිරීගත්, සොබා සිරියෙන් අනූන ඒ සොඳුරු වන පියසේ සඳ කිඳුරා ස්වකීය වස්දඬුවෙන් මිහිරි ගී රාව නගද්දී සඳ කිඳුරිය ඒ තාලයට නර්තනයේ යෙදෙමින්, ගයමින්, සොබා සිරි නරඹමින් සතුටු වුණා. ඒ මොහොතේ මුව දඩයමේ ගොස් හුන් බරණැස් රජු අතිශය රූපවත් සඳ කිඳුරිය දැක ඈ කෙරෙහි ලොල් වී හීයකින් විද කිඳුරා ව විපතට ඇද දැමුවා. විෂ හී පහරින් සිහිසුන් ව මරණාසන්න ව කිඳුරා විපතට පත් වූ බව දුටු සඳ කිඳුරිය ශෝකය දරා ගන්නට නොහැකි ව මේ විපත කළවුන්ට fදා්ෂාරෝපණය කරමින් මහ හඬින් හඬන්නට වුණා.
ඒ මොහොතේ කිඳුරිය වෙත එළඹි බරණැස් රජු දහසය දහසක් වූ පුරාංගනාවන්ට අග මෙහෙසිය බවට ඇය ව පත් කරන බවත්, නොහඬන ලෙසත් පවසන්නට පටන් ගත්තා. ඔහුගේ බසින්, ‘මේ මාගේ ස්වාමියාට විදි තැනැත්තා ය’ යැයි දැනගත් සඳ කිඳුරිය බියෙන් ද ශෝකයෙන් ද වෙවුලා වැටෙමින් වහා සඳගිරි පව්ව මුදුනට දිව ගොස් හඬමින් ශාප කරන්නට පටන් ගත්තා…

“මේ සා දුකක් උපදවන ලද පාපිෂ්ටය, ද්‍රෝහිය, මා උදෙසා මාගේ ස්වාමියා ව මැරුවේ නම් මාගේ ස්වාමියාට පැමිණි මරණ දුක තොපට ම වේවා! මට පැමිණියා වූ මරණ ශෝකය තොපගේ අඹුවට වේවා! පාපිෂ්ටය, තොපගේ මව් ද නොදැක සොහොනට යේවා! දුෂ්ට මහරජ, තොපට ශාප වේවා!”

මෙසේ දෙස් දෙවොල් නගමින් ශාප කරන සඳ කිඳුරිය අස්වසන්නට උත්සුක වෙමින්, තමාට බිරින්දෑ ව රජ සැප විඳින්නට රජ ගෙයට එන ලෙස බරණැස් රජු නැවත ඇරයුම් කළා. “ඔහු කෙරෙහි ස්නේහයෙන් හඬා මිය යතත් මා වෙනුවෙන් මාගේ නිරපරාධ ස්වාමියා ව මරා දැමූ තොප සමඟ නොඑමි” යි කියා කිඳුරිය බරණැස් රජු ව දැඩි ව ප්‍රතික්ෂේප කොට ශාප කරමින් හඬන්නට වුණා. සඳ කිඳුරිය තමන් වෙත නම්මවා ගත නොහැකි වූ බරණැස් රජු කිපී හැරී ගියා. ඒ සැබෑ ආදරයේ ආනුභාවය මනුලොව පමණක් නොව දෙව්ලොව ද කළඹාලන ආශ්චර්යයක් බවට පත් වූ සිදුවීමේ ඇරඹුම යි.

බරණැස් රජු බැහැර වූ බව දුටු සඳ කිඳුරිය සඳගිරි පව්ව පාමුලට යළි පැමිණ සඳ කිඳුරාගේ දේහය පර්වත මුදුනට වෑයමෙන් ගෙන ගියා. ඔහුගේ හිස තම ඇකයෙහි හොවාගෙන ඇය මෙසේ වැළපෙන්නට පටන් ගත්තා.

“ආදර ස්වාමීනි, පෙර ඔබ සමඟ පර්වත ගුහාදියෙහි සිත් සේ කෙළිදෙලෙන් ඇවිද දැන් ඔබෙන් වෙන්ව මම් කෙසේ නම් සැනසෙන්න ද…? අප මෙතෙක් කල් කෙළිදෙලෙන් පසු වූ ඇළfදාළ ගංගා වැලි තලා මල්ගොමු ලියවැල් ආදිය අද මට අඳුරු ගුහා මෙන් හතරවටින් දිස් වේ. අනේ හිමියනි, කාගේ මුහුණ බලා ඉතින් මම් දුක්ගිනි නිවා ගන්න ද?

