සුභාවිත බොදු ගීයක ප්‍රසාද මාධූර්යය

මේ මහා භද්‍ර කල්පයේ සකල ලෝක ධාතූන් ප්‍රඥා ප්‍රදීපයෙන් එළිය කොට මානව සිත් සතන් මෙත් දිය දහරින් තෙමාලූ භාග්‍යවතුන් වහන්සේලා තුන්නමකට පසුව දඹදිව පහළ වී වදාළ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදහස් හයසියයක කාලයක් ආසන්න වී ඇති මෙසමය දක්වා ලොව විවිධ නිර්මාණකරුවන් අතින් බිහිවුණු රමණීය පද කැටයම් අතුරින් කලා නිධාන සනාතන කරවූ සීහල කලාකරුවන්ගේ නිර්මාණ පිළිබඳව ප්‍රත්‍යවලෝකනයක් කළ යුතු අවධියකට අපි අද එළඹ සිටිමු. අන්තර්ජාල, රූපවාහිනී නාලිකා, මුහුණු පොත්, ගුවන් විදුලි එෆ් එම් නාලිකා ඔස්සේ දිනපතා විකාශය වන පහත් පෙළේ විසූක දස්සන හා විලාපයන්ට වහ වැටී විනාශ වන නූතන දරු පරපුරේ ආධ්‍යාත්මය සුපෝෂණය කරනු වස් මීට වසර දෙක තුනකට පෙර ‘මහාමේඝ’ සදහම් පුවත්පතින් ඇරඹූ බොදු ගී පෙළහරේ අර්ථාන්විත කියැවීම යළිත් ඇරඹිය යුතු යයි අපි කල්පනා කළෙමු.

රොබට් නොක්ස්, හියු නෙවිල්, හෙන්රි පාකර් වැනි අපරදිගුවන් පවා විස්මයට පත්කරවූ සිංහල බොදු ජනකාය සතුව පැවති ගේය පද බැඳුම් ප්‍රතිභාව ඔවුන් උරුම කොට ගත්තේ නිදහස් බෞද්ධ සම්ප්‍රදායෙන් බව අපි සනිදර්ශනව පැහැදිලි කොට දුනිමු. දෙදහස් තුන්සිය වසරක් පුරා ලෙන් කටාරම් හිසින්, සෙල් පුවරු මතින්, තල්පත් තුඩපත් අතරින් හා මුවසරින් ගලාගිය බොදු උදාන ගීතාවලිය, උපතේ සිට මරණය දක්වා හෙළ දනන්ගේ අධ්‍යාත්මය නිවා සුවපත් කරවන සුලු මියුරු ලාවන්‍යයකින් යුතු වෙයි. ව්‍යවහාර වර්ෂ පූර්ව යුගයන්හි ගැයුණු ඇල්ගෙවිලිය ගීයේත්, ඉන් පසු කලෙක සීගිරි ගීයේත්, ජනකවියේ හා නැළැවිලි ගීයේත් දැවැටී ආ ජනගී පෙරහැරේ නූතන ආදේශය වූයේ සුභාවිත බොදු ගීතය යි. එය දරු නැළැවිල්ලේ සිට ජීවිතයේ අනිත්‍යතාව සිහිපත් කරවමින් ගැයුණු සුභාවිත ගීතාවලියක් දක්වා විහිද පවතී. නූතන දරු නැළවිල්ලක පද සංකලනයට බුදු ගුණ සුවඳ කැටිවූ අපූරු ගීතයක ප්‍රසාද මාධූර්යය කුඩා බිළිඳෙකුගේ පමණක් නොව වැඩිහිටියකුගේ වුව ද සිත්සතන් නිවා සනසන්නට සමත් වී ඇති අයුරු අසිරිමත් ය.

සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ
දසමර සේනා දිනූ බෙලෙන්
ජයපැන් කරඬුව දෝත දරා
නිදන්න දූ කුමරී

බක්කුල මහ තෙරිඳු බෙලෙන්
නිදුක් නිරෝගී වේවා
සූවිසි මුනිඳුන් පින් මහිමෙන්
නිරතුරු ආයු වැඬේවා

අසූ හාරදහසක් දම් තෙද කඳ
සෙවණ දෙවා සුරකීවා

සිරි දළඳා සමිඳු පිනින්
ළතෙත් ගුණය ඉතිරේවා
වම් සිරිපා රන් පද්ම බෙලෙන්
අනන්ත නුවණ වැඬේවා
මහා සීවලී මහිමි අනුහසින්
ඉසුරු සැපත් බෝ වේවා!

ආචාර්ය අජන්තා රණසිංහ නම් ගේය පද රචකයාණන් විසින් සිය පින් සිරින් සරු කරන ලද අදිටන් උදානයක් බඳු මේ අපූර්ව බොදු ගී පද මාලාව ආශීර්වාදාත්මක වූ ද රිද්මයානුකූල වූ ද දිව මතුරක් බවට පත් කරන ලද්දේ විසාරද වික්ටර් රත්නායකයන් විසිනි.

අපූර්වතම දරු නැළැවිල්ලක් ලෙසින් නිර්මාණය වී ඇති මෙම සොඳුරු ගීතය සිඟිති ළදැරියක උදෙසා වැඩිහිටියෙකු විසින් පිරිනැමිය යුතු සනාතනික අධ්‍යාත්ම පැතුමක් වෙයි. බාහිර බලපෑම්වලින් කිලිටි නො වූ ආධ්‍යාත්මයක් හා ප්‍රභාෂ්වර සිතත් ඇතිව මෙලොව එළිය දකින බිළිඳෙකු අරභයා කරන ආශීර්වාදාත්මක ආශිංශණය, වදනක් වදනක් පාසා නින්නාද වෙමින් මේ ගීතය පුරා දැවටී ඇති අයුරු මනරම් ය.

ගීතය ආරම්භ වන්නේ සිඟිති දියණියක දෝතට කරඬුවක් තිළිණ කරමිනි. කරඬුව යන වදන පුණ්‍යමය අරුතක් ධ්වනිත කරන්නකි. අලුත උපන් දරුවකුට පින් ලකුණක් පිරිනැමීම මොනතරම් උතුම් භාග්‍යයක් ද? එම කරඬුව නිකම් හිස් කරඬුවක් නොව ජය පැන් කරඬුවකි. ඒ ජයපැන් වූ කලි බුදුරජාණන් වහන්සේ, ජය සිරිමා බෝමුල වැඩ හිඳ දසමර සෙන් පරදා ලැබූ මහා විජයග්‍රහණය සිහිකොට පිරිත් කළ ජය පැන් වෙයි. යම් කෙනෙකුට ලොව පිරිනැමිය හැකි මහානීය ආශීර්වාදය නම් එය යි.

‘ජයපැන් කරඬුව දෝත දරා – නිදන්න දූ කුමරී’

ඒ පුණ්‍යමය චේතනාවෙන් යුතු හෘදයාංගම ඇරඹුමෙන් අනතුරුව දරුවාට සෙත් පතන්නේ උතුම් පින්වත් ජීවිතයක යහ පැවැත්මට බලපාන ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච විධ සම්පත්තීන් අත්පත් කොට දීමේ මහා අධිෂ්ඨානය පෙරදැරිකරගෙන ය. මේ සඳහා සම්බුද්ධ ශාසනයේ හා ත්‍රිවිධ රත්නයේ උතුම්ම පුණ්‍යමය සංකේත හා චරිත කිහිපයක් කවියා උපයෝගී කොට ගනී.

ආරෝග්‍ය සම්පත්තියෙන් බුදු සසුනේ පරම ලාභය අත්පත් කොටගත් බක්කුල මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී භාවයත්, සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ පින් මහිමයෙන් ආයුෂත්, සූවාසූ දහසක් ධර්මස්කන්ධයේ ආරක්‍ෂාවත් පැතීම දරුවාගේ කායික මානසික වර්ධනයට හේතුවන මහා ආශීර්වාදයක් වෙයි.

උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොටගත් භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසක් දේශනා කොට වදාළ අසූ හාරදහසක් ධර්මස්කන්ධය දරුවෙකුට මහා සෙවණැල්ලක් බඳු ය. බුදුරජාණන් වහන්සේගේ සුළැඟිල්ල අල්ලාගෙන පසු පස ගමන් ගත් රාහුල කුමරාණන් පැවසුවේ “ඔබ වහන්සේගේ සෙවණැල්ලත් මට සැපයි” යනුවෙනි.

“අසූ හාරදහසක් දම් තෙද කඳ
සෙවණ දෙවා සුරකීවා”

එවන් උතුම් අදිටන් පැතුම් බලයෙන් පින් සිරුරක් දරා වැඩෙන දරුවා දයා කරුණා ගුණයෙන් සපිරි මනසකිනුත්, නැණ නුවණිනුත් පිරිපුන් අයකු වන්නා සේ ම යස ඉසුරින් ද වැඩී යන්නේ ය. ළතෙත් ගුණය සිරි දළදා වහන්සේගේ පින් මහිමයෙන් ද ප්‍රඥාව සිරිපා පද්මයේ බෙලෙන් ද යස ඉසුරු සම්පත්තිය මහා සීවලී රහතන් වහන්සේගේ අනුහසින් ද ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ගීතය නිමාවට පත් වෙයි.

බුදුරජාණන් වහන්සේ සුජීවත් ව වැඩ සිටි සමයේ සමනොළ ගිරි හිසට වැඩම කොට වම් සිරිපා පද්මය එහි පිහිටුවීමෙන් උතුම් සම්බුද්ධාභිෂේකය අප දිවයිනට ලබා දුන්නා සේ ම උන්වහන්සේ දේශනා කොට වදාළ අසූහාරදහසක් ධර්මස්කන්ධයේ පහස ලැබූ දන්ත ධාතූන් වහන්සේ ද අපට උරුම වූ සේක. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සිහිපත් කරවන මේ දරු නැළවිලි ගීතය උදේ හවා අසන දරුවා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පිරිපුන් සත්පුරුෂයකු වන්නේ ම ය.

අද කාලයේ උපදින දරුවන්ට අවශ්‍ය වනුයේ මේ ආකාරයේ පැතුමකි, ආශීර්වාදයකි. එසේ නොමැතිව “ගණ දෙවියෝ නුවණ දෙන්න – සරස්වතී පහළ වන්න” ආදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටික පැතුම් පැතීමෙන් ප්‍රඥාව හෝ ගුණධර්ම හෝ පහළ නො වන්නේ ය. අධිෂ්ඨානය දරුවාගේ සිතට මෙන් ම ගතට ස්පර්ශ විය යුතු ය. මෙම ගීතය දරු නැළවිලි ගීයක් වශයෙන් උදේ හවා පමණක් නොව නිරතුරුව දරුවාට ඇසෙන සේ දිව මතුරක් පරිද්දෙන් ගායනා කිරීම වටනේ ය.

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති