ප්‍රශ්න කවදා ඉවරවෙයි ද’ කියලා අපි හිතන්න ගත්තොත්, අපිට ඒ සිතුවිල්ල ම මහා ප්‍රශ්නයක් බවට පත් වේවි. ඇත්තෙන් ම බොහෝ දෙනෙකුට තිබෙන මහා ප්‍රශ්නේ ඒක ම තමයි.

‘ඒත් .ඉතිං ප්‍රශ්න ම එක දිගට එනකොට අපි වෙන මොනවා හිතන්ට ද?’

කෙනෙකුට එහෙමත් ප්‍රශ්න කරන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නයට අතිශයින් ම සාර්ථක පිළිතුරක් තමයි මේ ලිපියෙන් දිග හැරෙන්නේ. මෙතැන් සිට වදනින් වදන ඔබ මේ ලිපිගත ඔස්සේ ඉදිරියට යන්න. ඔබටත් ඒ පිළිතුර හමුවේවි.

ඈත අතීතයේ ඉන්දියාවේ බරණැස නමින් මහා රාජ්‍යයක් තිබුණා. එහි රජකම් කළා බ්‍රහ්මදත්ත නමින් රජෙක්.

ඒ රජ කුලයට බොහොම බිහිසුණු ප්‍රශ්නයක් තිබුණා. ඒක දරුණු අමනුෂ්‍ය දෝෂයක්. මේ රජකුලයේ රජුට දාව උපදින හැම දරුවෙක් ම එක් යක්ෂණියක් බිල්ලට අරගත්තා. ඒ රාජකීය පිරිසත් ‘මේ ප්‍රශ්නේ කවදා ඉවර වෙයි ද’ කියලා මේකට විසඳුමක් හෙව්වා. විසඳුම් විදිහට නොයෙක් දේ කළත්, ප්‍රශ්නෙ වැඩි වුණා මිසක් විසඳුනේ නෑ.

යකුන්ගෙන් බේරෙන්ට ගෙයක්

මේ අතරේ එක පඬිවරයෙක් රජ්ජුරුවන්ට මෙහෙම උපදෙසක් දුන්නා. “දේවයනි, මේකට කොරන්ට ඕනා මෙහෙම වැඩක්. මහබිසවුන් වහන්සේ අයෝඝරයක (යකඩෙන් තැනූ නිවසක්) වාසය කරවා අයෝඝරයෙ දී දරුවා වදන්ට ඕනි. කාය බලය ඇති වන තාක් ඒ දරුවා එළියට ගන්ට නාකයි. හොඳ පරෙස්සමෙන් රකින්ට ඕන.”

මේ තීරණේට රජ්ජුරුවෝ කැමති වුණා. ඉක්මනින් ම අයෝඝරයක් කෙරෙව්වා. මහබිසව එහි වාසය කෙරෙව්වා. ඇය අයෝඝරයේ දී ගැබ් ගත්තා. ඒ ගැබේ පිළිසිඳ ගත්තේ මහා පින්වන්තයෙක්. ඒ වෙන කවුරුත් නොවේ, සසර ගමනේ පෙරුම් පුරමින් පැමිණි අපගේ මහබෝසතාණන් වහන්සේ. ඒ පින්වන්ත දරුවා පිළිසිඳ ගන්නකොට ම අර දරුණු යක්ෂණී ඒ ජීවිතෙන් චුත වුණා. යක්ෂ දෝසේ දුරු වුණා. ඒත් මනුස්ස ලෝකේ කවුරුත් ඒක දන්නේ නැහැනේ.

ඒ නිසා බෝසත් සිඟිත්තා  උපන්නේත් හැදී වැඩුණේත් අයෝඝරයේ.ම.යි. සුළුපටු කාලයක් නොවේ. දහසය අවුරුද්දක් ම අයෝඝරයෙන් පිටට අඩියක්වත් නොතබා සිටින්ට සිදු වුණා. ඒ නිසා හැමෝම කුමාරයාට කිව්වේ ‘අයෝඝර කුමාරයා’ කියලා.

සාමාන්‍ය කෙනෙක්ට මෙහෙම වුණා නම් හැම තිස්සෙම හිතාවි ‘මේ ප්‍රශ්නෙ කවදා ඉවර වෙයි ද?’ කියලා. ඒත් මහබෝසත් අයෝඝර කුමාරයා හිතුවේ විස්මයජනක විදිහකටයි. ඒක වුණේ මෙහෙම. අවුරුදු දහසයක් වෙද්දී, කුමාරයා තරුණයි. ශක්ති සම්පන්නයි. උපාය වීමංසනයෙන් යුක්තයි. ඉතින් බ්‍රහ්මදත්ත කියන පියරජු කල්පනා කළා ‘දැන් මාගේ පුත්‍රයා අයෝඝරයෙන් පිටතට පැමිණියාට කමක් නෑ, ඔහු දැන් ජවසම්පන්නයෙක්.

