සංසාරගත සත්වයා දුකින් මුදවා ගැනීමේ නිර්මල වූ දයාබර පැතුමින් අප බෝසත් සුමේධ පඬිතුමා දිවකුරු බුදුපාමුල දිවි පුදා වැතිරී සිටි අයුරු පසුගිය කලාපයේ දී දැන ගන්නට ලැබුණි. බිහිසුණු සසරේ කුරිරු බව, ම්ලේච්ඡත්වය, සාහසික බව, තුච්ඡ බව, නීච බව මනාව දැන සිටියදීත් දුකින් ගිනිගෙන දැවෙන සත්වයන් අරබයා හදෙහි පැන නැගුණු ලෝකානුකම්පාව ම බලවත් වූ බැවින් බෝසතාණන් වහන්සේ විමුක්තියට ලද මහඟු අවස්ථාව පසෙකලා සම්බුද්ධත්වය පතමින් යළි බියකරු සසරට වැදුණි.

සම්බුද්ධත්වය පිණිස නියත විවරණ ලැබීමත් හැම දෙනාට ම කළ නො හැකි ය. පැතුම ඵල සහිත වීමට නම් සම්බුද්ධත්වය පතන්නා ධර්ම අටකින් සමන්විත විය යුතු ය.

නියත විවරණ ලබද්දී බුදු බව පතන්නා මනුෂ්‍යයෙක් විය යුතු ය. දෙවියෙක්, නාගයෙක්, ගුරුලෙක් සම්බුදු බව පැතුව ද එය සඵල නො වේ. නියත විවරණ ලබද්දී පිරිමියෙක් ම බුදු බව පැතිය යුතු ය. ස්ත්‍රියක්, නපුංසකයෙක් බුදු බව පැතුව ද සඵල නො වේ. ඒ ජීවිතයේ දී අරහත් ඵලය පිණිස හේතු සම්පත් තිබෙන කෙනෙක් විය යුතු ය. එසේ නොවන කෙනෙකුට ඒ පැතුම ඉටු නො වේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ සමීපයේ කරන ප්‍රාර්ථනාව සඵල වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු චෛත්‍යයන් ළඟ, බෝධි මූලයන් ළඟ ප්‍රාර්ථනා කළාට එය නො වේ. එසේ ම පැවිදි වේශයෙන් සිට කරන පැතුමයි ඉටු වන්නේ, ගිහි වේශයෙන් සිටිය දී ප්‍රාර්ථනා කළාට එය ඉටු නො වේ. එසේ ම ගුණ සම්පත්තියේ පිහිටා කරන පැතුම ම ඉටු වේ. එනම් පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති ආදි ධ්‍යාන ගුණයෙන් යුක්ත විය යුතු ය. එසේ නොවන විට දී පැතුම මුදුන්පත් නො වේ. එසේ ම පුරන ලද පුණ්‍යාධිකාරයෙන් යුක්ත විය යුතු ය. එනම් බුදුන්ට දිවි පිදූ අයෙක් විය යුතුයි. එසේ ම බලවත් කුසලඡන්දයක් තිබිය යුතුයි. එනම් බුද්ධකාරක ධර්ම හෙවත් පෙරුම් දම් පිරීමට මහත් කැමැත්තක්, උත්සාහයක්, පරිශ්‍රමයක් තිබිය යුතුයි.