අනේ ලෝකපාලක දෙවියනි, මේ දුක මට ගෙන දුන්නේ කවරෙක් ද? ඉතින් දෙව් කෙනෙක් මෙලොව ඇත්නම් ම’හිමිට පැමිණි දුක නොපෙනේ ද?”

ප්‍රිය විප්පයෝගයෙන් පහර කෑ සඳ කිඳුරියගේ වැළපුමෙන් සක් දෙව් රජුන් හට තව්තිසාවේ තවදුරටත් රැඳී හිඳින්නට නොහැකි වුණා. බමුණු වේශයෙන් සඳගිරි පව්වට පැමිණි සක් දෙවිඳු පැන් කෙණ්ඩියකින් පැන් ඉස සඳ කිඳුරාගේ විෂ බස්සවා ඔහු ව සුවපත් කළා. එදා සඳගිරි පව්ව මුදුනේ දී මරණයේ එළිපත්තට වැද හුන් සඳ කිඳුරාට යළි ජීවිතය ලබා දුන්නේ සඳ කිඳුරියගේ ආදරය යි… සැබෑ ආදරය යනු පණ රැක දෙන්නක් මිස පණ නසන්නක් වත්, පණ පිටින් සිටිය දී ම මරණ වේදනා ගෙන දෙන්නක් වත් නොවෙයි. එසේ වන්නේ, අප පෙරත් කී පරිද්දෙන් ම ආදරය යනු ගුණධර්මයක් මිස චිත්තාවේගයක් නොවන නිස යි.

අපට හමු වන්නේ අප ම ය…

සසරේ අප කාටත් පොදු එක්තරා ධර්මතාවයක් තිබෙනවා. ඒ තමයි, අපට අප ව ම හමු වීම… සසරේ අප ආදරණීය චරිතයක් ව අන් අයට සැපය, පහසුව, සුවය සැලසුවා නම් මේ ජීවිතයේ අපට ලැබෙන්නේත් සැපය, පහසුව, සුවය සලසන ආදරයක්. එහෙත්, සසරේ අප අපට ආදරය කළවුන් නොයෙක් අයුරින් පීඩාවට පත් කළා නම්, ආදරය විහිළුවක් ලෙසින් ගෙන අවමානයට ලක් කළා නම් අද අප කොතරම් ආදරණීය චරිතයක් බවට පත් වුවත්, අප අද හද පත්ලෙන් ම ආදරය කළත් එහිලා ලැබෙන ප්‍රතිචාරය අපට සුවපහසුව සලසන්නක් වන්නේ නැහැ. අපට මේ හමු ව තිබෙන්නේ අප ම යි. එනිසා, ආදරය හමුවේ සැප සේ වසන්නෙක් වේවා, දුක සේ බොහෝ පීඩා විඳින්නෙක් වේවා කර්මයේ ස්වභාවය සිහි කොට උපේක්ෂාවට පත් වීම යි කළ යුත්තේ.

මේ ජීවිතයේ දී නොලැබුණත්, සසරේ දී හෝ අපට යහපත සලසන, සැපපහසුව සලසන, පිනට උපකාරක වන ආදරණීයයන් මුණගැසෙන්නට අප දැන් එසේ කටයුතු කරන්නවුන් ව සිටීම යි හේතු සම්පත් සකසන්නේ. එනිසා, ලැබෙන ආදරය ගැන උපේක්ෂා සහගත වන අතරේ ලබා දෙන ආදරය ගැන වගකීම් සහගත වන්න. පෙර ජීවිතවල අපට නොසෑහෙන්න වරදින්නට ඇති. එහෙත් මෙවන් ධර්මයක් ඇසුණ මේ ජීවිතය වරද්දවා ගන්නට එපා…