රාජ්‍යයත්වයට පවා සුදුස්සෙක්. අද.ම ඔහුව අයෝඝරයෙන් පිටට ගෙන, වීදි සංචාරය කරවා, මහා ජනකාය මැද රාජ්‍යයත්වය ලබාදිය යුතුයි’. එසේ සිතූ රජු ඒ අයුරින් කටයුතු කළා.

රජ සැපත් එපා කිව්වා

එහෙත්, රාජ්‍යයත්වය බාර ගැනීම අයෝඝර කුමාරයා ප්‍රතික්ෂේප කළා. තමන් විවේකීව වනගත වී සුචරිත දහම පුරුදු කරන්න කැමති බව පැවසුවා.

රජු ඇතුළු පිරිස එය අසා විස්මයට පත් වී විමසනවා, “ඔබට කුමකින් අඩුවක් ද මේ ජීවිතේ, මීටත් වඩා කුමක් ද හොයන්නේ?”

“අවුරුදු දහසයක් අයෝඝරයක් තුළ සිරවී සිටි මම, මේ ජීවිතේ ගැන බොහෝ දේ තේරුම් ගත්තා.” කුමාරයා මෙසේ පැවසූ විට රජු ඇතුළු පිරිස පවසා සිටියේ මෙයයි.

“අයියෝ කුමාරයාණෙනි, ඒ ප්‍රශ්නේ දැන් ඉවරයිනේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ නොවැ. දැන් ඔබ බලවතෙක්.

ජවසම්පන්නයෙක්. ධනවතෙක්. ඇයි තාමත් ඒ ප්‍රශ්නේ ගැන සිතන්නේ?”

දැන් ඒක ඉවරයි. ආයේ මොන ප්‍රශ්න ද?

බලන්න ඒ පිරිස පැවසූ දෙය. අදත් අප බොහෝ දෙනා ජීවත් වෙද්දී හිතන්නේ මේ ක්‍රමයට ම යි. ජීවත් වෙනකොට නොයෙක් ප්‍රශ්න කලින් කලට පැමිණෙද්දී, ‘අයියෝ! කවදා මේවා ඉවර වේවිදෝ’ කියලා අපි ඒ ප්‍රශ්නයේ කොටස්කාරයෙක් වී විඳවනවා. යම් කලෙක එය අවසන් වෙනකොට ‘දැන් ඒක ඉවරයි. දැන් කිසි ප්‍රශ්නයක් නෑ’ කියලා අපි හිතනවා.

ඇත්තට ම ජීවිත කාලෙ ඇතුළේ මේ වෙද්දී පුද්ගලයින් හේතුවෙන් වේවා, හිත් අමනාපකම් ආදියෙන් වේවා, සතුරන්ගෙන් වේවා, ලෙඩදුක් ආදිය නිසා, අමනුෂ්‍ය කරදර නිසා, අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයන් නිසා, මේ ආදී නොයෙක් දේ නිසා කී වතාවක් ‘මේ ප්‍රශ්නවල ඉවරයක් නෑනේ’ කියලා හිතල ඇද්ද ඊළඟට ‘දැන් නම් ප්‍රශ්නයක් නෑ’ කියලා හිතල ඇද්ද.

ඇත්තට ම මොකක්ද අපට වුණේ?

ප්‍රශ්න ඇවිත් ගියා ද? එහෙමත් නැත්නම්… අපිට හරියටම ප්‍රශ්නෙ තේරුණේ නැද්ද? එදා අයෝඝර කුමාරයා ඒ රාජකීය පිරිසට ජීවිතය පිළිබඳ ව පුදුම සහගත හෙළිදරව්වක් කළා. එය අපගේ ශාස්තෘවර මහා කාරුණික ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අයෝඝර’ ජාතක පුවතේ දී දේශනා කොට වදාළා.

එදාටත් වඩා මෙය ගැළපෙන්නේ අදට යි.

අප කාටත් මේ වෙද්දීත් වසංගත රෝගයක් නිසා ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා. එදා අයෝඝර කුමාරයා කියූ ගාථා තේරුම් ගනිද්දී, ඔබට සිතේවි මේ ගාථාවන් වඩාත් ම ගැළපෙන්නේ අදට යි කියලා. අයෝඝර කුමරු එදා මේ විදිහටයි පැවසුවේ.