දිවි පුදමින් මඬේ වැතිරගෙන සම්බුදු පූජා පවත්වන මේ සුමේධ තාපසතුමා දුටු දීපංකර භාග්‍යවතුන් වහන්සේ මේ ඍෂිවරයාණන් තුළ පිහිටා ඇති මේ උදාර වූ ගුණ සම්පත් අට හඳුනාගෙන සුමේධ තවුසන්ගේ හිස සමීපයේ වැඩ සිටිමින් මෙසේ වදාළ සේක. “මහණෙනි, උතුම් තපෝ ගුණයෙන් යුතුව මඩෙහි වැතිරී සිටින මේ තවුසා ඔබට පෙනේ ද? මොහු බුදු බව පතා සිටියි. මොහුගේ පැතුම සඵල වන්නේ ය. සාර අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පසු ගෞතම නමින් සම්බුදු බවට පත් වන්නේ ය. මායා දේවිය හා සුද්ධෝදන රජු මව්පියන් වන්නේ, කපිලවස්තුවෙහි උපත ලබන්නේ ය. අගසව් වන්නේ උපතිස්ස ය. දෙවෙනි සව් කෝලිත ය. බුද්ධ උපස්ථායක ආනන්ද ය. අග්‍ර ශ්‍රාවිකා ඛේමා වන්නී ය. දෙවෙනි ශ්‍රාවිකාව උප්පලවණ්ණා ය. බෝධි වෘක්ෂය ඇසතු වේ. මේ තාපස තෙම නුවණ මුහුකුරා ගොස් මහාබිනික්මන් කොට පදන් වෙර වඩා නුගරුක් මුල දී කිරිපිඬු පිළිගෙන නේරංජරා ගංතෙර දී වළඳා ඇසතු රුක් මුල පැදකුණු කොට බෝ මැඩ වැඩ හිඳ සම්බුදු බවට පත් වන්නේ ය” යැයි දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දී වදාළ සේක.

සුමේධ තාපසතුමා පැතුම සමෘද්ධිමත් වන බව දැන මහත් සොම්නසට පත් විය. දස දහසක් සක්වල දෙව් මිනිස්සු ද දීපංකර බුදුරජුන්ගේ මේ විවරණය අසා මේ බුද්ධාංකුරයෙකැයි මහත් සතුටට පත්ව ප්‍රීති නාද පවත්වමින් ඇඳිලි බැඳ නමස්කාර කරන්නට විය. “පුරුෂයෙක් ගඟක් තරණය කරන විට ළඟ ම පිහිටි තොටින් එතෙර විය නො හැකි වූ විට පහළ පිහිටි තොටින් එතෙර වෙයි. ඒ අයුරින් අපි ද දීපංකර බුදු සසුනේ මඟඵල ලබාගත නො හැකි වුවහොත් අනාගතයෙහි යම් දිනෙක ඔබ වහන්සේ සම්බුදු වන්නේ ද ඔබ වහන්සේ හමුවේ මඟඵල ලබන්නෙමු.” යි දෙවියෝ ප්‍රාර්ථනා කළහ. මේ ආකාරයෙන් නියත විවරණ දුන් දීපංකර භාග්‍යවතුන් වහන්සේ එතැනින් වැඩම කොට වදාළ සේක. මහරහතන් වහන්සේලා සුමේධ තාපසතුමාණන් ව පැදකුණු කොට වැඩම කළ සේක. මිනිසුන්, නාගයන්, ගාන්ධර්වයන් බෝසතාණන් වහන්සේට වන්දනා කොට පිටව ගියහ. භාග්‍යවතුන් වහන්සේත්, රහතන් වහන්සේලාත් දසුන්පථයෙන් ඉක්ම ගිය පසු ප්‍රීතියෙන් ඔද වැඩුණු සිත් ඇති අප මහා බෝසතාණන් වහන්සේ වැතිර සිටි තැනින් නැගී සිටියහ. සැපයෙන් සැපයට පත් වූ ප්‍රීතියෙන් පිනා ගිය සිත් ඇති බෝසතුන් පළඟක් බැඳගෙන මෙලෙසින් සිතුවිලි දැහැනට සමවැදුනි.

‘මම වනාහී ධ්‍යාන සමාපත්ති විෂයෙහි ප්‍රගුණයෙකි. ෂඞ් අභිඥා ඤාණ විෂයෙහි පරතෙරට ගියෙමි. දස දහසක් ලෝක ධාතුවෙහි බුදු සසුනෙන් බැහැර මා හා සමාන වෙනත් තවුසෙකු නැත. ඍද්ධි බලයෙන් මම අසම වෙමි. ඒ නිසා මෙවැනි සැපයක් ලැබීමි.’ මෙසේ සිතමින් බද්ධ පර්යංකයෙන් වැඩ සිටිය දී දස දහසක් සක්වළ දෙවියෝ “ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්බුදු වෙනවා ම යි.” කියමින් ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත්හ. “පෙර බෝසත්වරුන් බද්ධ පර්යංකයෙන් වැඩ සිටිද්දී යම් පෙර නිමිති පහළ වූවා ද අද ද ඒ නිමිති දක්නට ලැබෙන්නේ ය.” යයි කියමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූහ.

