බුද්ධ චරිතයට සම්බන්ධ පරිනිර්වාණ තුනක් තිබේ. එනම්, ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය යි. එයින් ක්ලේශ පරිනිර්වාණය ගයාවේ බෝමැඩ වජිරාසනයේදී සිදුවිය. ස්කන්ධ පරිනිර්වාණය සිදුවූයේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී ය. ධාතු පරිනිර්වාණය කෙසේ සිදුවන්නක් ද යන වග දීඝ නිකායේ සුමංගල විලාසිනී අටුවාව, පූජාවලිය ආදී ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ මේ ආකාරයට ය.

අනාගතයේදී මේ ගෞතම බුදුසසුනට වසර පන්දහසක් සම්පූර්ණ වූ විට වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයක ලංකාද්වීපයේ මහියංගනය, දීඝවාපිය, කැළණිය, තිස්ස මහා විහාරය, ගිරිහඩු සෑය, මිහින්තලාව ආදී දහස් ගණන් තැන්වල සෑ ගර්භයන්හි වැඩ හිඳින සියලු සර්වඥ ධාතූන් වහන්සේලා අහසට පැන නැඟී අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑ ගර්භයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ හිඳින තැනට එක් රැස්වෙති. එදිනට එම ධාතු ගර්භයෙහි නොනිවී දැල්වෙමින් තිබූ තෙල් පහන් නිවී යයි. එකල්හි සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එතැනින් අහසට පැන නැඟී එක් නූලක ඇමිණූ මුතු ඇට පෙළක් සේ නාගදීපයේ රාජායතන සෑයෙහි මිණි පළඟ මතට වැඩම කර එහි තැන්පත් වෙති. එහිදී අප්‍රමාණ දිව්‍ය නාගයන් විසින් පුද සත්කාර ලබන එම ධාතූන් වහන්සේලා මිණි පළඟත් සමඟ අහසට පැන නැඟී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි භූමියට වැඩම කරති.

අනතුරුව දිව්‍ය, බ්‍රහ්ම, නාග ලෝකයන්හි සහ දඹදිව සහ අවශේෂ සියලු තැන්හි වැඩ හිඳින ධාතූන් වහන්සේලා ද ඒ ඒ තැනින් අහසට පැන නැඟී බෝමැඩ වෙත වැඩම කරති. එකෙණෙහි ම පොළොව පලාගෙන දහ හතර රියන් වජ්‍රාසනයක් පැන නැඟී ඒ ධාතූන් වහන්සේලා පිළිගනියි. එවිට ඒ සියලුම ධාතූන් වහන්සේලා එකට එක්වී බුදු රුව මැවෙයි. ලළාට ධාතූන් වහන්සේ, අකු ධාතූන් දෙනම වහන්සේලා, සතර දළදා වහන්සේලා ඒ බුදු රුවෙහි තමන් සිටි තැන ම පිහිටත්. අවශේෂ සියලු ධාතූන් වහන්සේලා ද බුදු රුවෙහි නියමිත තැන්හි පෙර සේ ම පිහිටත්. ඒ සමඟ ම දෙතිස් මහා පුරුෂ ලකුණු ද අසූවක් අනූ ව්‍යංජන ද පහළ වෙති.

එවිට බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත්වූ දිනයේදී මෙන් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සවණක් රැසින් සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි. මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “අද අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදුවන දවසයි” කියා වහ වහා ම නොයෙකුත් පූජාවන් ද ගෙන බොහෝ දෙව් බඹුන් ද සමඟින් බෝමැඩට රැස්වෙති.

එවිට ඒ බුදුරුව අහසට පැන නැගී ගණ්ඩබ්බ රුක් මුලදී මෙන් යමා මහ පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒත් සමඟ ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් පැන නැඟී ධාතු ආදාහනය වන්නට පටන් ගනියි. මෙය දකින දස දහසක් සක්වළ දෙවිවරු “මේ අපගේ බුදුරජුන්ගේ අවසාන දර්ශනය යි. කල්ප අසංඛෙය්‍යකින්වත් දකින්නට නොලැබෙන බුදු කෙනෙක් අද අතුරුදන් වෙයි. අහෝ ලෝකය හිස් වුණා” කියමින් හඬ හඬා කඳුළු ධාරා වගුරුවති. ඒ මොහොතේ අබ ඇටයක් තරම්වත් කුඩා වූ සර්වඥ ධාතූන් වහන්සේ නමක් ඉතිරි නොවී සියලුම ධාතු අළුවත් දැලිවත් ඉතුරු නොවෙමින් ආදාහනය වෙයි. සියලු ධාතු දැවුණු විට ගිනිකඳ අතුරුදන් වී යයි. බොහෝ දෙවියන්ට ද බඹුන්ට ද ඒ අවස්ථාවේදී බුද්ධානුස්සතිය මුල්කොට මාර්ගඵල අවබෝධයට වාසනාව උදා වේ.

රැස්වූ සියලු දෙව් බඹහු ගෙන ආ අප්‍රමාණ වූ පූජාවන් පූජාකොට යති. මෙසේ අප බුදුරජුන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවෙයි. මහත් වූ ආනුභාවයක් පෙන්වමින් ධාතූන් වහන්සේලා මෙලෙසින් අතුරුදහන් වූ කල්හි මේ ශාසනය ද අතුරුදන් වුණා වෙයි.