“යම් රාත්‍රියක හෝ යම් දහවලක හෝ මව්කුසක පිළිසිඳ ගන්නා මේ මිනිස් ජීවිතයට එදා සිට සිදුවන්නේ මරණය කරා යාමටයි. ආපසු හැරීමක් නැත. සුළඟට හසු වූ වලාකුළක් නොනැවතී, සුළඟ අනුව හමා යන්නා සේ, ආයුෂ ගෙවී යාමට හසු වූ ජීවිතය මරණය තෙක් ගමන් කරන්නේ ය.

හැම ජීවිතයක් ම ඉපදීම, වයෝවෘද්ධ වීම ආදී උපද්‍රවයන්ට හසු වෙමින්, මරණය කරාම යන අයුරු පෙනේ. යුද කරන්නා වූද, බලවත් බවින් ලොව වසඟයට ගත්තා වූද මිනිසුන් පවා නාකි වීමෙන්, මරණයෙන් මිදෙන්නේ නැති බව පෙනේ. මෙසේ ‘හැම දෙනා ඉපදීම, නාකි වීම යන උපද්‍රවයෙන් පීඩිතව සිටින්නේය කියා දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙමි’ කියන සිතයි මාහට ඇතිවන්නේ.

බිහිසුණු ස්භාව ඇති සිව්රඟ සෙනඟ පිරිවරාගෙන, රට රාජ්‍ය ජය ගන්නා, රට රාජ්‍යයන්ට අධිපති වූ රජවරු මේ ලොවේ සිටිති. ඒ කිසිවෙක් මරණය ජය ගැනීමට උත්සාහ නොකරන බව පෙනෙන විට ‘මම නම් ධර්මයේ හැසිරෙමි’ කියන සිතයි මාහට ඇතිවන්නේ.

සතුරු උවදුරු පැමිණෙන විට ඇත් අස් රිය පාබල යන මහා සේනා පිරිවර බලයෙන්, ඇතැමෙක් ඒ සතුරු උවදුරුවලින් මිදෙන අයුරු දකින්නට ලැබෙති. එහෙත් ඔවුහු මරණයෙන් මිදෙන්නට උත්සාහ නොකරන බව දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙමි’ කියන සිතයි මාහට ඇතිවන්නේ.

ඇත් අස් රිය පාබල ආදී මහා සේනාවන්ගෙන් යුක්ත සූරයෝ, සතුරු සේනා සිඳබිඳ හෙළා, සතුරන් විනාශ කර දමති. එහෙත් කිසිදු සූරයෙකුට මරණය වැනසීමේ උත්සාහයක් නැත. මෙසේ දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙමි’ කියන සිතයි මාහට ඇතිවන්නේ.

මද වෑහෙන මහා හස්තීන් කිපී නගර මැදට පැන නගරය මඬිමින්, ජනයා නසනා අයුරු පෙනේ. එබඳු කායබල ඇති හස්තීන්ටවත් මරණය මැඬලීමේ උත්සාහයක් නැත. මෙසේ දකිනා මාහට ‘මම නම් ධර්මයේ හැසිරෙමි’ යන අදහස ඇතිවේ.

වීර ධනුර්ධරයෝ සිටිති. ඔවුහු අතිශයින් ම දක්ෂයෝ ය. දුර තිබෙන සතුරු ඉලක්ක පවා සැණෙකින් හඳුනාගෙන නසා දමන්නෝ ය. එහෙත් ඒ කිසිවෙකුත් මරු නැසී යන සේ ඉලක්කයට විදින්ට උත්සාහ නොකරති. මෙසේ දකිනා විට මා හට සිතෙන්නේ ‘මම නම් ධර්මයේ හැසිරෙන්නෙමි’ කියාය.

බොහෝ දිය පිරුණු මහා වැව් පොකුණු විල් ආදිය පවා කාලයාගේ ඇවෑමෙන් සිඳී යන්නේ ය. මේ පෙනෙන්නට තිබෙන මහා පර්වත ආදිය පවා කාලයාගේ ඇවෑමෙන් වැනසී යන්නේ ය. මෙසේ දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙන්නෙමි’ කියන සිතයි මාහට ඇතිවන්නේ.