“පරිසරයෙහි අධික සීතල හා අධික උෂ්ණ සම විය. දස දහසක් සක්වළ ම ගොළු වී ගියේ ය. එලෙසින් ම මුළු සක්වළ ම ප්‍රභාවත් විය. සුළං කුණාටු අතුරුදහන් විය. ගංගාවෝ ගැලීම නවතා නතර වූහ. සියලු ගොඩ දිය පුෂ්පයෝ විකසිත වන්නට වූහ. තුරුලිය ඵලබර විය. ආකාශගත සහ මිහිමඬලේ ඇති සියලු රුවන් දිලිසෙන්නට විය. මිනිස් හා දිව්‍ය තූර්්‍ය භාණ්ඩ වාදනය විය. නා නා පැහැයෙන් මල් වරුසා අහසින් ඇද හැළුණි. මහ මුහුදු රළ සන්සිඳුනි. දස දහසක් සක්වළ කම්පා විය. සක්වළ පුරා නිරයවල ගිනි දැල් නිවුණි. හිරු වඩාත් බබළන්නට විය. සියලු තාරකා දර්ශනය විය. වැසි නැතිව ම පොළොවෙන් ජල දහරා උඩට පැන නැගුණි. සඳ තරු අහසේ බබළන්නට විය. භූමියේ සිදුරුවල සහ ගුහාවල වසන සතුන් එකපැහැර නික්මුනි. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටට පත් විය. සත්වයන්ගේ රෝග හා සාගිනි දුරු විය. බිය නැති විය. දූලි ඉහළට නැගුනේ නැත. අමිහිරි දුගඳ නැති වී සුවඳ හමා එන්නට විය. අරූපී බඹුන් හැර සියලු දෙවියෝ පෙනෙන්නට විය. සියලු නිරය මිනිසුන්ට පෙනුණි. බිත්ති, ජනෙල්, පර්වත අනාවරණ වී අහස මෙන් විය. සත්වයන්ගේ චුති ප්‍රතිසංධි පවා නැති වී ගියේය. පෙර බෝසතුන් පළඟක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකී ආශ්චර්යන් අද ද දක්නට ලැබේ. ඒ නිසා ඒකාන්තයෙන් ඔබ වහන්සේ සම්බුදු බවට පත් වන්නේ ය. ඒ නිසා වීරයන් වහන්ස, වීර්යය දැඩි කරනු මැනවි. නොනැවතී ඉදිරියට ම යනු මැනවි. අපි මේ කරුණ දකිමු. ඔබ වහන්සේ ඒකාන්තයෙන් ම බුදු වන්නේ ම ය.” යනාදී පැසසුම් වදනින් පළාත ම ඒක නින්නාද විය.

මෙලෙස දීපංකර භාග්‍යවතුන් වහන්සේගේත්, දස දහසක් සක්වළ දෙවියන්ගේත් බස් අසා ප්‍රීතියෙන් පිනා ගිය, ඔද වැඩුණු සිත් ඇති අප මහා බෝසතාණන් වහන්සේට මෙවන් සිතුවිලි ගලා එන්නට විය. “බුදුරජාණන් වන්සේලාට සත්‍යය අසත්‍යය යන දෙයාකාර වදන් නැත. මුනිවරුන්ට හිස් වචන නැත. බොරු බස් නැත. ඒ නිසා ඒකාන්තයෙන් ම මං වනාහි බුදු වන්නේ ම ය. අහසට විසි කළ ගල් කැටය නිසැක ව ම බිම පතිත වේ. එසේ ම උපන් සියලු සතුනට මරණය නියත ය. රාත්‍රිය පහව ගිය විට හිරු උදා වීම නියත ය. ගුහාවෙන් නික්මුණු සිංහයා සිංහනාද කිරීම ඒකාන්ත ය. ගර්භිණී මව දරු ගැබින් නිදහස් වෙනවා ම යි. එපරිද්දෙන් ම බුදුවරුන්ගේ වචනය නම් ඒකාන්ත සත්‍යය ය.” මෙලෙසින් අප බෝසතුන් සම්බුද්ධත්වය පිළිබඳ නිසැක බව සිත්හි ලා තහවුරු කර ගත්තේ ය.

සුමේධ අප මහා බෝසතාණන් වහන්සේ මෙසේ නන් අයුරින් විමසා බලා “ඒකාන්තයෙන් බුදු වන්නෙමි” යි තිරසර අදිටනින් බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමී දහම් විමසමින් උඩ යට දසදිසා පමණක් නොව කාම, රූප, අරූප යන භවත්‍රයට අයත් සියලු ධර්මයන් පිළිබඳ ව සිය විමසුම් නුවණ යොදවන්නට වූහ. එකල්හී පෙර බෝසත්වරුන් විසින් පුරුදු පුහුණු කළ පළමු වන පාරමිතාව වූ දාන පාරමිතාව දැක මෙලෙසින් තමන්ට ම අවවාද කර ගත්හ. “සුමේධ පණ්ඩිතය, සම්බුදු බව ලබන්න කැමැත්තේ නම් පළමු වෙනුව දාන පාරමිතාව දැඩි කොට පුරුදු කළ යුත්තේ ය. යම් සේ යටිකුරු කළ දිය පිරවූ කළයක් ජලය ඉතිරි නොකොට පිට කරයි ද පිට කළ ජලය නැවත ඇතුළට නො ගනී ද එලෙසින් ම ධනය, කීර්තිය, අඹු දරුවන්, අඟ පසඟ ආශාවක් නැතිව දන් ඉල්ලා පැමිණෙන හීන, මධ්‍යම, උසස් සියලු යාචකයන්ට කැමති කැමති දේ ඉතිරි නොකොට දන් දිය යුත්තේ ය.” මෙලෙසින් උපමාවන් ද ඇසුරු කර ගනිමින් පළමු දාන පාරමිතාව පිරිය යුත්තේ කෙසේදැයි පැහැදිලි කර ගත්හ.

අනතුරුව බුද්ධකාරක ධර්ම මෙපමණක් නොවිය යුතු යැයි යළි විමසුම් නුවණෙහි නිමග්න වූ අප බෝසතුන් හට දෙවෙනි ව සීල පාරමිතාව දක්නට විය. ඒ පිළිබඳ ව මෙසේ ගළපා බලන්නට වූහ. “සෙමර මුව දෙන සිය වල්ගය කිසිවක පැටළුන විට එතන ම මැරී වැටේ. ඒ නිසා වල්ගය හොඳින් රකින්නී ය. සෙමර මුවා වල්ගය රකින ලෙසින් සීලය රැකිය යුත්තේ ය.” මෙලෙසින් පිරිය යුතු වූ සීල පාරමිතාව මැනැවින් හඳුනා ගත් අප බෝසතුන් ඉන් අනතුරු ව බුද්ධකාරක ධර්ම මෙපමණක් නො විය යුතු යැයි යළි යළි විමසන විට තුන්වෙනි ව නෙක්ඛම්ම පාරමිතාව වැටහුණි. “යම් සේ හිරගෙයක දුක් විඳින පුද්ගලයා එයට ආශා නොකර එයින් මිදී යාමට මඟක් සොයයි ද එපරිද්දෙන් සියලු භවයන් හිර ගෙයක් මෙන් සලකා භවයෙන් එතෙර වීමට නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළ යුත්තේ ය.” යැයි නෛෂ්ක්‍රම්‍යය සොයා යා යුතු අයුරු පසක් කර ගත්හ.

පසුව බුද්ධකාරක ධර්ම තව තිබිය යුතු යැයි සිතමින් විමසුම් නුවණ යෙදවූ විට සතර වැනි ව ප්‍රඥා පාරමිතාව වැටහුනි. බෝසතාණන් වහන්සේ එය උපමා ඇසුරෙන් පහදා ගත් සේක. “යම් සේ පිණ්ඩපාතික භික්ෂුවක් හීන, මධ්‍යම, උත්තම ආදි වශයෙන් බෙදුණු කිසි කුලයක් අත් නොහැර පිඬුසිඟා යමින් තම යැපීමට ආහාර සොයා ගනී ද එලෙසින් ඔබ ද සියලු නුවණැත්තන් වෙත ගොස් ඇසුරු කිරීමෙන් ප්‍රඥා පාරමිතාව පිරිය යුත්තේ ය.” යැයි තමාට ම අවවාද කර ගත්හ.

