අවජාතක පුත්‍රයා

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“මහණෙනි, මේ පුත්‍රයන් තිදෙනෙක් ලෝකයේ දකින්ට ලැබෙනවා. ඒ තුන්දෙනා කවුද? අතිජාත, අනුජාත, අවජාත.

මහණෙනි, කොහොමද පුත්‍රයෙක් අතිජාත වෙන්නේ? මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නෑ. ධර්මය සරණ ගිහිල්ලත් නෑ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලත් නෑ. සතුන් මැරීමෙන් වැළකිලත් නෑ. සොරකම් කිරීමෙන් වැළකිලත් නෑ. වැරදි කාම සේවනයෙන් වැළකිලත් නෑ. බොරු කීමෙන් වැළකිලත් නෑ. මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවෙන සුරාවෙන් වැළකිලත් නෑ. දුස්සීලයි. පාපී ස්වභාවයෙන් යුක්තයි. එහෙත් ඔවුන්ගේ පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මය සරණ ගිහිල්ලා ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔහු සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි ‘අතිජාත පුත්‍රයා’ කියන්නේ.

මහණෙනි, කොහොමද පුත්‍රයෙක් අනුජාත වෙන්නේ? මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මය සරණ ගිහිල්ලා ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔවුන් සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. ඔවුන්ගේ පුතාත් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා. ධර්මය සරණ ගිහිල්ලා. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔහු සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි ‘අනුජාත පුත්‍රයා’ කියන්නේ.

මහණෙනි, කොහොමද පුත්‍රයෙක් අවජාත වෙන්නේ? මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලයි ඉන්නේ. ධර්මය සරණ ගිහිල්ලයි ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලයි ඉන්නේ. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔවුන් සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. ඒත් ඔවුන්ගේ පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නෑ. ධර්මය සරණ ගිහිල්ලත් නෑ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලත් නෑ. සතුන් මැරීමෙන් වැළකිලත් නෑ. සොරකම් කිරීමෙන් වැළකිලත් නෑ. වැරදි කාම සේවනයෙන් වැළකිලත් නෑ. බොරු කීමෙන් වැළකිලත් නෑ. මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවෙන සුරාවෙන් වැළකිලත් නෑ. දුස්සීලයි. පාපී ස්වභාවයෙන් යුක්තයි. මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි ‘අවජාත පුත්‍රයා’ කියන්නේ. මහණෙනි, මෙන්න මේ තමයි ලෝකයේ ඉන්න පුතුන් තුන් දෙනා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්ට පුළුවනි.

“ඤාණවන්ත කෙනා අතිජාත, අනුජාත පුත්‍රයන් තමයි කැමති වෙන්න ඕන. පවුල් ගඳ ගස්සන අවජාත පුත්‍රයාට නම් කවුරුත් කැමති වෙන්නෙ නෑ.

ඒ දෙන්නට ම තමයි ලෝකයේ නියම පුත්‍රයෝ කියලා කියන්නේ. ඔවුන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. ඔවුන් ශ්‍රද්ධාවන්තයි. සීලයෙනුත් යුක්තයි. අන් අයගේ ධාර්මික අවශ්‍යතා දන්නවා. මසුරු නෑ. ඔවුන් පිරිස් අතර බබලන්නේ හරියට වළාකුලින් මිදුන සඳ වගේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

(පුත්ත සූත්‍රය – ඉතිවුත්තක පාළි)

අදහස්වලට අනුව එකතු වීම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“මහණෙනි, සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ.

මහණෙනි, අතීතයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වුනේ, එකට සම්බන්ධ වුනේ.

මහණෙනි, අනාගත කාලයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ.

මහණෙනි, දැන් මේ වර්තමාන කාලයේදීත් ඔය විදිහම තමයි. සත්වයන් තව සත්වයන් සමඟ එකතු වෙන්නේ, එකට සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ සිත්වල තියෙන ස්වභාවයට අනුව තමයි. ලාමක අදහස් තියෙන අය, ලාමක අදහස් තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ, සම්බන්ධ වෙන්නේ. යහපත් අදහස් තියෙන අය, යහපත් අදහස් තියෙන අයත් එක්ක තමයි එකට එකතු වෙන්නේ. එකට සම්බන්ධ වෙන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්ට පුළුවනි.

“එකට එකතු වෙලා ඉන්න කොට ඇති වෙන කෙලෙස්, එකට එකතු නොවී ඉන්න කොට නැතිවෙලා යනවා. ලීයෙන් හදපු පුංචි පහුරකට නැගලා මහ මුහුදේ යන කොට ඒක ගිලිලා යනවා.
අන්න ඒ වගේ තමයි, කුසීත අයව ආශ්‍රය කරන කොට යහපත් ජීවිතයක් තියෙන කෙනා වුනත්, ඒකෙන් ගිලිලා යනවා. ඒ නිසා ඔහු වීරිය නැති, කුසීත අයව දුරුකරන්ට ඕන.

හුදෙකලාවේ ධ්‍යාන වඩන ආර්යයන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාගේ සිත ඒ අමා නිවනේ ම ස්ථිරව පිහිටලයි තියෙන්නේ. නිතරම පටන් ගත්තු වීරියෙන් යුක්තයි. ඤාණවන්තයි. ඒ නිසා එවන් උතුමන් එක්ක ම යි ඉන්න ඕන.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

(ධාතු සංසන්දන සූත්‍රය – ඉතිවුත්තක පාළි)