චංචල වූ ජීවිතය

මේ ස්ත්‍රී පුරුෂ කොයි කාගෙත් ජීවිත චංචල ය. කොයි මොහොතේ මරු හමුවේ නැසී යාවිදැයි කියන්ට බැරි ය. බේබද්දෙකු ඇඳ සිටින වස්ත්‍රයක් මෙනි. ඛාදනය වෙන ගං ඉවුරක තිබෙනා ගසක් මෙනි. මේ ජීවිතය අවිනිශ්චිත වූවකි. ඔය අයුරින් ජීවිතය ගැන දකිනා මා හට ‘ධර්මයේ හැසිරෙන්නෙමි’ යි සිතේ.

පුංචි අයත්, වැඩිහිටියෝත්, මැදිවයසේ උදවියත්, ස්ත්‍රී පුරුෂ කොයිදෙනාත් මැරි මැරී යන්නේ හරියට ගස්වල ගෙඩි වැටෙනවා වගේ. මෙසේ දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙන්නෙමි’ කියන අදහසයි මාහට ඇතිවන්නේ.

හඳ පිරෙන්නාක් සේ මේ සත්වයන්ගේ ආයුෂ පිරෙන්නේ නැත. ජීවිතේ යම් කාලයක් ගත වී ඉක්ම ගියා ද ඒ කාලය යළි පැමිණෙන්නේ ද නැත. පිළිවෙළින් ජීවිතේ ගෙවා දාලා වයසට පත් වුණාම මේ තිබෙන කාම සැප සම්පත් ගැන ඇල්මක් ඇති වන්නේ නැත. ඉතින් එසේ තිබිය දී මේ සජීවී අජීවී කාමය ගැන සැපයි කියන්නේ කොහොම.ද? ජීවිතේ ඔය ස්වභාවය දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙමි’
කියන සිතයි මාහට ඇතිවෙන්නේ.

යක්ෂයෝ, පිශාචයෝ, ප්‍රේතයෝ ආදීන් කිපුණාම ඒකුන් හිංසා පීඩා කරන්නේත් මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලටයි. මරුට හිංසා කරන යකෙක්වත්, පිශාචයෙක්වත්, පෙරේතයෙක්වත් නැහැ. මේවා දකින මාහට ‘ධර්මයේ හැසිරෙන්නෙමි’ යන අදහස ඇතිවේ.

යකුන්, ප්‍රේතයෝ, පිශාචයෝ ආවේශ වුණාම නොයෙක් බලි තොවිල් ආදිය කිරීමෙන් නිදහස් වෙන්න පුළුවනි. ඒත් මරණයෙන් නිදහස් වීම පිණිස කරන්ට බලි කර්මෙකුත් නැහැ. නටන්නට තොයිලයකුත් නැහැ. ඒ නිසා ම ‘ධර්මයේ හැසරෙන්නෙමි’ යි යන අදහස මාහට ඇතිවේ.

අපරාධකාරයෝ, දූෂකයෝ, ජනයා පෙළන්නෝ අල්වාගෙන කරපු අපරාධ දොස් වෙනුවෙන් නිසි දඬුවම් පමුණුවාලීමට රජවරුන්ට හැකියි. ඒත් ජීවිතවලට කරන අපරාධය වෙනුවෙන් මරුට දඬුවම් පමුණුවන්ට උත්සාහවත් වෙන කිසිවෙකුත් නැහැ. මෙසේ දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙන්නෙමි’ කියන අදහස මාහට ඇතිවේ.

අපරාධකාරයෝ, දූෂකයෝ, ජනයා පෙළන්නෝ කොතරම් වැරදි කළත් ඇතැම් අවස්ථාවල රජවරුන්ගෙන් නිදහස් වීමක් ලබන අයුරු ද පෙනේ. ඒත් කිසිවෙකුත් මරුගෙන් නිදහස් වෙනු නොපෙනේ. මෙසේ කියද්දී මා හට ‘ධර්මයේ හැසිරෙන්නෙමි’යි සිතේ.

මොහු රජෙක් කියා හෝ මොහු බ්‍රාහ්මණයෙක් කියා හෝ මොහු සැප සම්පතින් ආඩ්‍ය වූවෙකි, බලවතෙකි, තේජාන්විත තැනැත්තෙකි කියා හෝ මරු හට අපේක්ෂාවක් නැත්තේය. අර්ථයක් ද නැත්තේය. හැමදෙනා මරණය කරා පමුණුවන්නේය. මෙසේ දකිනා මා හට ‘ධර්මයේ හැසිරෙන්නෙමි’ යි සිතේ.

සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, දිවියෝ ආදී රුදුරු වන සතුන් ගොදුරු අල්වාගෙන දරුණු ලෙසින් විනාශ කරනු පෙනේ. එහෙත් මරු ගොදුරක් කොටගෙන කෑමට උත්සාහ කරනු නොපෙනේ.