බුද්ධකාරක ධර්ම මෙපමණක් නො වේ යැයි තවදුරටත් විමසද්දී වීරිය පාරමිතාව දක්නට ලැබිණි. “සිවුපා සතුන්ගේ රජු වූ සිංහයා සියලු ඉරියව්වල දී දැඩි වීර්යය ඇත්තේ ය. එලෙසින් නොපසුබස්නා වීර්යය ඇති කරගෙන වීරිය පාරමිතාව පුරන්නේ නම් එය සම්බුද්ධත්වය පිණිස වන්නේ ය.” යැයි විරිය පාරමිතාව ඉටා ගත්හ.

තවදුරටත් බුද්ධකාරක ධර්ම විමසද්දී හය වැනි ව ඛන්ති පාරමිතාව දක්නට ලැබුණි. “මහ පොළොව පිරිසිදු අපිරිසිදු දෙක ම ඉවසයි. ප්‍රතික්‍ෂේප නො කරයි. පිරිසිදු දේවලට නොඇලෙයි. අපිරිසිදු දේවල් කෙරෙහි නොගැටෙයි. එලෙස සියල්ලන්ගේ සම්මාන අවමාන දෙකේ දී ම දෙවිදිහක් නැතිව, එක ම සිතින්, ඇලීම් ගැටීම් නැතිව සියල්ල ඉවසන්නේ නම් එය සම්බුද්ධත්වය පිණිස හේතු වන්නේ ය.” යැයි සිතමින් ඛන්ති පාරමිතාව අධිෂ්ඨාන කළහ.

යළි යළි බුද්ධකාරක ධර්ම විමසන බෝසතුන්ට මී ළඟට වැටහී ගියේ සත්‍ය පාරමිතාව යි. “යම් සේ ඕෂධී තාරකාව දෙවියන් සහිත ලෝකයෙහි තුලාවක් මෙන් ග්‍රීෂ්ම, වර්ෂා හේමන්ත යන සෑම ඍතුවක ම තම මාර්ගයෙන් බැහැර නො වී සිටියි. එලෙසින් සත්‍ය වචනයෙන් බැහැර නො වී සිටියේ, සම්බුද්ධත්වයට පත් වන්නේ ය” යැයි දකිමින් සත්‍ය පාරමිතාව ඉටා ගත්හ.

නොනැවතී තවදුරටත් පෙරුම් දම් විමසන බෝසතාණන් වහන්සේ අට වැනි ව අධිෂ්ඨාන පාරමිතාව දුටු සේක. මෙම පාරමිතාව පිරිය යුතු ආකාරය මෙලෙසින් පසක් කර ගත්හ. “ගල් පර්වතයක් සිව් දිගින් සුළං හමා යද්දී කම්පා නො වී නොසෙල්වී සිටින්නාක් මෙන් සිය අදහසෙහි නොසෙල්වී සිටිය යුතු ය.” මෙලෙසින් අප බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන පාරමිතාව ද සමාදන් වූ සේක.

මී ළඟට පිරිය යුතු නව වැනි පාරමිතාව වූ මෛත්‍රී පාරමිතාව ද බෝසතුන්ට වැටහුණි. “ජලය යහපත් අයහපත් සියලු දෙනාට සමාන ව සිසිලස ලබා දෙයි. එසේ ම දූවිලි ආදි අපවිත්‍ර දේ සම ව සෝදා හරියි. එලෙසින් හිතවත් අහිතවත් සියලු දෙනා කෙරෙහි මෙත් සිත සම ව පතුරන්නාට සම්බුද්ධත්වය සාක්ෂාත් කළ හැක්කේ ය” යයි දැක මෛත්‍රී පාරමිතාව ද අධිෂ්ඨාන කළහ.

