බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වූ අසිරිමත් පුණ්‍යභූමිය වන්දනා  කරමින් ගැයුණ “සිරිබුද්ධ ගයා විහාරේ” නමැති ගීතයෙන් ඇරඹී “සිරිපා වඳිමු මුනිගේ”, “දොහොත් මුදුන් තබා වඳිමි කැලණි විහාරේ”, “ලෝනා මුනි රාජගේ”, “ඔබේ නමින් සෑය බඳිමි” ආදී වශයෙන් අභිරංජනය වූ වන්දනා ගීත සාහිත්‍යයේ තවත් අග්‍රගණ්‍ය ගී පද සරණියක රසභාව විමසුමකට අප අවධානය යොමු වූයේ ලක්විරු ගුවන්විදුලි නාලිකාවෙන් වරින් වර ඇසෙන ගීතාභිවන්දනයෙන් උපහාර ලබන සේරුවාවිල චෛත්‍ය රාජයන් වහන්සේගේ මහානීය පූජාර්හ අගය දිනෙන් දින ශ්‍රාවක අධ්‍යාත්මයන් ප්‍රභාවත් කරවන හෙයිනි.

අතීත යුගයේ රාජරාජ මහාමාත්‍යාදීන් ඇතුළු මහා ජනකාය විසින් පුද පූජා පවත්වන ලද සේරුවාවිල මංගල මහා චෛත්‍යරාජයන් වහන්සේ, මිථ්‍යාදෘෂ්ටික පර සතුරන්ගේ කුරිරු ප්‍රහාරවලින් නටබුන්ව ගොස් ගන කැලයෙන් වැසී පැවතිණ. එසේ වුවද ඒ උතුම් සෑ රදුන් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ මතකයෙන් බැහැර නොයා ගරු බුහුමනින් යුතුව අනුස්මරණය කළ බව ජන කාව්‍ය වංශයේ අග්‍රගණ්‍ය කෘතියක් වන ධාතු වන්දනා කාව්‍යයෙන් පැහැදිලි වෙයි. මීට අවුරුදු තුන්හාරසියයකට පෙර රචනා කරන ලදැයි සැලකෙන එම කාව්‍යය ලියූ ජනකවියා, ඡද්දන්ත ජාතකයේ එන ඇත් රජුව උපන් අප මහා බෝසතාණන් තම දළ දෙක දන් දුන් පුවතේ සිට බුදුරජාණන් වහන්සේ දක්වා වූ අසංඛෙය්‍ය කාලයක් එක් කවියකින් අනුස්මරණය කළේ මෙසේ ය.

කලෙක මුනිඳු උපනිය
සද්දන්ත කුලේ
දළ දෙක කපා දුන්නයි
බුදු බවට ලොලේ
දළ පිහිටා, දාගැබ්
බඳවාපු කලේ
ලළාට ධාතු පිහිටියෙ
සේරුවා විලේ

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මල්ල රජ දරුවන්ගේ මකුට බන්ධන අංගනයේ දී ආදාහනය කරන ලද ශ්‍රී දේහයෙන් ශේෂ වූ ධාතූන් වහන්සේලා  අතරින් විශාලතම ධාතූන් වහන්සේ වන ලළාට ධාතූන් වහන්සේ සේරුවාවිල තිස්ස මහා විහාරයේ නිදන් කරන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමාගේ මී.මුණුබුරෙකු.වූ රුහුණේ කාවන්තිස්ස..රජතුමා..විසිනි. එතුමාගේ පුත් දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහසෑයේ නිදන් කළ ද්‍රෝණයක් වූ සර්වඥ ධාතූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවීමට පෙර වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේලා  දෙනම වූයේ දකුණු අකු ධාතූන් වහන්සේත්, ලළාට ධාතූන් වහන්සේත් ය.

දෙදහස් වසරකට අධික කාලයක් ලාංකේය සැදැහැති ජනකායගේ අප්‍රමාණ පූජාවන්ගෙන් උපහාර ලබන සර්වඥ ධාතූන් වහන්සේලා අරභයා ලියැවුණු හා වාචෝද්ගතව පැවතෙන අඛණ්ඩ සාහිත්‍යයක් අපට උරුමව ඇත්තේය. එම දහම් සාහිත්‍යය වංශකථාවන්ගෙන්, ආඛ්‍යානයන්ගෙන්, කවියෙන් මෙන්.ම ගීතයෙන් උපශෝභිතව ඇත්තේය. මෙම පූජාර්හ ඇගැයුම ආරම්භයේ දී සඳහන් කළ පරිදි විශිෂ්ට ගීතාභිවන්දනයකට ඉඩහසර සලසා ගැනීම සඳහා ය පෙර කී පසුබිම් පුරාවත සැකෙවින් ඉදිරිපත් කරන ලද්දේ.

බෞද්ධ සභ්‍යත්වයේ සුවඳ දැවටුණ, දෙදහස් පන්සිය වසරක් පැරණි සිංහල භාෂා සාහිත්‍යයේ මහිමය විදහා පාන මෙම ගීතය නූතන ගීත හා සංගීත ක්ෂෙත්‍රයේ සිංහරාජයන් තිදෙනෙකු බඳු වූ ත්‍රිපුද්ගල සමවායක ප්‍රතිඵලයකි.

ගීතයේ පබැඳුම විශිෂ්ට ගී පද රචකයෙකු ව සිට අප අතරින් වෙන්ව ගිය ආචාර්ය අජන්තා රණසිංහ සූරීන් විසිනි. ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතය සැපයූ එම ගීතය ගායනා කළේ විසාරද සුනිල් එදිරිසිංහයන් ප්‍රමුඛ ගායක කණ්ඩායම ය. කවර ලෙසින් පද බැන්ද ද සුගායනීය බව පිරී ඉතිරී දැවටෙන පින් අරුතින් සපිරි හෙළ බසේ මහරු අරුමය මේ ගී පද මාලාවෙන් නොපැනේ ද?

“සම්බුද්ධරාජ ශ්‍රී ගෞතම ලළාට ධාතු නිදන්ගත සේරුවාවිල මහ සෑගිරි
සාදු සාදු වන්දනා කරම්…//
මේ මහා භද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතර
කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මුනිවර…//
ඒ පූජනීය ශාරීරික ධාතු නිධන් කර
නිම කෙරූ වෙහෙර වඳිමූ වත්තක මල් පුද කර
සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලළාට ධාතු…
අප බුදුන් තෙවැනි වර ලක වැඩි උතුම් උදානය
සමරා කළෝ බුදුහු මෙබිම පුෂ්පෝපහාරය…//
අප යුගත සිරස බැඳ වැඳ වැඳ එවන් විහාරය
නිර්වාණ සුඛ විඳිමු තරණය කර සංසාරය
සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලළාට ධාතු නිදන්ගත සේරුවාවිල මහ සෑ.ගිරි
සාදු සාදු වන්දනා කරම්…!”

ගීතය පුරා ඉතිර පැතිරෙන, සකු, පාලි, හෙළ වදන් තරඟ වෙමින් නඟන ගීත ස්වරය වූ කලී බුදුරජාණන් වහන්සේ උදෙසා පිදූ නානා වණින් සුවඳින් හාත්පස ඉතිර පැතිර ගිය සුගන්ධ පුෂ්පයෙන් වැසී ගිය සෑරදුන් වෙත සකල ලක්වැසි දනන් එක්ව නැඟූ සාදුකාර නාදයක් වැන්න.

ගීතයේ ස්ථායි ගායන ඛණ්ඩයේ ගැයෙන “සෑගිරි” යන වදන සේරුවාවිල චෛත්‍යරාජයන් වහන්සේගේ ප්‍රෞඪත්වයත්, ගාම්භීරත්වයත්, පූජනීයභාවයත් එක් විට ධ් වනිත කරන්නකි. ජාතක පාළියේ ඡද්දන්ත ජාතකයේ පැනෙන සප්ත ගිරි පර්වතය ගැන කියන “ගිරී බ්‍රහන්තෙ” යන වදන් සිහිපත් කරවන ධ්වනියක් එහි ගැබ්ව ඇත.

අප ගෙවමින් පවත්නා මේ මහා භද්‍ර කල්පයෙහි උතුම් සම්බුද්ධත්වයට පත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන සතර බුදුවරයන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ දේශයක් මේ මිහිපිට වී නම් එය වූ කලී තුන් ලොවෙහි ම උත්තම වූ දේශය යි.

ජම්බුද්වීපය හැරුණු විට වෙනත් යම් දේශයක යම් ස්ථානයකට සිව් මහා සම්බුද්ධෝත්තමයන් වහන්සේලාගේ පා පහස ලැබී නම්, එතැන ම උන් වහන්සේලාගේ ශාරීරික ධාතු නිදන්ගත වී නම් ඒ එක ම පුණ්‍යභූමිය වූ කලී සේරුවාවිල මංගල මහ සෑය පිහිටි ස්ථානය යි. ඒ පින්බිම වන්දනා කරන්නේ ‘වත්තක මල්’ පූජා කරමිනි. ගීතයේ දෙවැනි අන්තර් ඛණ්ඩයේ දී ගැයෙන “වෙහෙර වඳිමූ වත්තක මල් පුද කර” යන පාදයන් එක් විට අපට සිහිපත් කරවන්නේ පසුගිය මෑත අතීතයේ දී සේරුවාවිල මහ සෑය උදෙසා පවත්වන ලද අසදිස මල් හා පලතුරු පූජාවන් ය. අතීත යුගයේ රාජරාජ මහාමාත්‍යාදීන් මහ සෑය වන්දනා කිරීම උදෙසා මල්, පලතුරු හා ඖෂධ වන උයන් රෝපණය කරවූ බව පැරණි සාහිත්‍ය ග්‍රන්ථයන්හි කියැවෙයි. මහියංගනය, රිදීමාලියද්ද, දිගාමඬුල්ල ආදී ප්‍රදේශවල පැවති එබඳු වන උයන් අද පවා ශේෂව තිබෙනු දැක්ක හැකි ය.

“අප බුදුන් තෙවැනි වර ලක වැඩි උතුම් උදානය සමරා කළෝ බුදුහු මෙබිම පුෂ්පෝපහාරය”

මේ ගී පද ඇසෙන සැණින් අප මතකයට නංවන්නේ විශිෂ්ට සාහිත්‍යධර මහගමසේකරයන් විසින් විරචිත “සිරිපා පියුමේ – රොන්සුණු තැවරේ” නමැති ගීතයේ වර්ණිත “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – වලා අතුල කඳුවැටි අතරේ” යන ගී පදය යි.

තෙවැනි වරට සිරිලක වැඩි අප බුදුරජාණන් වහන්සේ මහවැලි ගඟට දකුණු ඉවුරු දිශාවෙහි සේරු නම් විල කෙළවරෙහි වරාහ නම් ගල් පොකුණ පිහිටි භූමියට වැඩ ‘පුෂ්පෝපහාරය’ පවත්වා වදාළෝ, අනාගතයේ දිනක තමන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව රැඳි ලළාට ධාතූන් වහන්සේ ඒ පුණ්‍යභූමියේ දාගැබක පිහිටන බව දිවැසින් දැක වදාළ හෙයිනි.

“අප යුගත සිරස බැඳ වැඳ වැඳ එවන් විහාරය
නිර්වාණ සුඛ විඳිමු තරණය කර සංසාරය…”

ලක්වැසි සැමට සේරුවාවිල සෑ රදුන්ගේ පිහිට – ආශීර්වාදය සැලසේවා…!

සටහන – දයාපාල ජයනෙත්ති.