මෙසේ දකිනා විට ‘ධර්මයේ හැසිරෙන්නෙමි’ කියා මා හට සිතේ.

මායාකාරයෝත් මුළා කරවන මරණය

මායාකාරයෝ රඟමඬල මැදට පැමිණ නොයෙක් ඇස්බැන්දුම් පෙන්වා  ජනයාගේ ඇස් රවටන අයුරු දකින්නට ලැබෙත්. එහෙත් යම් කිසි මායාවකින් මරණය රැවටීමට උත්සාහ නොකරයි. මෙසේ දකිනා විට සිතෙන්නේ මම නම් ‘ධර්මයේ හැසිරෙන්නෙමි’ යි කියාය.

උග්‍ර විස ඇති, උග්‍ර තේජස් ඇති සර්පයෝ කිපී අහිංසක මිනිසුන්ට දෂ්ට කොට නසා දමනු දකින්නට ලැබුණත්, මරුට දෂ්ට කිරීමට උත්සාහ වන බවක් දකින්නට නැත. මෙවිට ‘ධර්මයේ හැසිරෙන්නෙමි’ යි යන අදහස මා හට ඇතිවේ.

කිපුණු විෂඝෝර සර්පයෝ දෂ්ට කළ විට ඒ ඕනෑම විෂක් නැසිය හැකි දක්ෂ සර්ප වෙදුන් සිටියි. එහෙත් මරු දෂ්ට කළ කල්හී ඒ විෂ නැසිය හැකි කිසිවෙක් ඇත්තේ නැත. ඒ නිසාම මා හට සිතෙන්නේ ‘මම නම් ධර්මයේ හැසිරෙන්නෙමි’ යි කියාය.

ධම්මන්තරී, වේතරණී, භෝජ ආදී විෂ වෛද්‍යවරු අන් අය සුවපත් කරමින් සිටියත්, ඔවුන් කරා මරු පැමිණි විට ඔවුහුද, කළුරිය කළාහු ය. මෙසේ දකිනා විට ‘මම නම් ධර්මයේ හැසිරෙන්නෙමි’ යන අදහස මාහට ඇතිවේ.

‘ඝෝර’ කියන විද්‍යාව හදාරපු විද්‍යාධරයන්ට පුළුවන් ඒ ශිල්පයේ තිබෙන ඖෂධ බලයෙන් අන් අයට නොපෙනී ගමන් කරන්න. ඒත් කිසිවෙකුටවත් කිසි ශිල්පයකින්වත්, කිසි ඖෂධයකින්වත් මරණයට නොපෙනී ගමන් කිරීමට පුළුවන්කමක් නැහැ. ඒ නිසාම ‘මාහට ධර්මයේ හැසිරෙන්නෙමි’ යන මේ අදහස ඇතිවේ.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං, ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති;
ඒසානිසංසෝ ධම්මෝ සුචිණ්ණෝ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.

ධර්මයේ හැසිරෙන කෙනාව රැකගන්නට ධර්මයට පුළුවනි. ධර්මයේ හැසිරෙන කෙනාට සැප උපදිනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තාට ලැබෙන ආනිශංසය මෙයයි. ඔහු මරණින් මත්තේ දුගතියේ යන්නේ නැහැ.

න හි ධම්මෝ අධම්මෝ ච, උභෝ සමවිපාකිනෝ;
අධම්මෝ නිරයං නෙති, ධම්මෝ පාපේති සුග්ගතින්ති.

ධර්මයත්, අධර්මයත් කියන දෙක කිසිම අයුරකින් සම විපාක ලබා දෙන්නේ නැහැ. අධර්මයේ හැසිරෙන හේතුවෙන් මරණින් මතු නිරයේ වැටෙනවා. ධර්මයේ හැසිරෙන උදවිය සුගතියේ උපදිනවා.

උත්තරේ ‘ධර්මයේ හැසිරීම විතර ම යි’

ඔන්න ඔය අයුරින් එදා අයෝඝර නම් බෝසත් කුමාරයා පැවසූ වටිනා දහම මේ ලිපිගතෙන් ගෙනහැර දැක්වූයේ වත්මන් කාලයට එය වඩාත් ගැළපෙන නිසා. අයෝඝර ජාතකය ඇසුරින් සැකසූ මේ ලිපිය යළි යළිත් කියවන්න. නුවණින් විමසන්න.

ප්‍රශ්න කම්කටොලුවලින් පිරුණු මේ ජීවිතයේ ඒ හැම ප්‍රශ්නයක් සඳහා ම ඇති පිළිතුර ධර්මයේ හැසිරීම විතර ම යි.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි