ජාතික, ආගමික, සමාජයීය, ආර්ථික සියලු ක්ෂේත්‍රයන්හි සාධනීය වෙනසක් උදෙසා රටේ බහුතර ජනයා විසින් නව පාලන තන්ත්‍රයක් තෝරා පත් කරගෙන තිබේ. ඔවුන් අපේක්ෂා කළ ඒ සාධනීය වෙනස යථාර්ථයක් වනු ඇතැයි සිතිය හැකි කරුණු කාරණා ද නව පාලනය යටතේ ගෙවී ගිය ටික කාලය තුළ දක්නට හැකි විය. එය පැසසුම් කටයුතු ය.

බලවත් විදෙස් රාජ්‍යයනට ණයගැති වෙමින් ණය ආධාර මත ම රටෙහි ආර්ථිකය හසුරුවන්නට සිදු වූ යුගයක අපි ජීවත් වීමු. එනිසාවෙන් ම ඔවුනගේ බලපෑම් හමුවේ හිස නමා සිටිනු හැර අන් විකල්පයක් අපට නො වී ය. එසේ පරිහානියට පත් ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් රට තුළ ධන ඉපැයුම් අවස්ථා නිර්මාණය කිරීමට සමාජ කතිකාවතක් සේ ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට නැඹුරුවක් වර්තමානයේ දක්නට ලැබේ. එනිසා, මේ එළඹි ව්‍යවහාරික වර්ෂය වැඩි වැඩියෙන් ධන ඉපැයීම් සිදු කරලන්නට විශේෂ අවස්ථා සැලසෙන, ඒ වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ද ලැබෙන වර්ෂයක් වනු ඇත.

ඒ වෙනුවෙන් පොදුවේ සිදු කරන කැප වීම් සේ ම පුද්ගලික කැප කිරීම් ද අත්‍යවශ්‍ය වේ. ආර්ථිකය නංවාලීමේ සාමුහික ඉලක්කය වෙනුවෙන් අප තනි තනි ව නව ධන උත්පාදන අවස්ථාවන් නිර්මාණය කළ යුතු ව තිබේ. එසේ ම, එලෙස උපයනා ධනය රැක ගැනීම පිණිස විධිවිධාන යෙදීම ද වගකීම් සහගත ව සිදු කළ යුතු ව තිබේ. භව භෝග සම්පත් උපදවා ගැනීම යනු ඉෂ්ටකාන්ත, ප්‍රියමනාප, දුර්ලභ දෙයක් වනවා සේ ම එසේ ඉපැදවූ භව භෝග සම්පත් ආරක්ෂා කර ගැනීම ද බොහෝ දුෂ්කර දෙයකි.

උපයන ධනය හා භෝග සම්පත්තීන් විනාශ වන ආකාරයන් සියල්ල දන්නා, සියල්ල දක්නා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.

“ගෘහපති පුත්‍රය, මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වනාහී භෝග සම්පත් විනාශ වන ‍දොරටුවකි. අවේලාවෙහි වීදි ගානේ ඇවිදීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. නැටුම් ගැයුම් ඇති තැන්, සමාජශාලා ආදියෙහි නිතර ගැවසීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. ප්‍රමාදය ඇති කරවන සූදුවෙහි යෙදීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. පවිටු මිතුරන් හා එක් ව කල් ගෙවීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. කම්මැලිකමෙන් කල් ගෙවීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි.”

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 03)

සම්බුදුරජාණන් වහන්සේ යම් දෙයක් අහිත පිණිස, අයහපත පිණිස පවතින්නේ ය යැයි වදාරණ ලද්දේ නම් එය ඒකාන්තයෙන් ම අහිත පිණිස, අයහපත පිණිස පවතී. යථෝක්ත ව දක්වන ලද කාරණා හය ඒකාන්ත වශයෙන් ම ඉපැයූ ධන සම්පත් නැසී යාම පිණිස පවතී. මේ දොරටු නොවසා කොතෙක් ඉපැයූව ද ඉපැයීමෙහි වෙහෙස හැර ඉපැයූ දෙයින් සැප සේ වාසය කිරීමක් ලැබිය නො හැකි ය.

මෙහි දැක්වෙන ඇතැම් කාරණා රාජ්‍ය මැදිහත් වීමකින්, නීති සම්පාදනයෙන් වුව පිටුදැකිය හැකි ය. එහෙත් පවිටු මිතුරු ඇසුරත්, කම්මැලිකමත් එසේ නීතිප්‍රකාර ව බැහැර කළ හැකි දේවල් නො වේ. ස්වෝත්සාහයෙන් ම මේ විනාශ මුඛයන්ගෙන් බැහැර ව නැගී සිටීම කළ යුතු වේ. එය වචනයෙන් නොව ක්‍රියාවෙන් කළ යුත්තකි.

ක්‍රියාවෙන් කළ යුතු දේ වචනයෙන් කිරීමට යාමෙන් රට ලක් වූ පසුබෑම සුළුපටු නො වේ. තවදුරටත් අප එසේ වගකීම් විරහිත ව කටයුතු කළ යුතු නැත. අපිදු අදීන චින්තන ශක්තියකින් සේ ම අදීන ආර්ථික ශක්තියකින් යුතු ව සෙසු ලෝකය හමුවේ ඍජු ව නැගී සිටීම පිණිස අනලස් ව, උපායශීලී ව, අප්‍රමාදී ව කටයුතු කරමු. ඒ වෙනුවෙන් ඇප කැප වෙමු. යුතුකම ඉටු කරමු.