ආදරය කිසිසේත් ම විහිළුවක් නොවෙයි. ආදරය එක ම මෛත්‍රී ප්‍රවාහයක්. කරුණා නිධානයක්. අනුන්ගේ යහපත, හිතසුව කැමත්තවුන් හට පින් පුරවන මුදිතා දයා පිරි ගුණ සාගරයක්. ඉවසීම බලවත් කරලන පුණ්‍ය ක්ෂේත්‍රයක්. සසරට ඇද වැටෙන්නට නොව සසරින් එතෙර වන්නට මග හෙළි කරන්නක්. ඒක පාර්ශවික ව වූවාට කමක් නැහැ, එවන් ආදරයක් ජීවිතය තුළ පුරුදු කරන්න. එය ඔබට මේ ජීවිතයේත්, බොහෝ කාලයක් සසරේත් යහපත පිණිසයි පවතින්නේ, හිතසුව පිණිසයි පවතින්නේ. ද්වී පාර්ශවික ව ම එවන් මහඟු ධර්මයන්ගෙන් සුපෝෂිත ආදර සබඳතාවයක් දැනුදු ලෝකයේ වේ නම්, සාදු! සාදු!, ඒ තමයි සැබෑ ආදරය…! එවන් ආදර බැඳීමක් ගොඩනැගෙන්නේ සසර වාසනාවෙන්.

අප දායාද කරගෙන පැමිණි කර්ම ස්වභාවයන් කෙබඳු ද කියා අප දන්නේ නැහැ. බැඳීම් ඇති වීමේ දීත් අපට විෂය නොවනා ඒ කර්ම ස්වභාවයන් ඒ මත බල පැවැත්වෙනවා. කොහොම නමුත් බැඳිම් සම්බන්ධයෙන් ලෝකයේ බහුල වශයෙන් පවත්නා එක්තරා පොදු ස්වභාවයක් අප දකිනවා. ඒ තමයි, හිත යන්නේ යම් කෙනෙකුට ද ආදරය කරන්න හිමි වන්නේ ඒ කෙනා නෙවෙයි. ඒ වගේ ම ආදරය කරන්න හිමි වන කෙනා නෙමෙයි බොහෝ දෙනෙකුට විවාහයට හිමි වන්නේ. අතීතයේ ප්‍රිය වූ, මනාප වූ, කැමැති වූ දේවල් අතරින් අපේ ජීවිතවල මේ වෙද්දි අත්පත් කොටගෙන තිබෙන්නේ බොහොම සුළුතරයක් පමණයි. ඒ ස්වභාවයට උපේක්ෂා සහගත නොවුණහොත් අප අවට පරිසරය සමඟ නිරන්තරයෙන් ගැටීම් ගොඩනගා ගන්නා අසාර්ථක චරිත බවට පත් වනවා. ඒ නිසා, සසරේ අපට මුණගැසුණේ අප ම වන බව නිතර සිහිපත් කිරීම බොහොම වැදගත්. බිඳුනු හිත හදා ගන්නත් එය උපකාරක යි. නොදුන් දෙයක් අප කෙලෙස ලබන්න ද…?

ආදරය ගුණයක් කොටගෙන
ගුණයන්ට ආදරය කරන්න

ආදරය කරද්දී අමතක නොකළ යුතු ම පාඩමක් තවත් ජාතක කථාවක දී අපට මුණගැසුණා. ඒ තමයි උදය ජාතකය. මරණින් මතු උතුම් සැපය පිණිස උදය රජුත්, උදයභද්‍රා බිසවත් බඹසර සීලයේ සමාදන් ව විසූයේ විවාපත් ව සිටිය දී යි. ඔවුන් දෙදෙනා අතර එක්තරා පොරොන්දුවක් තිබුණා. ඒ තමයි, ඔවුන් අතරින් පළමු ව මරණයට පත් වන කෙනා සුජීවත් ව සිටින කෙනා වෙත පැමිණ තමන් සැපවත් ජීවිතයකට පත් වූ බව දැන්විය යුතු යි යන්න. කළ කම් පරිද්දෙන් උදය රජු පළමුවෙන් මරු වසඟයට ගියා. නිදා පිබිදියාක් සේ දෙව්ලොව උපන්නා. සත් දිනක් දිව්‍ය සම්පත්තියෙන් සතුටු ව පොරොන්දු රකිනු පිණිස මිනිස් අත්භවයේ තම මාලිගය වෙත එළඹුණා. හැබැයි ඒ උදය රජුගේ වෙසින් නොවෙයි.