මෙලෙසින් පාරමී දම් නවයක් ම හඳුනාගත් බෝසතුන් තවත් බුද්ධකාරක ධර්ම ඇත්දැයි විමසූ විට උපේක්‍ෂා පාරමිතාව දුටු සේක. “පිරිසිදු අපිරිසිදු දෙකේ දී මහ පොළොවේ කම්පාවක් නැත. එලෙසින් සැප දුක දෙකේ දී ම කම්පා නැතිව මැදහත් ව සිටී නම් එය සම්බුද්ධත්වය උදෙසා වේ” යැයි සිතා උපේක්‍ෂා පාරමිතාව ද දැඩි ලෙස සමාදන් විය.

සම්බුද්ධත්වය පිණිස පවතින්නා වූ යම් ධර්මයක් ඇත්ද ඒවා මෙපමණක් ම යි. දස පාරමිතා හැර වෙනෙකක් නැති බව දුටු බෝසතාණන් වහන්සේ මෙකී පාරමී ධර්මයන් නැවත නැවතත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසන්නට පටන් ගත් සේක. පාරමිතා සියල්ල පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී නමින් තුන් ආකාර ය. පාරමී යනු බාහිර භාණ්ඩ, වස්තු සම්පත් ආදිය පරිත්‍යාගය යි. උප පාරමී නම් ශරීර අංග පරිත්‍යාගය යි. පරමත්ථ පාරමී යනු ජීවිත පරිත්‍යාගය යි. මෙවැනි පරිත්‍යාග කරමින් ගුණ දහම් සපුරා ගත යුත්තේ ය. අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙසින් නන් අයුරින් පාරමී දම් විමසන විට පාරමී දම් තේජසින් දස දහසක් සක්වළ කම්පා වන්නට විය. මහ පොළොව ඇඹරෙන උක් යන්ත්‍රයක් සේ සෙලවෙන්නට විය. තෙල් යන්ත්‍රයේ රෝදය මෙන් කරකැවෙන්නට විය.

මෙලෙසින් මහ පොළොව කම්පා වන විට රම්ම නගරවාසීන් වෙව්ලමින් මුසපත් ව බිම වැතිරුණහ. කළ ආදි කුඹල් මැටි භාණ්ඩ බිම වැටී සුනුවිසුනු විය. බියට පත් තැති ගත් ජනයා දීපංකර බුදු සමිඳුන් වෙත පැමිණ මෙසේ පවසා සිටියහ. “පසැස් ඇතියාණෙනි, කිමෙක් ද? ලෝකයට කුමක් වන්නේ ද? සියල්ලෝ ම බියපත් ව සිටිති. ලෝකයට යහපතක් වේ ද? අයහපතක් වේ ද? මේ උපද්‍රවය දුරු කර දෙනු මැනව” යි අයැද සිටියහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මේ පෘථිවි කම්පනයෙන් බියට පත් නොවෙව. ඔබට කිසි උවදුරක් නැත්තේ ය. අද තථාගතයන් වහන්සේ යම් කෙනෙකුට ලොව සම්බුද්ධත්වයට පත් වන්නේ යැයි විවරණ ලබා දුන්නේ ද ඔහු පෙර බුදුවරුන් බෝසත් කාලයේ දී පුරුදු කළ පාරමී දහම් විමර්ශනය කරන්නේ ය. සම්බුද්ධත්වයට පාදක වන ධර්ම විමසන කල්හි දස දහසක් සක්වළ කම්පා වන්නේ ය.” යි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ව අස්වසාලූහ. එවදන් අසා සතුටට පත්, සන්සිඳුනු සිත් ඇති ජනයා නැවත අප මහා බෝසතුන් වෙත පැමිණ නමස්කාර කළහ. අප මහා බෝසතාණන් වහන්සේ බුදු ගුණ සිතමින් දිවකුරු බුදුන් සිරසින් වඳිමින් ආසනයෙන් නැඟී සිටි සේක. බෝසතුන් ආසනයෙන් නැගී සිටීමත් සමඟ ම දස දහසක් සක්වළ දෙවියෝ දිව මල් වගුරවමින් ද මනුලොව මිනිසුන් මනුලොව මල් වගුරවමින් ද මෙලෙසින් බෝසතුන්ට ස්තුති ප්‍රශංසා කිරීමට පටන් ගත්හ.

