ලෝකය ‘දියුණුව’ අර්ථ දක්වන නිර්ණායකයන් තිබේ. ඒ සෑම නිර්ණායකයක් ම පාහේ භෞතික කරුණු පදනම් කොට ගත් ඒවා ය. තාක්ෂණික මෙවලම් තුළ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට හැකි වීම ලෝකය එසේ අර්ථ දක්වන දියුණුවේ ප්‍රමුඛ සාධකයකි. එනිසා, එවැනි පහසුකම් අතින් ඉහළින් සිටිනා ජාතීන් අද වන විට දියුණු ජාතීන් යැයි පිළිගැනීමට ලක්ව තිබේ.

එහෙත් ලෝකය නිර්මාණය කර ගත් මේ නිර්ණායකයන් තුළ ප්‍රමාණනය කෙරෙන්නේ සැබෑ ම දියුණුව ද යන්න විමසා බැලිය යුතු වටපිටාවක් නූතනයේ නිර්මාණය වී තිබේ. එහිලා ප්‍රධානතම සාධකය වූයේ මේ වන විට දස මසක කාලයක් පුරා ලොව පැතිර යමින් පවත්නා කොවිඞ් – 19 වසංගත රෝගී තත්ත්වය යි. මෙම සටහන තබන විට ලොව පුරා මිලියන 23කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් ව සිටින අතර සිදු වූ මරණ ප්‍රමාණය ලක්ෂ අට ඉක්මවා තිබේ. තව වසර දෙකක් පමණ ගත වන තුරු මෙම රෝගයේ පහව යාමක් අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ද අඟවයි. දියුණු යැයි, බලවත් යැයි, අධිපතීත්වයෙන් යුතු යැයි සම්මත රටවල් මෙකී ව්‍යාධි බිය හමුවේ අසරණ ව හිඳින හෙයින්, දියුණුව මනින නිර්ණායකයන් සමාජ පරීක්ෂණයනට බඳුන් වීමට සුදුසු ය.

බාහිර ව ලබනා සාර්ථකත්වයෙන් සංසාරගත සත්වයනට ලැබෙන රැකවරණය අල්ප ය. ජාති ජරා ව්‍යාධි මරණ යන සංසාරගත සත්වයන්ගේ අනවරත ගැටළුවට තාවකාලික විසඳුම් විනා ඒවායෙන් සැලසෙන සර්වකාලීන විසඳුමක් නැත. බාහිර දියුණුව යනු කිසි විටෙක ජාති ජරා ව්‍යාධි මරණ බියෙන් ලෝ සත සහමුලින් ම ගලවාලන්නට සමත් වන්නක් නොවේ.

ඒ යථාර්ථය මැනැවින් දුටු නුවණැත්තෝ ධන බලයෙන්, නිල බලයෙන්, පරිවාර සම්පත්තියෙන්, සුව පහසුවෙන් මැඩලිය නොහැකි සංසාරගත ගැටළුවට පිළියම් සොයා දුරාතීතයේ පටන් ම සත්‍ය ගවේෂණයේ යෙදුණෝ ය. අති දීර්ඝ සසර ගමන පුරා පාරමී ධර්මයන් පූරණය කරමින් ඒ ජීවිතාර්ථය පිණිස දිවි කැප කොට පැමිණි බුද්ධාංකුරයන් වහන්සේලා ම පමණක් ඒ ගවේෂණය මල්ඵල ගන්වමින් ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවාලන උත්තම නිර්වාණ ඵලය සාක්ෂාත් කොටගෙන අමා මහ නිවනට වැඩම කළ සේක. ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් යුතු වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සංසාර ගැටලුවෙන් සත්වයා මුදවන අමා නිවන් මග දේශනා කොට වදාළ සේක. පිනැති නුවණැත්තෝ ඒ මගෙහි ගමන් කොට අමා මහ නිවනට පැමිණි සේක. එසේ ඔවුන් අත්පත් කොට ගත් දියුණුව කොතරම් ද යත් යළි කිසි කලෙකත් උන්වහන්සේලා ජාති ජරා ව්‍යාධි මරණ යන දුක් රැසින් පීඩා නොලබන්නේ ම ය.

ඒ දියුණුව වනාහි මිලට ගත නොහැක්කකි. බලහත්කාරකමෙන් පවරා ගන්නට ද නොහැක්කකි. ශටකපට මායාවන්ගෙන් අත්පත් කර ගත නොහැක්කකි. හුදෙක් ප්‍රතිපදාව තුළින් ම තම තමන්ගේ ජීවිත තුළට පමුණුවා ගත හැක්කකි. එකී දියුණුව ගැන සිත්හි පැහැදීමෙන් යුතු වූවෝ මේ බිහිසුණු වසංගත රෝගය හමුවේ පවා සත්පුරුෂ අවවාදානුශාසනාවන්හි පිහිටමින් ආධ්‍යාත්මික ශක්තියෙන් යුතුව ජීවිතය කරා පැමිණි සත්‍යයට මුහුණ දුන්නෝ ය. කවර සත්‍යයක් ද යත්; උපන්නා වූ සත්වයන් කරා ජරා ව්‍යාධි මරණ දුක් එළඹෙන්නේ ය යන සත්‍යය යි.

ඒ ආධ්‍යාත්මික නැගී සිටීම තුළ එකිනෙකාට එරෙහි ව නැගෙන චෝදනා නැත. කලකෝලාහලයන් නැත. පවත්නේ, උපන් සෑම සත්වයෙකුට ම සාධාරණ වූ මේ දුක් රැසින් මිදී ගොස් සුවපත් වීමේ අභිලාෂය පමණි. දුගී මගියාගේ පටන් රාජරාජ මහාමාත්‍යාදීන්, දෙව් බඹුන් දක්වා වුව ද ඒ ආධ්‍යාත්මික ගමනේ ඉලක්කය එය යි. සැබෑ ම දියුණුව කිව යුත්තේ එයට නොවේ ද?