ඒ රාත්‍රියේ සුකුමාර දිව්‍ය පුත්‍රයා දේවිය නිදන සිරියහන් ගබඩාවේ කවුළුව සමීපයේ පෙනී සිටියේ රන් පාත්‍රයක රන් කාසි පුරවාගෙන යි. ඒ තිළිණය දක්වමින් ඔහු තමන් හා කාමාස්වාදයේ යෙදෙන ලෙස රජ බිසවට ඇරයුම් කළා. නමුත්, බඹසර සිල්හි ඇළුණු සිත් ඇති – උදය රජු කෙරෙහි ආදර භක්ති ඇති රජ බිසව එය ප්‍රතික්ෂේප කළා.

ඊ ළඟ රාත්‍රියේ දී ද දෙව්පුතු එහි එළඹියා. එවර ඔහු රන්කාසි පුරවාගෙන පැමිණියේ රිදී පාත්‍රයක යි. කම් සැප විඳිනු පිණිස වන ඔහුගේ සුපුරුදු ඉල්ලීම එකහෙළා බැහැර කළ ද රජ බිසව ඔහු ගෙන ආ තිළිණයේ වූ වෙනස ගැන අසන්නට තීරණය කළා. කෙනෙකුගේ ආදරය පතන විට කැමැත්ත ලැබෙනා තුරු වටිනාකමින් වැඩි දේ ගෙන යාම ආදරවන්තයන්ගේ ස්වභාවය. අද ගෙනෙන දෙයට වඩා අඩු වටිනාකමින් යුතු දෙයක් හෙට ගෙන ආවොත් කවුරු වුණත් එවැන්නෙකුට කැමති වන්නේ නැහැ. කවුරුවත් එවැනි අනුවණ දෙයක් කරන්නේ ද නැහැ. නමුත් මේ සුකුමාර පෙනුමැති පුරුෂයා කළේ එවැන්නක්. රජ බිසව ඒ ගැන යි විමසුවේ…

“සුන්දරිය, මා කළේ කළ යුත්තක් ම යි. මිනිස් ලොව හිඳින ඔබ ඊයේ මා ඔබට කාමාස්වාදය පිණිස ඇරයුම් කරද්දී යම් ආයුෂයක්, වර්ණයක් දරා සිටියා ද අද වන විට එය පිරිහී ගොසින්. දිවා රැය ගෙවී යද්දී ඔබේ රූපය ද පිරිහී යනවා.”
මෙය යි දෙව්පුතුගේ පිළිතුර. මේ සිදුවීම අවසානයේ දෙව්පුතු රජ බිසවට තමා හඳුන්වා දී තවදුරටත් සීල සංවරයේ, ඉන්ද්‍රිය දමනයේ යෙදෙන ලෙස අවවාද කොට නික්ම ගියා. ඒ රජ බිසව ද එපරිද්දෙන් ම ජීවිතය ගෙවනු පිණිස පැවිදි වූවා. විවාහකයන් වුව ද කලින් කල හෝ බඹසර සිල් සමාදන් වීමේ වටිනාකම වගේ ම අප මේ පුවතින් උගත යුතු තවත් ලොකු පාඩමක් තිබෙනවා. ඒ තමයි, ආදරය යනු මොහොතින් මොහොත ගෙවි ගෙවී යන, දිර දිරා යන, නැසි නැසී යන ඉඳුරන් කෙරෙහි බැඳී ගත්තක් නොවිය යුතු බව. එහෙම නොවී, නැසී වැනසී යන ඉඳුරන් කෙරෙහි කැමැත්තෙන් ආදරය කළොත් ඒ ඉඳුරන් නැසී වැනසීි යද්දි උපන් ආදරය ද වියැකී යාවි. එනිසා, ගුණ හඳුනාගෙන, ගුණයන්ට කැමැත්තෙන්, ඒ ගුණයන්ගේ වැඩී යාම – දියුණුව කැමැත්තෙන් උතුම් ගුණධර්මයක් ලෙසින් ආදරය පුරුදු පුහුණු කිරීම යි වටින්නේ…

එවන් උතුම් ආදරයක ආදරණීය හිමිකරුවෙකු වන්නට, ගුණධර්මයක් ලෙස දියුණු කරමින් ඔබත් ලෝකයට ආදරය කරන්න…

තෙරුවන් සරණයි!

සටහන – උදුලා පද්මාවතී