“ඔබ වහන්සේ විසින් පතන ලද පැතුම සිත් පරිදි ඉටු වේවා! සියලු උවදුරු දුරු වේවා! චිත්ත පීඩා රෝග පීඩා දුරු වේවා! කිසිදු අනතුරක් සිදු නො වේවා! උතුම් සම්බුද්ධත්වය ම ලබත්වා! මල් පිපෙන ගස් නිසි කල පැමිණි විට මල් දරන්නා සේ වීරයාණෙනි, ඔබ වහන්සේ ද බුද්ධ ඤාණය නම් මලින් පිපෙත්වා! පෙර බුදුවරු දස පෙරුමන් පිරූ පරිද්දෙන් ඔබ වහන්සේ ද දස පෙරුමන් පුරාවා! පෙර බුදුවරු බෝ මැඩෙහි බුද්ධාභිෂේකය ලැබූ පරිද්දෙන් ඔබ වහන්සේ ද බෝ මැඩ දී බුද්ධාභිෂේකය යෙහෙන් ලබාවා! පෙර බුදුවරු දම්සක ප්‍රවර්තනය කළ පරිද්දෙන් ඔබ වහන්සේ ද දම්සක ප්‍රවර්තනය කරාවා! පුරපස පෝදා සඳ මඬල පිරිසිදු ව බබළන ලෙසින් ඔබ වහන්සේ ද පිරිපුන් මනfදාළ ඇතිව දස දහසක් සක්වළෙහි බබළාවා! රාහුගෙන් මිදුණු හිරු මඬල ආලෝකයෙන් වඩාත් බබළන ලෙසින් ඔබ වහන්සේ ද ලෝකයා සසරින් මුදවා මහා වීරයෙකු සේ ශ්‍රීයෙන් බබළාවා! සියලු ගංගාවෝ මහ මුහුදට ගලන්නා සේ දෙවියන් සහිත ලෝකයා ඔබ වහන්සේ කරා ම පැමිණෙත්වා! මෙලෙසින් නොයෙක් ආකාරයෙන් රැස් වූ සියලු දෙවියෝ ද මිනිසුන් ද බෝසතුන් වෙත තුති පුද කළහ. ආසිරි වදනින් දිරිගැන්වීම් ද කළහ. දෙවි මිනිසුන් විසින් පසසනු ලැබූ මහා ගුණ සම්පත් ඇති අසිරිමත් වූ, නිකැළැල්, පිවිතුරු විහරණ ඇති සුමේධ පණ්ඩිත තවුසාණෝ දස පාරමී ධර්මයන් සමාදන් ව යළි මහ වනයට පිවිසියහ. අසිරියක්මැයි! අද්භූතමැයි! තිලොවට ශාන්තිය සලසන මහා වීර වූ දස බලයන් වහන්සේ හමුවේ විවරණ ලබා අසරණයන්ට සරණ වන්නට, අනාථයන් ව සනාථ කරන්නට, ලෝ පුරා පැතිරී ඇති දුක් ගිනි දැල් නිවා දැමුමට, මිහි මඬල සිසාරා ගලා බසිනා කඳුළු ගංගා වියළා දැමුමට, වා තලය සිසාරා හමා යන සෝ සුසම් නිවා දැමුමට බිහිසුණු සසරට වන් මේ අද්විතීය මහා පුරුෂයාණන්ගේ අසිරිමත් ගුණ කඳට සකල ලෝ ධාතුව ම සංවේදී වූ අපූරුව මොන තරම් ද! ඒ ගුණ කඳ අබියස කම්පා වෙන්නේ, ඒ ගුණ කඳ අබියස හඬා වැටෙන්නේ බිහිසුණු සසරේ අතරමංව ඔබ වහන්සේගෙන් පිළිසරණ ලබන දෙවි මිනිසුන් පමණක් නො වේ. හිත්පිත් නැති නොමිනිස් වූ මිහිමඬල පවා ඒ ගුණ කඳ අබියස එය දරාගත නො හැකි ව සැලී වෙලී කම්පා වී යත් ම ය..

ඉතිරි කොටස ලබන කලාපයෙන්….

ආශ්‍රිත ග්‍රන්ථ: බුද්ධ වංශ පාළි
ජාතකට්ඨ කථා
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි