ළය පුරා හුස්මක් ඉහළට ගෙන, සැණෙකින් එය පිට කර හැර සිත සැහැල්ලු කර ගැනීමට කය යොමු වන්නේ නිරායාසයෙනි. සිත පිරී ගත් වෙහෙස, පීඩාව පිට කර හැරෙන සුසුමකට නිතැතින් ම ඉඩ වෙන් කෙරෙන ස්වභාවය පවා වාරණයකට හසු වූ කාලසීමාවකි, අප මේ ගෙවා දමමින් සිටිනුයේ. ළය පුරා ඉහළට ඇද ගන්නා හුස්ම පොද මාරාන්තික වෛරසයක් අප කරා ගෙන ඒමට ඉඩ ඇති නිසාත්, සිතැඟිවල බර තවරා පිට කෙරෙන සුසුම එකී මාරාන්තික වෛරසය අපගේ ආදරණීයයන් කරා ගෙන යන්නක් විය හැකි නිසාත් හුස්ම පොදට පවා මුඛවාඩම් ලන්නට අද අපට සිදුව තිබේ.

අපගේ ජීවිත කාලය තුළ සමස්ත ලෝකය පොදුවේ මුහුණ දුන් මෙවැනි අර්බුදකාරී වටපිටාවක් දක්නට ලැබී නැත. සියලු ජීවිත හැලහැප්පීම්වලට ඇද දමමින් තවමත් අණසක පතුරුවනා මාරාන්තික කොවිඩ් වෛරසය කිසිදු භේදයක් නොකරමින් සියල්ලන් වෙත තර්ජනාංගුලිය ඔසවා සිටී. මෙහි කෙළවරක් දකින්නට සියල්ලෝ කැමති ය. නිදහසේ හුස්ම ගෙන, රිසි සේ හැසිරෙන්නට කාටත් වුවමනා ය. එහෙත්, නොලැබෙන්නේ ද එය ම ය.

මේ ව්‍යසනකාරී රෝගයේ ඛේදනීය බව අපට වඩාත් තීව්‍ර ව දැනෙන්නේ ලක්ෂ ගණනක් වූ මිනිස් ජීවිත කෙටි කලක් තුළ අහිමි වීම නිසාවෙනි. නමුත්, මිනිස් ජීවිත සෑම කල්හි ම පැවතියේ ද පවත්නේ ද මේ අනතුර හමුවේ ය. උපන්නා වූ සියලු සත්වයන් ජරා ව්‍යාධි මරණයනට යටත් ය. දුකට අයත් වූ මේ දේවල් නැති උපතක් ලෝකයේ නැත. දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට පවා ජරා මරණ දුක උරුම ය. ලෝකය වෙහෙසෙන්නේ ඒ දුක් නසන මගක් සොයමිනි.

එහෙත්, දුක යනු නැති කළ හැක්කක් නොවේ. එය වනාහී අවබෝධ කළ යුත්තකි. නැසිය හැක්කේ ද නැසිය යුත්තේ ද නැසීමට වෙහෙස විය යුත්තේ ද දුකෙහි හේතුව මිස; දුක නො වේ. කවුරු නම් එයට ප්‍රතිබලසම්පන්න වේ ද?

ඇසළ සඳ කිරණ විහිදි පුන් පෝ දිනෙක අප මහ බෝසතාණන් වහන්සේ සියලු රාජ සම්පත් හැර දමා මහාභිනිෂ්ක්‍රමණය කළේ දුකෙහි හේතු නැසීම පිණිස ය. සත් දිනෙකින් පහළ වන්නේ යැයි ශපථ කරලූ චක්‍රවර්තී රාජ්‍යය පිළිබඳ පණිවිඩය කනෙහි ලූ යකඩ උලක් මෙන් බෝසතාණන් වහන්සේට හැඟී ගියේ නෙක්ඛම්මයෙහි බලවත්ව සිත පිහිටි බැවිනි. අසංඛෙය්‍ය කල්ප ගණනින් පෙරුම් පුරා ඒ බුද්ධාංකුරයන් වහන්සේ පැමිණියේ එක් දුකක් මඟ හැර ගොස් වෙනත් දුකක් අල්වා ගන්නට නොවේ; දුකෙහි හේතු නසා සියලු දුකින් නිදහස් වන්නටය.

ඇසළ සඳ කිරණ විහිද පැතිර ගිය මෙවන් පුන් පොහෝ දිනයක අපගේ ශාස්තෘන් වහන්සේ දුකෙහි හේතු නසන ඒ අමා නිවන් මඟ දෙව්මිනිස් ලෝකයාට විවර කොට වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායෙන් නැගුණු සෑසි මුනි සිහනදින් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලූ මහත් ආලෝකයක් විහිද පැතිර දස දහසක් ලෝ ධාතූන් කම්පා කෙරුණු ඒ පින්බර දිනයේ දී බුද්ධ රත්නයේ ද ධර්ම රත්නයේ ද සංඝ රත්නයේ ද ආනුභාවය යළිත් වරක් මේ ධරණීතලයේ විද්‍යමාන විය. ඒ සම්බුදු දහම් මග ගත්තෝ දුකෙහි හේතු නැසූහ; දුක අවබෝධ කොටගෙන අම නිවන් වැඩියහ.

දුකෙහි හේතු නසන ශාසන දායාදය යුග යුග ගණනින් ප්‍රවර්තනය කළ කල්‍යාණ දහම් වැට නොසිඳිමින් දැනුදු කල්‍යාණ ගුණැති සංඝයා වහන්සේලා සසර දුක් නිම කරන නිර්මල බුද්ධ වචනය ම ලොවෙහි පතළ කරලති. හුස්ම පොදෙහි නිදහස පවා අහිමි වූ මෙවන් යුගයක ද සත්පුරුෂ ධර්මය ම දන් දෙමින්, සිත් නිවා සනසමින්, ජරා මරණ දුක් ඉක්මවන්නට ලොවට මඟ කියන සත්පුරුෂයාණන් වහන්සේලාට නමස්කාර වේවා!